IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ජනපති අපේක්‍ෂකයෝ කරළියට

ජනාධිපතිවරණයට හරියටම තවත් මාස හයක පමණ කාලයක් තිබිය දී ජනාධිපති අපේක්‍ෂකයන්ගේ නම් ටිකින් ටික කරළියට එමින් තිබේ. මෙතෙක් කලක් රහසක් ලෙස තබාගෙන සිටි ජනාධිපති අපේක්‍ෂකයන්ගේ නම් එලෙස කරළියට එද්දී දේශපාලන පක්‍ෂවල අභ්‍යන්තර අර්බුද ද උත්සන්න වෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

මීට සති කිහිපයකට ඉහතදී බැසිල් රාජපක්‍ෂ කීවේ මුලින්ම  ජනාධිපති අපේක්‍ෂකයා වීමට තමන් කැමති බව ගෝඨාභය ප්‍රකාශ කිරීම හොඳ ප්‍රවණතාවයක් බවයි. බැසිල්ගේ ප්‍රකාශයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ ද පියවරක් ඉදිරියට තබමින් තමන් ජනාධිපති අපේක්‍ෂකයා විය හැකි බවත් තමන්ට සුළු ජාතීන්ගේ ඡන්ද ලබාගත හැකි බවත් ප්‍රකාශ කළේය. මේ අතර එක්සත් ජාතික පක්‍ෂය තවමත් නිල වශයෙන් මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්දැයි ප්‍රකාශ කළේ නැත.

එහෙත් එජාපයේ ප්‍රබලයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ අනිවාර්යයෙන්ම එජාපයේ නායකයකු පොදු අපේක්‍ෂකයකු ලෙස මැතිවරණයට තරග කරන බවය. තත්ත්වය එසේ තිබිය දී කතානායක කරු ජයසූරිය මහතා ද නොනිල මට්ටමින් ජනාධිපති ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙන බවක් පෙන්නුම් කරයි. ව්‍යවස්ථා අර්බුදය පැවැති ටික කාලය තුළ දී ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී විශාල සටනක් දියත් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබල බලපෑම් හමුවේ කරු ජයසූරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දෙස් විදෙස් දේශපාලන මතධාරීහු අදහස් පළ කළහ. එජාපයේ ප්‍රබල දේශපාලනඥයකු දැනටමත් නොනිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ කරු ජයසූරිය එජාපයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන බවය. තවත් අදහසකින් ප්‍රකාශවනුයේ මෙවර අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති තරගයට ඉදිරිපත් වන බවය. සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට නම් කිරීමේ පොරොන්දුව මත එජාපය ජනාධිපති තරගයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බව එම පිරිසගේ අදහසය. දේශපාලන විචාරකයන් පෙන්වාදී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණය ගලඋඩ සටනක් වනු ඇති බවය. රටේ බහුතර ජනතාවගේ කැමැත්ත මෙන්ම සුළු ජාතීන්ගේ ඡන්ද දිනාගැනීම, ජාත්‍යන්තර ප්‍රසාදය හා සහාය හිමිකර ගැනීම අනිවාර්ය සාධක වෙන බව ද සමතුලිත ලෙස ඒ සියලු අභියෝග සමතුලිත කර ගැනීමකින් තොරව ජනාධිපතිවරණය දිනාගත නොහැකි බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

මේ අතර ඉකුත් සතියේ දේශපාලන කරළියේ ප්‍රබලතම ප්‍රවෘත්තිය බවට පත්වූයේ ගෝඨාභය රාජපක්‍ෂට අපේක්‍ෂකත්වය ලබාදීමට මහින්ද රාජපක්‍ෂ එකඟතාව පළකර තිබෙන බවය. ප්‍රබල පුවත්පත්වල එම ප්‍රවෘත්තිය පළවීමත් සමඟ ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේන සමඟ සිටින මන්ත්‍රීවරු දැඩි ලෙස කලබලයට පත් වූහ. අභ්‍යන්තර වශයෙන් ශ්‍රීලනිපයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතවාදී ගැටුමක් ද නිර්මාණය වී තිබේ.

