IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


වව්නතිව් ඝාතන කාගේ වැඩක්ද

“මට හිතෙන හැටියට සමහර එක්සත් ජාතික පාක්ෂිකයන් මාව බය කරන්න හදනවා.  එක එක්කෙනා මට ඇමතුම් දෙනවා, කෙටි පණිවිඩ එවනවා. කරුණාකරලා මතක තියාගන්න මම මඩකලපුවේ කරුණා අම්මාන් කියලා. 2004ට කලින් කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා පොඞ්ඩක් අනිත් මිනිස්සුන්ගෙන් අහලා බලන්න.” 

2018 නොවැම්බර් 27 වැනි දා උදේ එලෙස සටහන් කර තිබුණේ මඩකලපුවේ කිරාන්හි ඉපිද එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාතේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත්  කර්නල් (එල්ටීටීඊ) කරුණා අම්මාන්ගේ ට්විටර් ගිනුමෙහිය.

  එල්ටීටීඊයේ ප්‍රධානියාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ ඇතිවූ මත ගැටුමකින් පසු 2004 වසරේ දී එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වූ කරුණා පසුව නැගෙනහිර ප්‍රදේශයේ යුද්ධය අවසන් කිරීමට ශ්‍රී ලංකා හමුදාවන්ට විශාල දායකත්වයක් ලබා දුන්නේය. 

එල්ටීටීඊයේ සිටි සමයේ පොලිස් නිලධාරීන් 113 දෙනකු ඝාතනය කිරීම ආදී ම්ලේච්ඡ ක්‍රියා ගණනාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වුවද ඔහු එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වීමෙන් පසු දේශපාලන පක්ෂයක් පිහිටුවා එහි නායකත්වය ගත් අතර වසර කිහිපයක් නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස ද කටයුතු- කළේය. කෙසේ වෙතත් කරුණා අම්මාන්ගේ ඉහත ප්‍රකාශයට පෙර ඔහුගේ ට්විටර් ගිනුමට කිසියම් පිරිසක් අනවසරයෙන් ඇතුලුවී තිබිණි. නොවැම්බර් 25 වැනි දා ඔහු ඒ ගැන මෙලෙස සටහනක් යොදා තිබිණි. “පිරිසක් මගේ ගිණුම හැක් කර තිබුණා. දැන් මගේ ගිණුම ආරක්ෂිතයි. ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මගේ සේවය දිගටම කරගෙන යනවා.” මුලින් සඳහන් කළ ට්විටර් පණිවුඩය සටහන් වී තිබුණේ ඉන් පසුවය.

කරුණාගේ ට්විටර් පණිවුඩය කරලියට ආවේ මඩකලපුව වවුනතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමත් සමඟය. ඒ එම ඝාතනයෙන් පසු පාර්ලිමේන්තුවේදීය.

පොලිසියේ දෙදෙනා ඝාතනය

නොවැම්බර් 30 වැනි දා පාන්දර 01ත් 06ත් අතර කාලයේ දී පොලිසියේ දෙදෙනකු අමානුෂික ලෙස ඝාතනය කර තිබුණේ මඩකලපුවේ වවුනතිව්හිදීය. එලෙස මියගොස් සිටියේ වව්නතිව් පොලිසියේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකි.

ගාල්ල උඩුගම පදිංචිව සිටි පොලිස් කොස්තාපල් 82162 ඩබ්ලිව් ජී එන් අයි ප්‍රසන්න 35 හැවිරිදි වියේ පසු විය. පෙරපාසල් වියේ පසුවන දරුවෙක් ඔහුට සිටියි. ත්‍රස්ත විමර්ශන අංශයේ රාජකාරි කර වව්නතිව් පොලිසියට පැමිණි ඔහු ලබන ජනවාරියේ ස්ථාන මාරු ලැබීමට නියමිතව සිටියේය. අම්පාර කල්මුණේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් 8624 ජී දිනේෂ් මිය යන විට 28 වැනි වියේ පසු විය. ත්‍රිකුණාමලයේ රාජකාරි කරමින් සිටි ඔහු වව්නතිව් පොලිසියට පැමිණ වැඩි කාලයක් නැත. 

