අද( 14) ලෝක දියවැඩියා දිනයයි. මෙවර තේමාව වන්නේ ‘ දැනුවත් වෙමු, ආරක්ෂා වෙමු. රැකුමට සුවය හෙට දින‘ යන්නයි. බෝ නොවන රෝගයක් වශයෙන් දිනෙන් දිනම දියවැඩියා රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාවද ඉහළ යයි. අපේ ආහාර රටාවේ ඇති වැරැදි පුරුදුද ඒ අතරට එකතු වේ. දියවැඩියාවට බලපාන අතුරු කාරණාද නැතුවාමත් නොවේ. කෙසේ නමුත් වැරැදි ආහාර පුරුදු නිසා තරුණ වියේදීම රෝගියකු වනවාට වඩා පුරුදු නිවැරැදි කරගෙන නිරෝගී ප්‍රතිලාභ විඳිමු.

අපේ ශරීරයේ ඇති හරිම අපූරු ඉන්ද්‍රියක් වශයෙන් දිව සැලකේ. විවිධ රස විඳීමටත්, ඒ රසවලට ඇබ්බැහි කිරීමටත් දිවට ඇති හැකියාව පුදුම සහගතය. අපේ පැරැණි ව්‍යවහාරයේ ඇති ‘කට නිසයි මාළුවා නහින්නේ ‘යන කියමන සාක්ෂාත් කරවීමටත් දිව බොහෝ ඉවහල් වේ.

ළදරුවන්ගේ ආහාර පිළියෙළ කිරීමේදී අවුරුද්දක් යනතුරු ලුණු , සීනි එකතු නොකිරීමට වගබලා ගත්තද ඉන්පසුව ඒ පුරුද්දට අනුගත වීම කෙතරම්ද යන්න සිතීමට මේ සුදුසුම අවස්ථාවයි.

රූපවාහිනී හා සමාජ මාධ්‍ය දරුවන් ඉලක්ක කර ගනිමින් විවිධාකාර කෘත්‍රිම රසකාරක, තෙල් - ලුණු- සීනි යොදා තැනූ බයිට් වර්ග, සීනි අධික බීම වර්ග , ලුණු- තෙල් අධික රස කැවිලි වර්ග ප්‍රචාරය අරඹයි. මෙකී දේවල් ළමා පරපුරට හුරු කරවන්නෙත් වැඩිහිටි අපම නොවේද? කාර්ය බහුලත්වය මැද ඉලක්ක හඹා යන නූතන මවුපියන් ලෙහෙසියට හෝ මුදල් ඇතිකම නිසා හෝ නොදැනුම්වත්භාවය මත හෝ මෙවැනි ආහාර දරුවන් ඉල්ලා සිටි පමණින්ම ලබා දීමට මැලි නොවෙති. මෙකී ආහාර නොකඩවා ගැනීමෙන් අපේ සිරුරේ නිරෝගීකමට එල්ලවෙන බලපෑම ,ප්‍රතිවිපාක ගැන ඔබ දැනුම්වත්ද?

අපේ රටේ සිදුවන මරණවලින් සියයට 83ක්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, පිළිකා ,කාලික ස්වසන රෝග වැනි බෝනොවන රෝග නිසාවෙනි. අවුරුදු 18ත් 69ත් අතර වියේ පසුවන්නන්ගෙන් සියයට 10ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන අතර සියයට 10ක් දියවැඩියාවෙන් පෙළන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දේ. ඒවගේම තවත් සැලකිය යුතු ප්‍රතිශතයක් පූර්ව දියවැඩියාව එනම් දියවැඩියාව හැදෙන්න ආසන්න තත්ත්වයේ පසුවන බවද අනාවරණය වේ. මේ සියලුම රෝගවලට ගොදුරු වන්නන් මහලු පුද්ගලයන් නොව තරුණ වයසේ පසුවන්නන් වීම රටක ශ්‍රම දායකත්වයට කෙතරම් පාඩුවක්ද?

