පදම ඉක්මවා අඩියක් ගසා මුර රස්සාවේ යෙදී සිටි තරුණයකු මැදියම් රැයේ වැඩබිමට ඇතුළු වූ සොරෙකු පසුපස පන්නන්නට ගොස් වැඩ බිමේ තිබූ මඩ වළකට වැටී අතපය ලෙලි ගසාගෙන රෝහල් ගතවන්නටත් අන්තිමේදී රස්සාවට සමුදෙන්නටත් සිදුවීමේ පුවතක් වියලුවෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
එය ඉන්ධන ටැංකි සවි කිරීම සඳහා තැන් තැන්වල විශාල වළවල් හාරන ලද ඛණිජ තෙල් සංස්ථාවට අයත් වැඩ බිමකි.
පිළිගත් ආරක්ෂක සේවාවකින් තරුණ මුරකරුවෙකුද ආරක්ෂාවට යොදවා තිබිණි.
රෑ සේවා මුරයේදී ගමේ බඩු ගෙන්වා ගෙන තම මිතුරන්ද සමඟ අඩියක් ගැසීමට තරුණ මුරකරු කටයුතු කළේ එහි සියලු දෙනාටම ඇති තරම් නිදහසද තිබූ හෙයිනි.
පසුගිය දිනෙකද මිතුරු පිරිස එහි පැමිණියේ අවශ්‍ය කළමනා සියල්ලද රැස් කරගෙනය.
මැදියම් රැය ආසන්න වන තුරුම පැවැති සාදය අවසන් වූයේ වැඩබිමේ එපිටින් ඇසුණු කම්බියක් ඇදීමේ හඬක් නිසාය.
එසැනින් ක්‍රියාත්මක වූ තරුණ මුරකරු අඩ අඳුරේම ඒ දෙසට දුවද්දී වැඩ බිමේ කම්බි ගොඩ අසල සිටි අයෙකු දිවයනු දැක ගන්නට ලැබිණි.
“හොරෙක් හොරෙක්” යයි කියමින් ඔහුද ඒ පසුපස දුවන්නට වූ අතර මඳ වේලාවක් ගත වෙද්දී එය “බුදු අම්මෝ” යනුවෙන් මහත් විලාපයකට පෙරළිනි.
පසුපසින් ගිය මිතුරු පිරිසට විදුලි පන්දම් එළියෙන් දැකගන්නට ලැබුණේ තෙල් ටැංකි දැමීම සඳහා අඩි ගාණක් කපන ලද මඩවළක වැටී මඩ නාගෙන දඟලන තම මිතුරාය.
වළට වැටීමෙන් ඇඟ පත ලෙලි ගොස් තිබූ ඔහු මහත් පරිශ්‍රමයක් දරා ගොඩට ගෙන මහ රෑම රෝහල් ගත කළ අතර දින ගණනාවක් ප්‍රතිකාර ගන්නටද සිදුවිය.
සිද්ධිය සැලවී එහි පැමිණි ආරක්ෂ සේවය භාර ප්‍රධානියා සියලු තතු සොයා බලා ඔහුගේ වැටුපද ලබා දී ඔහුට සමුදී ඇත්තේ ඒ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් කරමිනි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීලා හිටියත් ජොබ් එක හරියට කරලා තිබෙනවා. (නි)
බිම නිසා රාජකාරියට කිසිම බාධාවක් වෙලා නැහැනේ. ඒ නිසා රැකියාවෙන් ඉවත්කිරීම ගැන තව ටිකක් සලකා බැලුවොත් හොදයි නේද? පොඩි දඩුවමක් කරලා රැකියාව දුන්නොත් තම පවුලට යැපෙන්න පුළුවන්. මහා රෑ ඔයවගේ තැනක මුර කරනවා කියන්නේ ලොකු දෙයක්.(හේ)
රැකියාව නැති කළ එක තමයි වැරැදි (හේ)
එ්ක ඇත්ත. පොඩි අඩියක් ගැහුවට කොල්ලා ජොබ් එක හරියට කරලා තියෙනවා (නි)
හොඳ සිහියෙන් හිටියා නම් හොරා පස්සේ දුවන්නේ නැහැ. බීල හිටපු නිසයි මිනිහ වැඩ පෙන්නන්ට ගිහින් තියෙන්නේ. (ර)
බීපු නිසානේ වලේ වැටුනේ , ඒ විතරක් නෙවෙයිනේ දැන් රස්සාවටත් තට්ටු කරගත්තනෙ , අඩියක් ගහන්න ඕනේ නම් නිවාඩුපාඩුවේ වෙල් එලියක වැවු ඉවුරකට සෙට් වෙන්න තිබුණනේ , එතකොටනේ ආස්වාදයේ උපරිමයටම යන්න තිබුණේ කොහෙද ඉතින් .... දැන් රස්සාවත් නැහැ අත පයත් තුවාල කරගෙන ඒ මදිවට විස්තරේ පත්තරෙත් ගිහින් , උඹ නාඩන් උඹ නාඩන් උමබට ඕව හොඳ පාඩම් කියල තමයි කියන්න තියෙන්නේ (අ)
අමාලිත් හොදට අඩි ගැන දන්නවා වගේ... (ර)