2018 නොවැම්බර් 29 වැනි දා වව්නතිව් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත රාජකාරි නිවාඩු ගොස් සිටියේය. ඒ ඔහු ඊට පෙර රාජකාරි කළ පොලිසියට බවය දැනගන්නට තිබේ. ස්ථානාධිපතිගේ රාජකාරි ආවරණය කළේ එම පොලිසියේ සිටි උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනාගෙන් එක් අයෙකි. 29 වැනි දා රාත්‍රී 10 සිට පසුදින අලුයම 01 දක්වා මඩකලපුවේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙස ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් නියෝග ලැබුණෙන් වව්නතිව් පොලිසිය ද එය ක්‍රියාත්මක කළේය. 

සිදුවීම වූ පොලිස් මුරපොල පිහිටියේ වව්නතිව් පොලිසියේ සිට කිලෝමීටර එක හමාරක පමණ දුරිනි.  ඊට හරියටම කිලෝමීටරයක් දුරින් (මහාමාර්ගයේ දුර අනුව) ගුවන් හමුදා කඳවුර පිහිටි අතර කිලෝමීටර තුනක් පමණ දුරින් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරක් ද පිහිටියේය. වවුනතිව් පොලිස් මුරපොලේ රාජකාරි සඳහා පොලිසියේ දෙදෙනකු යෙදවීම පොලිසිය පිහිටවූ දා සිටම ක්‍රියාත්මක විය. 
නොවැම්බර් 29 වැනි දා මුරපොළේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සටහන් යොදා දානමය කටුත්තකට පිටව ගොස් තිබිණි. විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වූ බැවින් එදින පොලිස් මුරපොළේ තිදෙනෙක් රාජකාරි කළහ. මෙහෙයුම අවසන් වීමෙන් පසු අලුයම 1ට එක පොලිස් නිලධාරියකු යළි පොලිසියට පිටව ගොස් සිටි අතර ඉන් අනතුරුව පොලිස් මුරපොළේ සිටියේ ප්‍රසන්න සහ දිනේෂ් පමණි. රාත්‍රියේදී තවත් පොලිස් නිලධාරියකු එතැනින් ගොස් ඇති අතර ඔහු විහිළුවට මෙන් ‘අද කඬේ ලාබයිද?’ යනුවෙන් අසාගෙනම පිටව ගොස් තිබේ. කතාව එතැනින් නිමාවෙන අතර යළිත් කතාව පටන් ගන්නේ උදෑසන 6ට පමණය.  උදෑසනම  එම ස්ථානයට ගිය තවත් පොලිස් කොස්තාපල්වරයකු දැක ඇත්තේ පෙරදින රාත්‍රී රාජකාරි කරමින් සිටි කොත්සාපල්වරුන් දෙදෙනා මරා දමා තිබුණු හැටිය. ඔහු දුරකතනයෙන් ඒ බව පොලිසියට දැනුම් දී ඇති අතර ඒ සමඟම වව්නතිව් පොලිසියේ පිරිස එම ස්ථානයට ගොස් තිබේ.  කොස්තාපල්වරුන් දෙදෙනාගේ රිවෝල්වර වර්ගයේ ගිනි අවි දෙක සහ උණ්ඩ 10ක් ද පැහැරගෙන ගොස් තිබිණි. 

