ලෝක ශ්‍රවණ දිනය හෙටට (03) යෙදී ඇත. මේ වසරේ තේමාව වන්නේ ‘දිවි ඇති තෙක් හඬ අසන්නට, දෙසවන පණ මෙන් සුරකිමු‘ යන්නයි. ආරක්ෂිත සවන්දීම තුළින් ශ්‍රවණාබාධ වැලැක්වීම මෙහිදී අවධාරණය කරනු ලබයි.

විවිධ හේතු නිසාවෙන් හට ගන්නා ශ්‍රවණාබාධ බහුලව පවතින සෞඛ්‍ය තත්ත්වයක් වන අතර එය පුද්ගලයකුට තම ජීවිතය පුරාවටම බලපානු ඇත. ගෝලීය වශයෙන් ගත්කල සෑම පුද්ගලයන් පස් දෙනකුගෙන්ම එක් අයකුට ශ්‍රවණාබාධ ඇති බව සමීක්ෂණ වාර්තාවල දැක්වේ. එසේම වසර2050 වනවිට එම තත්ත්වය පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයකුට ශ්‍රවණාබාධ ඇති කරලීම දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රවණාබාධ ඇති අයගෙන් සියයට අසූවකට ආසන්න පිරිසක්ම ජීවත් වන්නේ කන් සහ ශ්‍රවණ සත්කාර සේවාවන් පිළිබඳ දැනුම මඳ ඒ පහසුකම් අවම සාමාන්‍යයෙන් අඩු, මධ්‍යම ආදායම් ලබන රටවල වීමත් විශේෂත්වයකි.

ශ්‍රවණාබාධ සන්නිවේදනය, සංජානනය,මානසික සෞඛ්‍යය, භාෂාව සහ කථන සංවර්ධනය, රැකියා සහ අන්තර් පුද්ගල සම්බන්ධතා කෙරෙහි බලපෑම් ඇති කරයි.

ශ්‍රවණාබාධ කෙරෙහි හේතු කාරක වන බොහෝ සාධක වලක්වා ගැනීමට හැකියාව ඇත. අධික ඝෝෂාකාරී ශබ්ද මෙසේ වලක්වා ගත හැකි සාධකයකි. තරුණයන් බිලියන එකකට වැඩි පිරිසක් ඝෝෂාකාරී ශබ්දය ශ්‍රවණය වීම නිසාවෙන් ස්ථිර ශ්‍රවණාබාධ ඇති වීමේ අවදානමකට මුහුණ පා ඇත. ඒ අනුව මහජනතාව ආරක්ෂිත සවන්දීම පිළිබඳ දැනුම්වත් කිරීම මෙන්ම විවිධ ස්ථාන සහ උත්සව සඳහා ආරක්ෂිත සවන්දීම ගැන නව ප්‍රමිතීන් සැකසීම සහ අනුගමනය කිරීම මගින් ආරක්ෂිත සවන්දීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

ආරක්ෂිතව සවන් දීම යනු කුමක්ද?

ශ්‍රවණාබාධයක් ඇතිවීමේ අවදානමක් නැති සවන්දීමකටයි. ආරක්ෂිත සවන්දීම මගින් ඝෝෂාකාරී ශබ්දය නිසා ඇති වන ශ්‍රවණාබාධ වලක්වා ගත හැකියි.

අධික ශබ්දය කන්වලට බලපාන අයුරු

රැකියා ස්ථානවල, මහාමාර්ගයේදී, විනෝදස්ථානවලදී පුද්ගලික ශ්‍රව්‍ය උපාංග හරහා පුද්ගලයින් අධික ශබ්දවලට නිරාවරණය වේ. ශ්‍රවණාබාධ ඇති වීමේ අවදානම ශබ්දයේ තීව්‍රතාව, කාලසීමාව, සහ අධික ශබ්දයට නිරාවරණය වන වාර ගණන මත රඳා පවතී. ඔබේ කන් තුළ ඇති සංවේදී සෛලවලට දරාගත හැකි ප්‍රමාණයට වඩා අධික ශබ්දයකට නිරාවරණය වීමෙන් ක්‍රමයෙන් තාවකාලික හෝ ස්ථිර ශ්‍රවණාබාධ ඇති වීමේ අවදානමක් පැන නඟී.

ශ්‍රවණාබාධ වැලැක්විය හැකිද?

