• අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සහ ශක්තිමත් විදේශීය ස්වාරක්ෂක පවත්වාගෙන යාම අවශ්‍යයි 
  • නැගී එන සාර්වමූල්‍ය අවදානම් පිළිබඳ දැඩි අවධානයක් අවශ්‍ය බවත් පවසයි
  • රන් ණය සහ වාහන ණය මත සීමා දැඩි කිරීමට මූලිකම හේතුවත් මෙයයි
  • 2026 පළමු කාර්තුවේදී බැංකු සහ මුදල් සමාගම් අංශයේ ඔරොත්තුදීම තවදුරටත් වර්ධනය වෙලා
  • බැංකු සතු ණය සංයුතිය සියයට 85.2ක්, මුදල් සමාගම් සතු ණය සංයුතිය සියයට 14.8ක්
  • බැංකුවල වංචා සහ සයිබර් ආශ්‍රිත සිදුවීම් මෙන්ම ඩිජිටල් ගනුදෙනුවලදී සමීප අධීක්ෂණයක් අවශ්‍යයි
  • මුදල් සමාගම් තුළ වාහන මත ණය සියයට 52.8ක සහ රන් ණය සියයට 69.2ක වර්ධනයක්

භානුක අමරසිංහ


ඉදිරි කාලයේදී ඇති විය හැකි ඉහළ යන බලශක්ති මිල ගණන්, භාණ්ඩ මිල ඉහළ පහළ යෑම්, විනිමය අනුපාතයේ උච්චාවචන, අහිතකර කාලගුණික තත්ව සහ ඉහළ යන උද්ධමනය වැනි ගෝලීය අභියෝග හරහා සාර්වමූල්‍ය තත්ව මත පීඩා ඇති කළ හැකි බවත්, ඒ අනුව ඉන් මූල්‍ය පද්ධතිය වෙත එල්ල වන බලපෑම් අවම කරගැනීම සඳහා සූදානමින් සිටිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2026 වසරේ පළමු කාර්තුවේ මෙරට මූල්‍ය අංශයේ කාර්යසාධනය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කරුණු සඳහන් කර සිටියි.

ඒ අනුව මෙරට බැංකු සහ මුදල් සමාගම් ඇතුළු මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව, ශක්තිමත් විදේශීය ස්වාරක්ෂක සහ නැගී එන සාර්වමූල්‍ය අවදානම් පිළිබඳ සවිමත් අධීක්ෂණයක් අවශ්‍ය වන බව මහ බැංකුව අවධාරණය කරයි.

විශේෂයෙන්ම මෙම තත්වයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙන බවත්, 2026 මැයි 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි, රන් ණය සඳහා සියයට 70ක වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදී ඇති අතර, මෝටර් රථ වාහන සඳහා ලබා දෙන ණය පහසුකම් සඳහා පවතින වටිනාකම මත උපරිම ණය අනුපාත සීමාවන්ද ප්‍රතිශතාංක 10කින් දැඩි කර ඇතැයිද පවසා සිටියි.

“ඇපකර මත පදනම් වූ ණය දීම් මෑතකාලීනව සැලකිය යුතු ලෙස වර්ධනය වීම මෙන්ම භූදේශපාලනික අවිනිශ්චිතතා සහ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි විනිමය අනුපාතික විචලන හේතුවෙන් ඇති වූ වත්කම් මිලෙහි උච්චාවචන සැලකිල්ලට ගනිමින්, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.”

කෙසේ වෙතත් මැදපෙරදිග කලාපයේ තීව්‍ර වූ ආතති තත්ව සහ ගෝලීය අවිනිශ්චිතතා නිසා මතු වූ අභියෝගාත්මක ජාත්‍යන්තර හා දේශීය තත්ව මධ්‍යයේ වුවද, 2026 වසරේ පළමු කාර්තුවේදී මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පැවතුණු බවද මෙම වාර්තාව සඳහන් කරයි.

එහිදී විශේෂයෙන්ම පළමු කාර්තුවේදී දේශීය සාර්වමූල්‍ය තත්වයන් හි පැවති සාධනීය මට්ටමත් සමගින් පෞද්ගලික අංශයට ණය ලබාදීම්වල සිදු වූ ඉහළ යෑම් නිසා බැංකු සහ මුදල් සමාගම් විසින් සපයන ලද මුළු ණය ප්‍රමාණය ඉහළ යමින් ණය වර්ධනය තවදුරටත් වේගවත් වී තිබේ. 