දිනේෂ් නම් පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර වැටී තිබී ඇත්තේ මුරපොලේ අසල එළියේය. ඔහුගේ අත් දෙක ඉදිරිපසට කර ගැට ගසා ඇති අතර පිටුපසින් හිසට වෙඩි තබා තිබිණැයි පොලිසිය කියයි. ප්‍රසන්න නම් කොස්තාපල්වරයා ඒ අවස්ථාවේ සිට ඇත්තේ මුරපොළ ඇතුලේ  තිබුණු ඇඳක් මතය. ඔහුගේ අත් දෙකේ කැපුම් තුවාල රැසක් ඇති අතර බෙල්ලේ ද දරුණු කැපුම් තුවාලයක් තිබෙන බව පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර තිබිණි. ඔහු හා ඝාතනයට පැමිණි පිරිස අතර යම් පොර බැදීමක් වීදැයි පොලිසිය සැක කරයි. ඊට හේතුව ඔහුගේ අත් දෙකේ ඇති කැපුම් තුවාලය.

වව්නතිව්

වව්නතිව් යනු යුද සමයේ එල්ටීටීඊයේ නායකයකු වූ කර්නල් කරුණා අම්මාන්ගේ අණසකට යටත්ව තිබූ ප්‍රදේශයකි. පිල්ලෙයාන්ගේ අනසකද මෙමෙ ප්‍රදේශයේ නොඅඩුව තිබිණි. යුද සමයේ වව්නතිව්හි එල්ටීටීඊයේ සහ යුද හමුදාවේ බෙදුම් සීමාව ලෙස පැවැත ඇත්තේ ප්‍රශ්නගත පොලිස් මුරපොල පිහිටි ස්ථානයයි. නැගෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසු වව්නතිව් පොලිසිය ආරම්භ කර ඇත්තේ 2007 වසරේ ජූලි මස 26 වැනි දා ය. වව්නතිව් මුල්ම පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්ෂක සමින්ත කුමාර මහතාය. 

වව්නතිව් පොලිස් බල ප්‍රදේශය ග්‍රාම සේවා වසම් 16කින් සමන්විතය. ජනගහනය 20,386කි. ඉන් 20,300ක් පමණ දෙමළ ජාතිකයෝය. මුස්ලිම් ජාතිකයෝ 79 දෙනෙක් සහ සිංහල ජාතිකයෝ හත් දෙනෙක් ද එම ප්‍රදේශයේ ජීවත් වෙති. හින්දු කෝවිල් 51ක්, ක්‍රිස්තියානි පල්ලි 05ක්, පංසලක් සහ මුස්ලිම් පල්ලියක් ද, පාසල් 18ක් ද අයත් වන වව්නතිව් පොලිස් බල ප්‍රදේශයේ වපසරිය කිලෝමීටර 113.75කි.  

ගල්ඔය යෝජනා ක්‍රමයෙන් අවතැන්වූවන් පිරිසක් පදිංචි කළ නිසා වව්නතිව්හි සිවම්මඩු ගමේ සිංහල පවුල් කිහිපයක් සිට ඇතත් යුද්ධයත් සමඟ වැඩි දෙනෙකු ගම අතහැර ගොස් ඇත. දැන් සිටින්නේ ඉතාම සුළු පිරිසකි. පෙර සඳහන් කළ පංසල පිහිටා ඇත්තේ එම ගම්මානය ආසන්නයේය.  ගොවිතැන සහ ධීවර කර්මාන්තය වවුනතිව් ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය විය. 

වවුනතිව් ආදී ප්‍රදේශ යුද සමයේ ගැටුම් පැවැති ප්‍රදේශ වන අතර පුනරුත්ථාපනය වූ සහ නොවූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෝ රැසක් එම ප්‍රදේශවල ජීවත් වෙති. 2010 වසරෙන් පසු මෙම ප්‍රදේශයෙන් ප්‍රචණ්ඩක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවත්, මහවිරු සමරුව සෑම වසරකම ඉතා සුළුවෙන් සැමරුවත් කළහකාරී සිද්ධි කිසිවක් වාර්තා නොවූ බවත් පොලිසිය කියයි. 

