IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අංශභාගයෙන් මිදීමේ මඟ

ලංකාවේ සිදුවන මරණවලට බලපාන හය වැනි ප්‍රධාන හේතුව ආඝාතය හෙවත් අංශභාගයයි. එමෙන්ම ආබාධිත වීමට හේතු වන පස්වැනි කරුණත් ආඝාතයයි. රටේ තත්ත්වය සේම ලෝක තත්ත්වය ගත්තද ලොව පුරාම සිදුවන මරණවලටත්, ආබාධිත වීමටත් ප්‍රධාන හේතුවක් වන්නේ මොළයට රුධිරය සපයන රුධිර නාලවල වෙනස් වීම් නිසා සිදුවෙන අවහිර වීම් මෙන්ම ඒවා පුපුරා යාමෙන් ඇති වන මෙම අංශභාග තත්ත්වයයි.  ලෝක ප්‍රජාවගෙන් මිලියන 13.7ක් වාර්ෂිකව ආඝාතයට ගොදුරු වන අතර ඉන් මිලියන 5.5ක් මිය යති. ඉන් සියයට අසූ පහක්ම අඩු ආදායම් සහ මධ්‍යම ආදායම ලබන රටවල් ගොදුරු වේ. 

සාම්ප්‍රදායික ජීවන රටාවෙන් මිදී අහිතකර ආහාරපාන ගැනීම මීට හේතු සාධක වේ. එනම් ලුණු - සීනි- තෙල් අධික ආහාර ගැනීම, ව්‍යායාම මඳකම, මානසික ආතතිය, දුම්පානය මෙන්ම මත්පැන් පානය මීට ප්‍රධාන ලෙස හේතු වී ඇත. එනිසා අධි රුධිර පීඩනය ඇති වීමට අවදානම වැඩි වන අතර ඒ හේතුවෙන් හෘදයාබාධ, අංශභාගය ඇති වීම සුලබ වේ. එපමණක් නොව දියවැඩියාව, පිළිකා ඇති කිරීමටද රුකුලකි. 

වර්ෂ 2015දී සිදු කෙරුණු බෝ නොවන රෝගවලට හේතුවන අවදානම් සාධක හඳුනා ගැනීමේ ජාතික සමීක්ෂණයට අනුව (Steps Survey)  ලංකාවේ අවුරුදු 18ත් 69අතර වයසේ පසුවන්නන්ගෙන් සියයට විසි පහකට අධික රුධිර පීඩනය ඇති බව සොයා ගෙන ඇත.  ඒ සඳහා හේතුව වී ඇත්තේ අපේ අධික ලුණු භාවිතයයි.  නියමිත ප්‍රමාණය ඉක්මවා ⁣ලුණු භාවිත කර සැකසෙන විවිධ ආහාරවර්ග අනුභව කිරීමෙන් ලුණු වැඩි වශයෙන් ශරීර ගත විය හැකියි. සමීක්ෂණ වාර්තාවලට අනුව අපේ ජනතාවගෙන් අඩක් බත් පිසින විට ලුණු එකතු කිරීමේ පුරුද්ද තවමත් සිදු කරයි. එසේම විවිධ සෝස් වර්ග, රසකාරක සේම කල් තබා ගන්නා ද්‍රව්‍යවලත් ලුණු සාන්ද්‍රණය අධික වේ. එක් පුද්ගලයකුගේ දෛනික ලුණු පරිභෝජනය කපාපු තේ හැන්දකින් එකකි. එනම් එය ග්‍රෑම් 05ටත් වඩා අඩු ප්‍රමාණයකි. ඒත් වැරැදි ආහාර පුරුදුවලට අනුගතව අපි එය තේ හැඳි දෙකක් තුනක් දක්වා භාවිතය ඉහළ නංවා ගෙන ඇත. එය ග්‍රෑම්වලින් ගත් විට දෛනිකව ග්‍රෑම් 9ත් 12ත් අතර ප්‍රමාණයකි.

තවද ක්ෂණික ආහාර, රයිස්, කොත්තු, සෝස් වර්ග, පීට්සා, රෝල්ස්, පැටිස්, පේස්ට්‍රි මෙන්ම පාන් පිටි නිෂ්පාදනවලත් ලුණු අඩංගු වේ. 