ඒ අනුව බැංකු සතු ණය සංයුතිය සියයට 85.2ක් ලෙසත් මුදල් සමාගම් සතු ණය සංයුතිය සියයට 14.8ක් ලෙසත් සටහන්ව ඇත.

“මෙහිදී ණය නිරාවරණය වැඩි වශයෙන් පෞද්ගලික අංශය වෙත මාරු වූ අතර, රජය සහ රාජ්‍ය සංස්ථා වෙත පැවැති නිරාවරණය සුළු වශයෙන් අඩු විය. ස්වෛරී බැංකු සබඳතාව මගින් රජය සහ බැංකු ක්ෂේත්‍රය අතර අන්තර් සම්බන්ධතාව තවදුරටත් පිළිබිඹු විය. මෙම කාර්තුව තුළ බැංකු අංශයේ ණය සහ තැන්පතු අතර අනුපාතය වසර තුනකට පසුව පළමු වතාවට සියයට 70 සීමාව ඉක්මවා යමින් මූල්‍ය අතරමැදිකරණය තවදුරටත් වැඩි දියුණු වී තිබේ.”

මේ අතරින් බැංකු අංශය ලබා දුන් ණය 2025 පළමු කාර්තුව අවසානයේදී වාර්තා කළ සියයට 7.9 ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයට සාපේක්ෂව 2026 පළමු කාර්තුව අවසානයේදී සියයට 24.4 කින් වර්ධනය වී තිබේ. 

එහිදී ලාභදායිත්වයේ සුළු පහළ යෑමක් සමග ද්‍රවශීලතාවේ සහ ප්‍රාග්ධන ස්වාරක්ෂකද සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇත.

“කෙසේ වෙතත් ශ්‍රී ලංකා රුපියල මෑතකාලීනව අවප්‍රමාණයවීම සහ වර්ධනය වූ ද්විතියික වෙළෙඳපොළ ප්‍රතිලාභ හේතුවෙන් බැංකු අංශයේ ප්‍රාග්ධන ස්වාරක්ෂක, වත්කම් මත නැවත ගණන බලපෑම ඔස්සේ තවදුරටත් පහත වැටීමට ඉඩ තිබෙනවා. එසේම වංචා සහ සයිබර් ආශ්‍රිත සිදුවීම්වලට නිරාවරණයවීමේ සම්භාවිතාව අවධානය යොමු කළ යුතුයි. ඩිජිටල් ගනුදෙනුවලදී සමීප අධීක්ෂණයක සහ ඉහළ සුපරීක්ෂාවක අවශ්‍යතාවද පවතිනවා.” 

එසේම මුදල් සමාගම් අංශයේ ණය වර්ධනය සියයට 26.9 ක සිට සියයට 52.4ක් දක්වා වර්ධනය වී තිබේ. 

ප්‍රධාන වශයෙන් වාහන සහ රන් සුරැකුම් මත ලබාදුන් ණය මේ සඳහා හේතුව වී ඇත. 

ඒ අතරින් වාහන මත ණය සියයට 52.8 කද, රන් සුරැකුම් මත ණය සියයට 69.2 කද වර්ධනයක් වාර්තා කර තිබේ. එහිදී ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවයේ සුළු පහත යෑමක් පැවතියද, ද්‍රවශීලතාව සහ ලාභදායිතාව සතුටුදායක මට්ටමක පවත්වාගෙන යාමට එම අංශය සමත්ව ඇතැයි මහ බැංකුව පවසයි.

“කෙසේ වෙතත් ආනයන බදු ඉහළ යාම සහ විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන මිල ඉහළ යාම මෙන්ම, දැඩි මුදල් ප්‍රතිපත්තිය සහ සාර්ව විචක්ෂණ පියවර පදනම් කරගෙන මුදල් සමාගම් අංශයේ අනාගත ණය ප්‍රසාරණ ප්‍රවණතාවෙහි යම් පහළ යාමක් අපේක්ෂා කරනවා.”