මහවිරු සමරුව

යුද්ධයේ දී මිය ගිය ඥාතීන් පිරිස් සමරමින් මහවිරු සැමරුම වාර්ෂිකව පැවැත්වෙයි. ප්‍රභාකරන් සමයේ සිට මහවිරු සමරු පැවැති අතර 2009න් පසු මහවිරු සමරු තිබුණේ ඉතාම අල්ප සංඛ්‍යාවකි. යම් තරමකට මහවිරු සමරු පැවැතියේ 2013 දී පමණය. යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් වළ දමා ඇති සුසාන සුද්ධ පවිත්‍ර කර පහන් දල්වා මළවුන් සැමරීම සිදු කෙරෙයි. 

යුද්ධයෙන් පසු පැවැති විශාලම මහවිරු සමරුව සිදු කෙරුණේ මෙවර කිලිනොච්චි ප්‍රදේශයේ බව පොලිසිය කියයි. එය ඉතාම සාමකාමීව පැවැති බවත්, ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවත් පොලිසිය පවසයි. යුද්ධයෙන් පසු වැඩිම මහවිරු සමරු ප්‍රමාණයක් තිබ්බේ ද මෙම වසරේ බව පොලිසිය සඳහන් කරයි.

අනිකුත් ප්‍රදේශවල මෙන්ම  වව්නතිව්හිදී ද මහවිරු සමරුවක් පැවැත්වීමට සූදානම් කර තිබී ඇත්තේ නොවැම්බර් 27 වැනි දාය. හට් ගසා තරමක් හොඳින් එය පැවැත්වීමට සූදානම් කර තිබී ඇත්තේ වවුනතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට තරමක් ආසන්නයේය. ඊට හේතු වී ඇත්තේ එල්ටීටීඊ සාමාජිකයන් මිහිදන් කළ සුසාන භූමිය පිහිටා ඇත්තේ ද ඒ ළඟම නිසා බව පොලිසිය කියයි. මහවිරු සමරුව ගැන ලැබුණු තොරතුරු අනුව නොවැම්බර් 26 වැනි දා වව්නතිව් පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ ස්ථානයට ගොස් හට් ගසා මහා පරිමාණයෙන් මහවිරු සැමරුම සිදු නොකර ලෙස සංවිධායකයන්ට දැනුම් දී තිබේ. 

මහවිරු  සමරුව නතර කරන ලෙස දැනුම් දුන්නේ මිය ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා බවට පැතිර යන කතාවේ කිසිම සත්‍යතාවක් නැතැයි පොලිසිය පවසයි. පොලිසියේ දැනුම්දීම මත මහා පරිමාණයෙන් මහවිරු සමරු පවත්වන්නේ නැතිව පහන් පත්තු කර සාමාන්‍ය පරිදි මහවිරු සමරුව පැවති බව ප්‍රදේශවාසීහු කියති. එමෙන්ම මහා හයියෙන් ශබ්ද විකාශන යන්ත්‍ර දමා තිබිය දී පොලිස් කොස්තාපල් දිනේෂ් ගොස් එය නතර කරන ලෙස දැනුම් දුන්නේයැයි පැතිර ගිය කතාවේ ද කිසිදු සත්‍යතාවක් නැතැයි පොලිසිය කියයි. මහවිරු සමරුව දා හෝ ඊට පසු දින කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ බව පොලිසිය සඳහන් කරයි.  
පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය වාර්තා වූයේ ඊට දින තුනකට පසු 30 වැනි දා අලුයමය. 

සැකකරුවන් දෙදෙනා

සිද්ධිය සැලවූ වහාම පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර පොලිසියේ අවධානය යොමු වූයේ ඊට දින තුනකට පෙර පැවැති මහවිරු සමරුවේ අතුරු ඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවාද යන්න ගැනයි. ඒ අනුව එම සමරුවට පිටින් ආ අය ගැන කළ සොයා බැලීමේ දී කිලිනොච්චියේ පදිංචිකරුවකු පැමිණ ඇතැයි අනාවරණය විය. වහාම ඔහු නිවසේ සිටිත්දැයි සොයා බලන ලෙසත්, ඔහු නිවසට ගොස් නැති නම් මඟ රැක සිට නිවසට එද්දී අත්අඩංගුවට ගන්නා ලෙසත් කිලිනොච්චි පොලිසියට උපදෙස් ලැබිණි.