ප්‍රසංග, ක්‍රීඩා උත්සව වැනි තැන්වලදී අධික ශබ්දයට නිරාවරණය වීමෙන් පසුව ඇති වන කන්වල නාද වීම වැනි තත්ත්වය සාමාන්‍යයෙන් කෙටි කාලයක් තුළදී යථා තත්ත්වයට පත් වේ. එහෙත් ඝෝෂාකාරී ශබ්දයට නිතිපතා , දිගු කලක් පුරාවට නිරාවරණය වීමෙන් සංවේදී සෛලවලට හානි සිදුවිය හැකියි. තවද සුව කළ නොහැකි ස්ථිර ශ්‍රවණාබාධයක් ඇති විය හැකියි. ශ්‍රවණාබාධ හට ගැනීමේ ආරම්භයේදීම අධික ශබ්දයට නිරාවරණය වීමෙන් වැලකී සිටීම මගින් ශ්‍රවණාබාධයේ ප්‍රගතිය වලක්වා ගත හැකියි.

ශ්‍රවණාබාධ ගැන පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා

1)  Tinnitus (කන්වල නාද වීම)

2)  දොර සීනු, දුරකතන වැනි අධික ශබ්ද ඇසීමේ දුර්වලතා

3)  ඝෝෂාකාරී පරිසරයක සිට කෙරෙන සංවාද ඇසීමේ දුර්වලතා

4)  එනම් වෙළෙඳපොළ, ආපනශාලා, සමාජ රැස්වීම් ආදියේ සිට කෙරෙන කතාබස් ශ්‍රවණයේදී දුර්වලතා ගෙනදිය හැකියි.

5)  විශේෂයෙන්ම දුරකතන සංවාදවලදී කතාව අවබෝධ කර ගැනීමේ අපහසුතාද මතු විය හැකියි.

ආරක්ෂිත සවන්දීම සහතික කිරීම

1)  පුද්ගලික ශ්‍රව්‍ය උපාංග දෛනික භාවිතය සීමා කිරීම

2)  Ear phones / Head phones භාවික කර සවන්දීමේදී සවන් යොමු කරන ශබ්දය මෙන්ම කාලසීමාව අඩු කිරීම.

3)  ඝෝෂාකාරී ස්ථාන නැරඹීමට යාමේදී කන් පීනු පැළැඳීම

4)  එබඳු ස්ථානවල ගත කරන කාලය සීමා කිරීම, පැමිණීමේ වාර ගණන අඩු කිරීම මගින් කන්වලට කෙටි විවේකයක් ලබා දීම.

5)  ඝෝෂාකාරී ශබ්ද ඇති ස්ථානවලට පිවිසීමේදී පුද්ගලික ශ්‍රව්‍ය උපාංග භාවිතයෙන් වැලකීම

6)  සතියට පැය 40ක් db 80ක තීව්‍රතාවකින් සවන්දීමට යොමු කිරීම.

7)  නිතිපතා කන් පරීක්ෂා කර ගැනීම

සමහර අවස්ථාවලදී ඇතමකුට අධික ශබ්දය වැලැක්වීමට නොහැකි ස්ථානයක කාර්යයේ නියැළීමට සිදුවිය හැකියි. එබඳු පුද්ගලයන් උදෙසා සේවා ස්ථානවල පහත පහසුකම් සැපයිය හැකියි.

1)  ආරක්ෂිතව සවන් දෙන්නේ කෙසේද යන්න දැනුම්වත් කිරීමේ පණිවුඩ පුවරු ප්‍රදර්ශනය කිරීම

2)  අධික ශබ්ද ප්‍රභවය වෙනුවට හානියක් නොවන වෙනත් ප්‍රභවයක අවශ්‍යතාව මතුකර ලීම

3)  අධික ශබ්දය නිකුත් කරන ප්‍රභවය ආවරණය කිරීම හෝ හුදෙකලා කිරීම වැනි තාක්ෂණික වෙනස්කම් සිදු කිරීම.

4)  සේවකයන්ගේ සේවා කාලය වෙනස් කිරීම වැනි පරිපාලනයම වෙනසක් සිදු කිරීම

5)  කන් පේනු වැනි පුද්ගලික ශ්‍රවණ ආරක්ෂක උපකරණ සේවකයන්ට ලබා දීම සහ නිසි භාවිතය සහතික කිරීම ආදී දෑ සිදු කළ හැකියි.

6)  එබැවින් ඝෝෂාකාරී ශබ්දය නිසා ඇතිවන ශ්‍රවණාබාධ ස්ථිර නමුත් ශ්‍රවණාබාධ ඇති වීම වලක්වා ගත හැකි වනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න