මේවාට හේතු ?

කුඩා කාලයේ සිටම දරුවන්ට දෙන නුසුදුසු ආහාර පාන , ක්‍රියාශීලි වයසේ පසුවන දරුවන්ට දුව පැන සෙල්ලම් කිරීමට ඉඩ නොදීම, තරගකාරී අධ්‍යාපන රටාව මගින් ඇති කරන ආතතිය, පෞරුෂත්ව දුර්වලතා යනාදිය හඳුන්වා දිය හැකිය.

ඒ අනුව කුඩා කාලයේ සිටම අපි දරුවන්ගේ දිව හුරු කරවන රස වර්ග මොනවාද යන්න දැන් බලමු. ඒවා නම් පිටි කෑම, සීනි - තෙල් - ලුණු රසයි. ඒ රසවලට ඇබ්බැහි වීමෙන් ඇතිවන ප්‍රතිවිපාක කවරේද?

ඇබ්බැහියේ ප්‍රතිඵල

පිටි- සීනි- තෙල් රසට ඇබ්බැහි වූ විට නොදැනුම්වත්වම සිරුර තරබාරු වීමට පටන් ගැනේ. බර වැඩි - තරබාරු ළමයින් දැන් ක්‍රම ක්‍රමයෙන් වැඩි වීමට පටන් ගෙන ඇත. ඒ අතුරිනුත් පාසල් ළමයින්ගෙන් සියයට 90ක් පමණ බර වැඩි- තරබාරු ගණයට වැටේ. මොවුහු ඉතා අඩු වයසින්ම දියවැඩියාව, හෘද රෝග, පිළිකාවලට ගොදුරු වීමේ අවදානමත් වැඩි ය.

ලුණු වැඩි කෑම කෑවොත් ප්‍රෙෂර්

ලුණු වැඩි ආහාර ගත්තොත් එනම් කෘත්‍රිම ආහාර , සෝස් වර්ග, රෝල්ස්, පැටිස්, පීට්සා, බේකරි නිෂ්පාදන, කොත්තු මේ ආහාරවලට කුඩා අවදියේ පටන්ම හුරු වුණොත් ‘ප්‍රෙෂර්‘ එක නැත්නම් අධික රුධිර පීඩනය ඇති වීමට හේතු වේ. තරුණ වියේදීම ඒ නිසා හෘදයාබාධ, අංශභාගය, ආමාෂයේ පිළිකා, ඇදුම, වකුගඩු අකර්මණ්‍ය වීමටද ඇති අවදානම වැඩි වේ.

දිනකට අවැසි ලුණු පරිමාව වැඩිහිටි පුද්ගලයකුට නම් ලුණු තේ හැඳි 01කි. එනම් ග්‍රෑම් 05කි. දරුවකුට නම් ඉන් භාගයකි. එහෙත් අපේ නොදැනුම්වත්භාවය හරහා දිනකට ලුණු තේ හැඳි 2ක් 3ක් - ග්‍රෑම් 9ක් 12ක් ආහාරයට එකතු කර ගනී. ඒත් බත් පිසීමෙදි පවා ලුණු එකතු කරනවා නම් එයද කාලයක් තිස්සේ සිට සිදු වීමෙන් ශරීරයේ රුධිර පීඩනය වැඩි කිරීමට හේතු වේ.

දියවැඩියාවට මුල

දිනකට එක් පුද්ගලයකුට නිර්දේශ කරන්නේ සීනි තේ හැඳි 06කට අඩු ප්‍රමාණයකි. එහෙත් බොහෝ දෙනෙක් සීනි තේ හැඳි 10ක් 12ක් භාවිත කරන බව තහවුරු වී ඇත. මේ සියල්ලේම බර දරන්නට අපේ අග්න්‍යාශයට සිදු වේ. පැණි රස කෑම බීම, පිරිපහදු කළ පිටිවලින් තැනූ ආහාර නිතර ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමට වැඩි වැඩියෙන් නිපද වීමට අග්න්‍යාශයට සිදු වේ. කුඩා කාලයේ සිටම මේ ක්‍රියාව සිදු වුවහොත් අග්න්‍යාශය ඉක්මනින් දුර්වල වී ඉන්සියුලින් නිපද වෙන ක්‍රියාවලියට බාධා පැමිණීම නිසා ඉන්සියුලින් අඩු වේ. එවිට රුධිරයේ සීනි මට්ටම නිසි අයුරින් සිදු නොවේ. එවිට දියවැඩියා රෝගය ඇති වේ.