“ප්‍රසිද්ධ වෙමින් තිබෙන ආරංචි නිවැරැදි නැහැ. ගෝඨාභය තෝරා ගැනීමට රාජපක්‍ෂ පවුල තීන්දුවක් ගෙන නැහැ. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ පණිවුඩයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදී තිබෙනවා. ඒ අනුව මහින්ද කියා ඇත්තේ තවමත් ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳ ස්ථීර තීන්දුවක් ගෙන නැති බවයි” යැයි ශ්‍රීලනිප නායකයෙක් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ද නැවත ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්‍ෂාවෙන් පසුවන හෙයින් ශ්‍රීලනිපයට හා පොදුජන පෙරමුණට අවසන් තීන්දුවකට එළඹීම පහසු නොවන බව ද පක්‍ෂ දෙකේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ප්‍රධාන දේශපාලන පක්‍ෂ එලෙස ජනාධිපතිවරණයට කැසපොට ගසමින් සිටින වාතාවරණයක් තුළ පළාත් සභා ඡන්දය අමතක වී ගොස් ඇති බවද ඇතැම් දේශපාලන විචාරකයෝ සඳහන් කරති. මෙතෙක් කලක් පළාත් සභා මැතිවරණය ඉල්ලා සටන් දියත් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිනේෂ් ගුණවර්ධන ආදී පක්‍ෂ නායකයෝ ද දැන් දැන් පළාත් සභා මැතිවරණය ඉල්ලමින් සටන් නොකරති. ඔවුන්ගේ අපේක්‍ෂාව හා සූදානම ද ජනාධිපතිවරණය දිනාගැනීම බව පෙනෙන්නට තිබේ.

මේ අතර ඉකුත් දා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභිකයන්ට දැනුම් දී ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසය. “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර හිටපු මහලේකම් දුමින්ද දිසානායක කියන්නේ ඒ අයගේ පෞද්ගලික අදහස්. එහෙම නැතිව ශ්‍රීලනිපය තවමත් අපේක්‍ෂකයකු පිළිබඳව අවසන් තීන්දුවක් අරගෙන නැහැ. දයාසිරි මහලේකම් ධුරයට පත් වූ දිනයේ සිටම තමන්ට කැමති කැමති අදහස් කියනවා. ඒවා පක්‍ෂයේ ස්ථිර තීන්දු නොවෙයි” යැයි ඉසුර දේවප්‍රිය චෝදනා කරන්නේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හතලිස් වැනි සැසිවාරයේදී මහකොමසාරිස්වරිය ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව පිළිබඳවද දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. විපක්‍ෂය දිගින් දිගටම චෝදනා කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම රට පාවාදීමක් බවය. මහින්ද රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට දෝෂාරෝපණයක් එල්ල කළේය. ආණ්ඩුව වෙනුවෙන් ඊට හිටපු විදේශ කටයුතු ඇමැතිවරයා පිළිතුරු දී තිබිණ. 