කුඩා කල සිට මෙවැනි ආහාර වට්ටෝරුවකට හුරු වූවකුට අධික ලුණු භාවිතය නිසා සිරුරේ ජලය රඳන ප්‍රමාණය වැඩිවී යයි. එනම් අපේ රුධිර සංසරණ පද්ධතියේ පරිමාව වැඩි වේ. එවිට රුධිර වාහිනී ඝන වීම් මෙන්ම විවිධ වෙනස් වීම්ද ඇති කරවයි. සිරුරේ අභ්‍යන්තර පරිසරයේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා  හෘදයට නොකඩවාම වේගයෙන් ක්‍රියා කිරීමට සිදු වේ. වකුගඩුවලට අතිරික්ත ජලය පිට කිරීමට සිදු වේ. ඉතා කලාතුරකින්  ලුණු අධික ආහාරයක් ගත් පමණින් මෙවැනි හානියක් සිදු නොවන අතර නිතිපතා සාමාන්‍ය ආහාර ලෙස ගැනීමට පුරුදු වුවහොත් එහි අහිතකර විපාක රැසකි. කුඩා කල සිටම හෘදයට, රුධිර වාහිනීවලට මෙන්ම අනෙක් ඉන්ද්‍රිය පද්ධතිවලට හානි සිදු වීම වැළැක්විය නොහැකියි. එහි ප්‍රතිඵලය වන්නේ ඔබ හෝ ඔබේ දරුවා අධික රුධිර පීඩනයට ගොදුරු වීමයි. අධික රුධිර පීඩනය නිසා හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීමට හේතුවකි. එබැවින් අධික රුධිර පීඩනයට ගොදුරු නොවී සිටීමට හැකි සෑම උත්සාහයක්ම දැරීම නිරෝගී සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ඇති කදිම විසඳුමයි. එවිට දියවැඩියාව, පිළිකා රෝග ඇති වීමේ අවදානමද අවම වේ. 

ඒ සඳහා අප කුමක් කළ යුතුද? 

* දිනකට සමබල ආහාර වේල් තුනක් ගත යුතුයි.

* උසට සරිලන නිසි බරක් පවත්වා ගෙන යාම. අධික තරබාරුවෙන් මිදීම .

* ලුණු, තෙල්, සීනි භාවිතය හැකිතාක් සීමා කිරීම.

* දිනපතා පැය භාගයක් පමණ ශරීරයට දැනෙන පරිදි ව්‍යායාමයක නිරත වීම. දරුවකුට නම් පැයක් දෙකක් දුවපැන  ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දීම.

* දුම්පානය සහ මත් පැන් පානයෙන් වැළකීම.

* තරගකාරී මානසිකත්වයෙන් හැකිතාක් ඈත් වීම. නැතහොත් මානසික ආතතිය ඇති නොවන පරිදි ජීවිතය හැඩ ගස්වා ගැනීම. දරුවන්වද ක්‍රමානුකූල ජීවිතයකට අනුගත කිරීමට උනන්දු කළ හැකිය. 
එහෙත් ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නකු නම් නිසි අයුරින් ඖෂධ නොගත හොත් , නිවැරැදි ජීවන රටාවකට අනුගත නොවුණ හොත් ආඝාතය හෙවත් අංශභාගයට ගොදුරු වීමේ අවදානම ඉතා දැඩිය.

 ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවට වෛද්‍ය නිගමනය වුවහොත් පහත උපදෙස් පිළිපදින්න

* නොකඩවා නියමිත ඖෂධ නිසි වේලාවට ලබා ගන්න. 

ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් වුවහොත් එසේ වන්නේ ඖෂධ හා ඔබේ ජීවන රටාවේ සකස් වීම මත බැවින් ඖෂධ නොගෙන සිටීමට කිසිදින උත්සාහ නොකරන්න. අවශ්‍ය වූ විටෙක   ඖෂධ මාත්‍රාව අඩු, වැඩි කිරීම වෛද්‍යවරයා විසින් සිදු කරනු ඇත. 

එහෙත් රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇතැයි සිතා ඔබ ඖෂධ භාවිතය අත්හළ හොත් එහි භයානක ප්‍රතිඵලය ආඝාතය වීමට බොහෝ දුරට ඉඩ ඇත. නොකඩවා ඖෂධ භාවිතය සේම මනසේ සැහැල්ලුවත් අත්‍යවශ්‍ය වේ. ඒ අනුව සිත සැහැල්ලු වන භාවනාවකට, ව්‍යායාමයකට යොමු වීම මෙහි අදහසයි. 

* ආහාර වේල සැකසීමේදී ලුණු, සීනි,තෙල් අවම ප්‍රමාණයෙන් මුසුකිරීමට වග බලා ගැනීමත් වැදගත් වේ. 

* ඔබ බර වැඩි පුද්ගලයකු නම් ,තරබාරුවෙන් පෙළේ නම් ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමට උනන්දු වන්න. 

* වෛද්‍ය උපදෙස් මත සුදුසු ව්‍යායාමයක යෙදෙන්න.

එහෙත් කිසියම් මොහොතක රුධිර පීඩනය වැඩි වී පහත ලක්ෂණ පෙන්නුම් කළහොත් මොහොතක්වත් පමා නොවන්න. හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත යොමු වන්න. 