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ කට්සන් පාරේ පදිංචිව සිටි ඔහු ආර් සර්වනාඳන් නම් විය. 48 වැනි වියේ පසුවූ හෙතෙම බට්ටා ලොරියකින් එළවලු ප්‍රවාහනය කරමින් ජීවිකාව කරගෙන ගිය බව පොලිසිය කියයි. වවුනතිව් පොලිසියේ දැනුම් දීම මත ඔහු අත්අඩංගුවට ගැනීමට ගියත් නිවසේ සිට නැත. මඩකලපුවේ සිට නිවස බලා ගොස් ඇති ඔහු පසු දින එනම් දෙසැම්බර් පළමු වැනි දා උදේ 10.20ට පමණ තමන් සොයන්නට පොලිසියෙන් ගියේ ඇයිදැයි විමසීමට කිලිනොච්චි පොලිසියට පැමිණි බවත්, පසුව ඔහු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බවත් පොලිසිය පවසයි. ආර් සර්වනාඳන්  යුද සමයේ එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකි. 

මඩකලපුව ප්‍රදේශයට ගියේ ඇයිදැයි ප්‍රශ්න කරද්දී සැකකරු කියා ඇත්තේ මහවිරු සමරුවට ගිය බවයි. තමාගේ ඥාතියකු මඩකලපුවේදී මිය ගොස් ඇති බවත්, එනිසා මහවිරු සමරන්න මඩකලපුවට පැමිණෙන බවත්, මහවිරු සමරන්න මඩකලපුවට ආ පළමු අවස්ථාව මෙය නොවන බවත්, මීට පෙර ද පැමිණ ඇති බවත් සැකකරු ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග කියයි. ඔහු පැමිණියේ අනිත් සැකකරුගේ බිරියට ඊට දින කිහිපයකට පෙර  සැත්කමක් කිරීම නිසා ඇය බැලීමටත් එක්කම බව තවත් සමරු කියති.

අත්අඩංගුවට ගත් අනිත් සැකකරු වව්නතිව්හි කන්නන්කුඩා කරනයාකාන්තිවු පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. නමින් කදිරමාතම්බි ඉරාජකුමාරන් නම් ඔහු එල්ටීටීඊ සමයේ හඳුන්වා ඇත්තේ අජන්තන් නොහොත් ‘ඇල්ෆා නයින්’ ලෙසය. ඔහු ද එල්ටීටීඊය තිබුණු කාලයේ නැගෙනහිර පළාතේ බුද්ධි නායකයකු ලෙස කටයුතු කර තිබේ. ප්‍රශ්න කිරීමෙන් පසු එම සැකකරු අත්අඩංගුවට පත් වන්නේ දෙසැම්බර් 03 වැනි දා සවස 4.30ටය.  මෙම ලිපිය ලියන මොහොත වන විටත් සැකකරුවන් දෙදෙනා මෙම ඝාතනයන්ට සම්බන්ධද නැද්ද යන්න ස්ථිර වශයෙන්ම අනාවරණය වී නැති අතර පරීක්ෂණ සිදු කෙරමින් පැවැතිණි. පරීක්ෂණ සඳහා මාස තුනකට ඔවුන් දෙදෙනාට රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

ප්‍රහාරයට ආවේ කොහොමද?

මෙම ප්‍රහාරයට පිරිස ආවේ කෙසේදැයි මෙම ලිපිය ලියන මොහොත වන විටත් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොතිබිණි. සිද්ධියට සැක කරන යතුරු පැදි දෙකක් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 
සිද්ධිය වූ පොලිස් මුරපොළ පිහිටියේ කළපුව ආසන්නයේය. එනිසා බෝට්ටුවකින් වුවද පැමිණීමේ හැකියාවක් තිබෙන බැවින් ඒ ගැන ද විමර්ශකයන්ගේ අවධානය යොමු වී ඇතැයි දැනගන්නට තිබේ. 