මේ අතර විපක්‍ෂයේ බොහෝ දෙනා සිතා සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව සම්බන්ධයෙන් එරෙහිවන්නට ආණ්ඩුව ඉදිරිපත් නොවනු ඇති බවක්ය. එහෙත් විපක්‍ෂයේ චෝදනා යම් පමණ සමනයකට පත් කරමින් විදේශ ඇමැති තිලක් මාරපන ජිනීවාහිදී මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ප්‍රතිචාර දැක්වූයේය. දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමටත් මෙරට යුද අපරාධ සම්බන්ධයෙන් කෙරෙන ප්‍රකාශවලටත් එරෙහිව විදේශ කටයුතු ඇමැතිවරයා ජිනීවාහිදී අදහස් ප්‍රකාශ කළේය. ඒ අනුව විපක්‍ෂයේ චෝදනා යම් පමණකින් සමනය වූ බවක් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන පියසේන ගමගේ සහ විජිත් විජයමුණි සොයිසා ආණ්ඩුවට එක්වීම පිළිබඳව ජනාධිපතිවරයා දැඩි විරසකයකින් පසු වන්නේය. අගමැතිවරයා යෝජනා කළද ඇමැති ධුර ලබාදීම ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රතික්‍ෂේප කළේය. ඒ නිසා අග්‍රාමාත්‍යවරයා විකල්ප පියවරක් ලෙස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු පිළිබඳ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රීවරයා ලෙස පියසේන ගමගේ පත් කළේය. ඔහු මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේද වෘත්තීය පුහුණු අමාත්‍ය ධුරයේ කටයුතු කළේය. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ පියසේන ගමගේ නැවත මහින්ද පිළට එක්වීමේ අපේක්‍ෂාවෙන් කටයුතු කරන බවය. “පියසේන ගමගේ ගාල්ල හිනිදුම ආසනයට තරග කරන කෙනෙක්. ඒත් මේ වනවිට හිනිදුම ආසනය මනුෂ නානායක්කාරට ලබාදීලා. පියසේන ගමගේට එජාපයෙන් හිනිදුම සංවිධාවකකම දෙන්නත් ඉඩක් නැහැ. ඊට පස්සේ පියසේන ගමගේට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදෙන්න යෝජනාවක් ගෙනාවා. ඒකටත් එජාපයෙන් හොඳ ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා පියසේන ගමගේට නැවත හිටපු ගෙදරටම යනවා හැරෙන්න වෙන දෙයක් ඉතිරිවෙලා නැහැ. හැබැයි විජිතමුණි සොයිසා ප්‍රසිද්ධියේම කියන්නේ ඔහු නැවත රාජපක්‍ෂවරුන්ට එකතු නොවන බවය. විජිතමුණි සොයිසා එක්කෝ එජාපයෙන් තරග කරන්න ඕනේ. නැත්නම් ජාතික ලැයිස්තුවෙන් පත්වෙන්න ඕනේ” යැයි ද ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයෙක් සඳහන් කර තිබේ.

මේ අතර අය-වැය අවසන්වර ඡන්ද විමසීම අප්‍රේල් මස පස්වැනි දින පැවැත්වීමට නියමිතය. අය-වැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරු විරුද්ධ නොවූහ. ඔවුහු ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ විරසකයකින් පසුවෙයි. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙවර උත්සාහ දරන්නේ අය-වැය අවසන් ඡන්ද විමසීමේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරවීමට උනන්දු කරවීමටය. “දෙවනවර කියවීමේදී කළ වැඬේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙවර කරන එකක් නැහැ. ඔවුන් පොදුජන පෙරමුණත් සමඟ එක් වෙලා අය-වැයට විරුද්ධව ඡන්දය දේවි කියලා අපි හිතනවා.” යැයි ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි. එහෙත් ඒ පිළිබඳව අවසන් තීන්දුව ගන්නේ ජනාධිපතිවරයා බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.

වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප රු.1000/= දිනාගැනීමේ සටන ජාතික සටනක් බවට පත්වී තිබේ. පසුගිය කාලයේ වතු සේවක සංගම් පමණක් ගෙන ගිය අරගලයට දැන් සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂවලද සහය ලැබෙමින් තිබේ. ජවිපෙ නියෝජනය කරන සමස්ත ලංකා වතු කම්කරු සංගමයද, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයද මෙම සටන් පාඨය සමඟ මුල සිටම අරගලයක නිරත විය. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් නියෝජනය කරන වතු සංගම් මෙම සටන පාවාදීමෙන් පසු වුවද මෙම සටන අඛණ්ඩව කරගෙන යාමට ජවිපෙ වතු සේවක සංගමය කටයුතු කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයන්ගේද විශේෂ අවධානයක් යොමු වූ අතර ජවිපෙ නායක අනුර දිසානායක මෙම මස මුල් සතියේ දින කිහිපයක් හැටන් නගරයේදී වතු කිහිපයක සේවකයින් හමුවිය. මේ අතර වතුකම්කරු ජනතාවගේ ඉල්ලීමට අනුව මෙම මස 21දින අනුර දිසානායක නුවරඑළිය නගරයේදී වතු සේවකයන් හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එමෙන්ම හැටන් නගරයේ වතු සේවකයන් හමුවීමට ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක ඉදිරියේදී හැටන් නගරයේ සංචාරයක නිතර වීමට නියමිතය.

 ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීම නිසා රට පුරා ජනතාව මහත් අර්බුදයකට පත්ව සිටියි. මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකි ණයලාභීන් විසින් සියදිවි නසාගත් අවස්ථාද නිතර වාර්තා වෙමින් තිබේ. බොහෝ ආර්ථික අපහසුතා මැද සිටින ග්‍රාමීය ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන තව තවත් අර්බුදයට යෑම පිළිබඳව ආණ්ඩුවේ පවා අවධානය යොමු වීමට පටන් ගත්තේ ජවිපෙ නායකයන් පාර්ලිමේන්තුව තුළත් ජනහමුවලදීත් මෙහි බැරූරුම් තත්ත්වය පැහැදිලි කිරීමට පටන් ගත් මොහොතේ සිටය. ණය ගෙවීම් පැහැරහැරීමේ තත්වය හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතනත් අර්බුදයකට මුහුණ දෙන්නට විය. මේ සම්බන්ධයෙන් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හිමිකරුවන්ගේ සංගමය ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියේ මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටය. ඒ අනුව පසුගිය 20වැනිදා ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හිමිකරුවන් පිරිසක් සහ මන්ත්‍රීවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 

“ඇතැම් පුද්ගලයන් හා කුඩා සමාගම් අවිධිමත් විදියට ණය දෙන්න පටන් අරගෙන තිබෙන නිසා අපේ සමාගම්වලටත් අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. ඇතැම් පුද්ගලයන් දෛනික පොලියට ණය දෙනවා. පොලී අනුපාතය සියයට දෙසීයයි. අපේ සමාගම් ඒ වගේ ණය දෙන්නේ නැහැ. අපි ණය දෙන්නේ ජනතාවගේ සංවර්ධනය ව්‍යාපෘතිවලට. ඒ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳව දැන් රටේ තියෙන්නේ නරක චිත්‍රයක්.” සමාගම් හිමිකරුවෙක් පැහැදිලි කළේය. “ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත්ත ලොකු පිරිසක් දැන් ණය ගෙවාගන්න බැරුව ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. මිනිස්සු ආර්ථික අමාරුකම් නිසා ඕනෑම තැනකින් ණය ගන්න පෙළඹෙනවා. පස්සේ ණය ගෙවාගන්න බැරුව සියදිවි නැති කරගන්න පවා පෙළඹෙනවා. මේක ආණ්ඩුවක් විදියට මැදිහත් වෙන්න ඕනෑ ප්‍රශ්නයක්. ව්‍යාපාරිකයන් ගැන වගේම ජනතාව ගැනත් හිතන්න ඕනෑ.” මන්ත්‍රීවරයා කීය. “ඔව් මන්ත්‍රීතුමා, අපි කියන්නෙත් මේක මහ බැංකුව මැදිහත් වෙලා නියාමනය කරන්න ඕනෑ. විධිමත් විදියට ණය දෙන ආයතනවලටත් මේක ගැටලුවක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලා මැදිහත් වෙලා මේක නියාමනය කරන්න ආණ්ඩුවට බලපෑම් කරන්න.” ක්ෂුද්‍ර මූල්‍ය හිමිකරුවෝ ඉල්ලා සිටියහ. “ඔව් අපේ පැත්තෙන් මැදිහත්වීමක් කරනවා. මම මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න මහ බැංකුව කෝප් කමිටුවට කැඳවන්නම්.” සුනිල් හඳුන්නෙත්ති පොරොන්දු විය. “ඒ වගේම මන්ත්‍රීතුමා තව ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව කිවුවා ජනතාව අරගෙන තියෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරින්න ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට මුදල් වෙන් කරනවා කියලා. එහෙත් වෙන් කරලා නැහැ. දැන් මිනිස්සු ණය ගෙවන එක නවත්වලා ආණ්ඩුව සමාගම්වලට මුදල් දුන්නා කියලා හිතලා. මේකත් ලොකු අවුලක්.” සමාගම් හිමිකරුවෙක් කීය. “මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි මේ ගැන මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එක්ක කතා කරමු. මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න වෙන එකක්.” මන්ත්‍රීවරයා පැහැදිලි කළේය. ඒ අනුව ඉදිරියේදී නැවත සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් සාකච්ඡාව අවසන් විය.



අදහස් (0)

ජනපති අපේක්‍ෂකයෝ කරළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 0 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 161 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 1012 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 234 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 254 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1979 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 429 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 109 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1135 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site