අංශභාගය අඟවන රතු එළි

* කට පැත්තකට යාම.

* අතක අප්‍රාණිකත්වය. පණ නැති වීම. 

* කතා කරන විට ගොත ගැසීම.

මේ ලක්ෂණ එකක් හෝ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතුය.  පමාවෙන මොහොතක් පාසාම ඔබේ ජීවිතය අනතුරට පත් වීමේ , ආබාධිත වීමේ අවදානම වේගවත් වේ. එක්වරම සිදුවන ආඝාත තත්ත්වයකදී මොළයේ පටක සහ  මිලියන ගණනක් වන මොළයේ ස්නායු සෛල විනාශ වීමේ ක්‍රියාවලිය ඇරැඹේ. ඊට ප්‍රථම හැකි ඉක්මනින් ප්‍රතිකාර ගත හොත් මෙම අවදානම අවම කර ගැනීම හෝ මරණයට පත් වීම වලක්වා ගැනීමටත් , ආබාධිත බවට පත් වීමෙනුත් මිදිය හැකි වේ. 

ගතවන මොහොතක් පාසාම ඔබ ගෙවා දමන්නේ ජීවිතය රැක ගැනීමට ඇති වටිනාම නිමේෂය විය හැකියි. ඔබ මෙන්ම පවුලේ සාමාජිකයන්ද ඒ ගැන දැනුම්වත්ව සිටීම වැදගත් වන අතර අනවශ්‍යාකාරයෙන් කලබල නොවීමටද වග බලා ගත යුතුයි. 

(FAST) අකුරු හතරක මතක් කිරීමක්

F- මුහුණේ වෙනස (Face drooping) 

A- අතක අප්‍රාණිකත්වය (Arm weakness)

S- කතාව ගොත ගැසීම (Speech difficulties) 

T- ක්ෂණිකව ප්‍රතිකාර වෙත යොමු වීම (Time to call for medical help) 

ආඝාතයෙන් මිදීමටත්, වඩා හොඳින් පාලනය කර ගැනීම සඳහාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පියවර ගණනාවක් ක්‍රියාත්මක කරමින් පවතී.

නොමිලයේ පවත්වන මෙම සේවාවන් ගැන ප්‍රජාව දැනුම්වත් වීම අවශ්‍ය වේ.

* කුඩා රෝහල්වල  ' සුව දිවි මධ්‍යස්ථාන ' සතියකට වරක් ක්‍රියාත්මක වේ. එමඟින් රුධිරයේ සීනි හා කොලෙස්ට්‍රෝල් මට්ටම මැනීම, රුධිර පීඩනය, උසට සරිලන බර(BMI)  , මැන ගැනීම නොමිලයේ සිදු කර ගත හැකියි. මෙය බෝ නොවන රෝග කල්තියා හඳුනා ගැනීමට සහාය වනු ඇත. තවද රුධිර පීඩනය, බර පාලනය ආදී උපදෙස්ද ලබා දේ. මින් උපරිම පල නෙළා ගැනීමට උනන්දු වන්න. 

* සියලුම ප්‍රධාන රෝහල්වල ඉහළ පුහුණුවක් ලත් සෞඛ්‍ය විශේෂඥයන්ගේ මූලිකත්වයෙන් විශේෂිත ස්නායු රෝග ඒකක පිහිටුවා ඇත. ආඝාත කළමනාකරණය සඳහා දිවයින පුරා විශේෂිත මධ්‍යස්ථාන කිහිපයක්ම පිහිටුවා ඇති අතර ලංකාවේ ප්‍රධාන රෝහල් 10ක විශේෂිත ආඝාත ඒකක ස්ථාපිත කොට ඇත.

* ජාතික ආඝාත සංගමය, ශ්‍රී ලංකා ස්නායු විශේෂඥයන්ගේ සංගමය සමඟ ආඝාත රෝගීන් දැනුම්වත් කිරීම සහ රැක බලා ගැනීම ප්‍රවර්ධනය සඳහා විශාල උත්සාහයක් දරනු ලැබේ. මේ හේතුවෙන් ආඝාතයට  ගොදුරුව  රෝහල් ගත වී නිසි ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර මිය යන සංඛ්‍යාවද අඩු කර ගත හැකි වී ඇත. එබැවින් තව තවත් මෙම සේවාවන් වෙත යොමු වන්න.

සෞඛ්‍ය සේවාවන්හි මේ කැපවීම ජනතාවගේ නිරෝගීතාව උදෙසායි. ඒ සඳහා ඔබේ වගකීම ගැන දැනුම්වත්ව ක්‍රියාත්මක වන්න. සරලව කිවහොත් මොහොතක පමාව දිවියක නිමාව කර නොගන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

අංශභාගයෙන් මිදීමේ මඟ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31298 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13494 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 106 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site