මෙම සිද්ධිය වීයැයි සැකකරන කාල වේලාවේදී ගිය යතුරු පැදි දෙකක් ගැන ද විමර්ශනයේ දී අවධානය යොමු වී ඇතැයි පොලිසිය කියයි. සීසීටීවී කැමරාවක එම යතුරු පැදි දෙක සටහන් වී තිබිණි. යතුරුපැදිවල අංක පැහැදිලිව සටහන් වී නොතිබුණු නිසා විමර්ශනය තරමක් අපහසු බව පොලිසිය කියයි. 

එම යතුරු පැදි හා මෙම ඝාතනය අතර සම්බන්ධයක් ඇත්දැයි වැඩිපුරම සැක මතුව ඇත්තේ යතුරු පැදිවල ප්‍රධාන ලාම්පු නිවා දමා ගමන් කරන නිසාය.  එක් යතුරු පැදියක තිරිංග තද කරන විට දැල්වෙන ලාම්පුව පත්තු වෙන ආකාරය ද දැක්වෙන බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් ඒ ගැන වැඩිදුර තහවුරු කර ගැනීම් සඳහා ප්‍රදේශයේ ඇති තවත් සීසීටීවී දර්ශන ගැන විමර්ශන ආරම්භ කර තිබේ.  

දිනේෂ්ගේ පෙම්පළහිලව්ව

අත් දෙක ඉදිරිපසට කර බැඳ දමා මරා දමන ලද දිනේෂ් නම් පොලිස් කොස්තාපල්වරයාගේ පෙම් පළහිලව්වක් ගැන ද කතා පැතිර ගියේය. පොලිසිය කියනා අන්දමට දිනේෂ් වව්නතිව් ප්‍රදේශයට පැමිණ වැඩි කාලයක් නැත. ඔහු ප්‍රදේශයේ තරුණියක සමඟ කතා බහ කරමින් සම්බන්ධතාවක් ඇති කර ගෙන තිබෙන බව පොලිසිය පවසයි. එය දුරදිග ගිය සම්බන්ධතාවක් නොවන බව පොලිසිය තහවුරු කරයි.

සතියක එක හමාරක පමණ කාලයක් දුරකතනයෙන් කතා කරමින් දෙදෙනා සිට ඇති බව ද, කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා හමුවී ඇත්තේ එක් වතාවකදී පමණක් බව ද පොලිසිය පවසයි. 

විදේශයක සිටින ඇගේ හිතවතකු මෙම සම්බන්ධය දැනගෙන තරහින් සිටි බව ප්‍රදේශයේ කිහිප දෙනකු ප්‍රකාශ කළත් එය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය කියයි. සිද්ධිය වූ දා තරුණිය හා දිනේෂ් අතර එකම ඇමතුමක්වත් හුවමාරු වී නැත. දිනේෂ්ගේ පවුලේ උදවියගෙන් ඔහුගේ ආදර සම්බන්ධතා ගැන විමසද්දී ඔවුන් කීවේ දිනේෂ්ට පෙම්වතියක් නොසිටි බවයි. 

අත්අඩංගුවට ගත් වව්නතිව් සැකකරුගේ ජංගම දුරකතනයේ දිනේෂ් මිය ගොස් සිටි ඡායාරූපයක් තිබී ඇතත් එය අන්තර්ජාලයෙන් පසුව බාගත කර ගත්තක් බවට සැක කෙරෙන බව පොලිසිය කියයි.

වැලි ජාවාරම

ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට   වැලි ජාවාරමක්  පැවැති බව ද පොලසිය කියයි. එය වව්නතිව් ප්‍රදේශයේම නොවූවද වැලි ප්‍රවාහන රථ වවුනතිව් හරහාද ගමන් කළ බව දැනගන්නට තිබේ.