වැලැකීමට කළ යුතු දෑ

♦ ලුණු - තෙල් -පිටි-සීනි කෑමට පුරුදු වීමම ඇබ්බැහියකි. මේ වැරැදි පුරුද්ද ක්‍රම ක්‍රමයෙන් අඩු කර ගත යුතුය.

ඕනෑම පුරුද්දකින් මාසයක් දෙකක් යන විට මිදිය හැකියි. ඒ උදෙසා මේවායෙහි හානි කර ප්‍රතිඵල ගැන දැනුම්වත් වන්න.

බත් පිසීමේදී ලුණු දැමීම ටිකෙන් ටික අඩු කර සති 2ක් 3ක් ඇතුළත ලුණු එකතු නොකරම බත පිස ගත හැකිය.

පලතුරු ආහාරයට ගන්නා විට ලුණු එකතු කර නොගන්න.ඒවායෙහි නැවුම් රසයට දිව හුරු කර ගන්න.

♦ ක්ෂණික ආහාර රෝල්ස්- පැටිස් ආදිය ආහාරයට ගන්නා විට සෝස් එකතු කිරීමේ පුරුද්ද අත් හරින්න. සෝස්වල ලුණු, සීනි සහ තෙල් අඩංගු වේ. ක්ෂණික ආහාර වුවද ඉඳහිට ගන්නා කෙටි කෑමක් කර ගත හැකිය.

♦ පැකට් කළ ආහාරවල ඇති ලුණු,තෙල්, සීනි ලේබලය දෙස හොඳින් බලන්න. දරුවන්ද ඒවා තෝරා ගැනීමේදී දැනුම්වත් කළ හැකිය.

රතු ලේබල් එකක් හෝ ඇත් නම් එවැනි ආහාර මිලට ගැනීමෙන් හැකිතාක් වළකින්න.

කහ ලේබල් එකක් හෝ වැඩි ගණනක් තිබේ නම් ඒවාද මිලට ගැනීම අවම කළ හැකිය.

♦ අපේ ස්වාභාවික රසකාරක වන ගොරකා, කුරුඳු, ඉඟුරු, සුදු ලූනු, සියඹලා, කරඳමුංගු, කරාබු නැටි, තුනපහ, කහ ආදිය ආහාර රස ගැන්වීමට යොදා ගන්න.

♦ කුඩා කාලයේ පටන්ම දරුවන්ව ස්වාභාවික රසවලට හුරු කරවන්න.

♦ අප ලබා දෙන රසයට දිව හුරු වේ. දරුවන්ට විවිධ රස ඇති ආහාර හඳුන්වා දීමේදී කුඩා කල සිටම සැලකිලිමත් වන්න. ලුණු - තෙල්- සීනි අඩුවෙන් රස බැලීමට හුරු වන්න. අලුත් එළවළු- නැවුම් පලතුරු කෑමට දරුවන් හුරු කරවන්න.

නිරෝගී දරුවකු රටට දායාද කිරීම උදෙසා අදම ක්‍රියාත්මක විය යුතුය. අනාගතයේදී දරුවා බෝ නොවන රෝගවල ගොදුරක් නොවීමේ වගකීම ඒ අතර ප්‍රධානයි. සොබා දහමට පිටු පා දිව ඉල්ලන රස ඔස්සේ හඹා යාමට දරුවන්ට ඉඩ නොතබන්න.

-සටහන- මාධවී ධර්මරත්න