වැලි ජාවාරම්කරුවන් අතින් මෙම අපරාධය සිදු වන්නට ඇති බවට ද ඇතැමෙක් විශ්වාස කරති. කෙසේ වෙතත් ඒ බව තහවුරු කෙරෙන සාධක කිසිවක් ලිපිය ලියන මොහොත වන විටත් පොලිසියට හමුවී තිබුණේ නැත.

කෙසේ වෙතත් වවුනතිව්වලින් අත්අඩංගුවට ගත් සැකකරුගේ පෙර හැසිරීම් ගැන විමර්ශකයෝ දීර්ඝ ලෙස සොයා බලමින් සිටිති. සැකකරුවකු එල්ටීටීඊ සිට ඉන් කැඩුණු නායකයකු සමඟ සම්බන්ධතා පැවැත්වීයැයි ලැබී ඇති තොරතුරු මත ඒ ගැන ද විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.

පොලිසියේ අඩුපාඩු  

වව්නතිව් පොලිසියේ පරිපාලනය සිදු වන්නේ එම පොලිසියේ සිටින නිලධාරී සංඛ්‍යාව අනුවය. නගරයෙන් ඈත ඇතැම් පොලිසි නවීකරණය කර හොඳ මට්ටමේ තිබුණ ද ඇතැම් පොලිසිවල තත්ත්වය එසේ නොවේ. වවුනතිව් පොලිසියද එසේමය. එය අඩු පහසුකම් මැද වැඩියෙන් රාජකාරි කිරීමට උත්සාහ දරන පොලිසියකි. 

පොලිසියක තිබිය යුතු අංශ ගණනාවකි. නමුත් ඒවාට සරිලන පිරිස නොමැති නිසා එකම නිලධාරීහු පිරිසක් බොහෝ අංශවල වැඩ ආවරණය කරති. නිලධාරී හිඟයද නිසා දීර්ඝ කාලයක සිට වවුනතිව් පොලිස් මුරපොළේ රාජකාරියට යොදවා තිබුණේ නිලධාරීන් දෙදෙනකු පමණි. එය අද ඊයෙක සිට සිදුවූවන් නොවේ. යුද්ධයෙන් පසු කෙටි කාලයක් වවුනතිව් මුරපොළ ඉදිරිපිට පාරෙන් අනිත් පැත්තේ ගුවන් හමුදා මුරපොළක් ද තිබී ඇති අතර ආරක්ෂාවේ ගැටලු මතු නොවූයෙන් පසුව එය ද ඉවත් කර තිබේ.

‘පොලිස් මාර්ග බාධක ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාත්මක කිරීම’ මැයෙන් 2006 ජූලි 04 වැනි දා එවකට පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා 1924/2006 අංකයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළේය. එහි 04.1 හි සඳහන් වන්නේ කොට්ඨාස මට්ටමින්  පුහුණුවකින් පසු අවම වශයෙන් මාර්ග බාධයකයක රාජකාරී සඳහා හතර දෙනකු යෙදවිය යුතු බවයි. එම චක්‍රලේඛයේ අංක හය යටතේ සඳහන් කර ඇත්තේ මාර්ග බාධක ස්ථානයේ ආරක්ෂාව සහතික කිරීම ගැනයි.  හොඳින් ක්‍රියාකාරී ගමන් කථනයක්/සන්නිවේදන උපකරණයක් ලබා දිය යුත-ු බව එහි සඳහන් වේ. 

මීට අමතරව ඊට පසු හිටපු පොලිස්පතිවරුන් ද අවස්ථා කිහිපයක දී පොලිස් මුරපොළවල් හා මාර්ග බාධකවලට අදාළව උපදෙස් චක්‍රලේඛ නිකුත් කර ඇති අතර වව්නතිව්හිදී ඒවා බොහෝමයක් ක්‍රියාත්මක නොවීමට හේතුව අන් කවරක්වත් නොව මානව සම්පත්වල සහ භෞතික සම්පත්වල හිඟතාවය බව පොලිසිය පවසයි.

පොලිසියට එරෙහි ප්‍රචණ්ඩත්වය

පොලිසියට එරෙහිව ප්‍රචණ්ඩත්වය එල්ල කළ පළමු අවස්ථාව මෙය නොවේ. අතීතයේ සිට අවස්ථා ගණනාවකදීම එවැනි සිද්ධි වාර්තා විය. ආසන්නම සිදුවීම් දෙකක් මෙසේය. 

මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට ප්‍රහාර එල්ල කළ සිද්ධියක් 2014 වසරේ මැයි හය වැනිදා ද වාර්තා විය. ඒ කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගැට්ටුවාන මංසන්ධිය අසලදීය. එම සිදුවීම වන විට ද වේලාව අලුයම දෙකට තුනට පමණ වූ බව පොලිසිය පවසයි. පොලිස් කොස්තාපල් චන්දන සම්පත් බණ්ඩාර සහ පොලිස් කොස්තපල් අජිත් වීරසූරිය එලෙස පැහැරගෙන ගොස් තිබිණි. 

පැහැර ගෙන ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ නිල ඇඳුම් මෙන්ම සියලුම ඇඳුම් ගලවා දමා තිබුණු බවත්,  ඔවුන් පැහැර ගැනීමට පැමිණි පිරිස අතද ටී 56 ගිනි අවි තිබුණු බවත් පොලිසිය කියයි. ඔවුන් පාලු ස්ථානයක පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා බස්සවා වෙඩි තබා ඇති අතර ඉන් එක් කොස්තාපල්වරයෙක් මිය ගොස් අනිත් කොස්තාපල්වරයා අනූ නවයෙන් පණ බේරා ගත්තේය. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ රහස් පොලිසිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් අතර ආයුධ පෙන්වන්නට ගිය අවස්ථාවක සැකකරු ඝාතනය විය.

කුරුණෑගලම තවත් මෙවැනි සිද්ධියක් වාර්තා විය. එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙක් ඝාතනය වූ අතර පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය. එම සැකකරුවන් අපරාධයට පැමිණීමට පෙර සිට ඇත්තේ උසස් පොලිස් නිලධාරියක-ු සමඟ මත්පැන් සප්පායම් වෙමින් බව ද ඒ දිනවල කියැවිණි. කෙසේ වෙතත් එම ප්‍රධාන සැකකරු ද ඝාතනය විය.

අපරාධයෙන් පසු

වව්නතිව් අපරාධයෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ. පොලිස් මුරපොළ ඉදිරිපිට සුපුරුදු පරිදි වසර කිහිපයකට පසු ගු-වන් හමුදා භටයන්ගේ ආරක්ෂාවද යොදවා තිබේ. අවට විදුලි පහන්ද වෙනදාට වඩා දල්වා තිබෙන අයුරු දැක ගත හැකිය. 

සිවිල් ආරක්ෂක කමිටු සහ ග්‍රාමාරක්ෂක කමිටු ද වෙනදාටත් වඩා ශක්තිමත් කරමින් පොලිසිය හා ජනතාව අතර අන්‍යොන්‍ය සම්බන්ධය වැඩි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන හමාර බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.  

එම සිද්ධිය  සිදුවී හමාරය. දැන් ඇත්තේ එම සිද්ධියේ සුලමුල සොයා බලා අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සහ මෙවැනි සිද්ධි යළිත් සිදුවීම වළක්වා ගැනීමය. ඒ සඳහා පොලිසිය මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව වැඩි දෙනකුගේ අදහස වී තිබේ.

 

 



අදහස් (0)

වව්නතිව් ඝාතන කාගේ වැඩක්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 120 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 996 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 234 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 251 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 953 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 279 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 77 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1105 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site