ආචාර්ය හාන්ස් විජයසූරිය (ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක), වරුණ ශ්‍රී ධනපාල (ලේකම් - ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය), ඉංජිනේරු එරංග වීරරත්න (නියෝජ්‍ය අමාත්‍ය - ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය), චන්න ද සිල්වා (සභාපති - ශ්‍රී ලංකා FinTech Forum සංසදය) සහ කොන්රඩ් ඩයස්
(උප සභාපති - ශ්‍රී ලංකා FinTech Forum සංසදය)
- ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ (FinTech) විප්ලවයේ ශ්‍රී ලාංකික අභිමානය
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ සමස්ත ලෝකයේම අවධානය යොමු වෙමින් ඇති යුගයක මූල්‍ය තාක්ෂණ හෙවත් FinTech ක්ෂේත්‍රයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. තාක්ෂණය සමග වේගවත් ගමනක යෙදී සිටින ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ලංකාව ද සැලකිය යුතු වර්ධනයක් හිමි කර ගන්නට සමත්ව තිබීම ලාංකිකයන් ලෙස සැමට ආඩම්බර විය හැකි කරුණකි. මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ලංකාව ලබා ඇති කැපී පෙනෙන වර්ධනය පෙන්නුම් කරන්නට සහ ඒ තුළින් ජාත්‍යන්තරයේ ලාංකික අභිමානය ඉස්මතු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම FinTech උළෙල එළැඹෙන නොවැම්බර් මස මුලදී පවත්වන්නට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කෙරෙමින් පවතී.
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා FinTech Forum සංසදය එක්ව සංවිධානය කරන මෙම උළෙල, FinTech Festival 2026 ලෙස නම් කර ඇති අතර මෙය, නොවැම්බර් 2 සහ 3 යන දිනයන්හි කොළඹ ෂැන්ග්‍රි-ලා (Shangri-La) හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා FinTech Forum සංසදයේ සභාපති චන්න ද සිල්වා මහතා මෙසේ පැවසීය. “මෙම උළෙල ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක්. ඒ වගේම මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ජාතික සන්නාමයක් ලෙස කැපී පෙනීමටත්, ජාත්‍යන්තරය හමුවේ රටට වටිනාකමක් එකතු කරන්නටත් අප දක්වන උනන්දුව පෙන්නුම් කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස මේ උළෙල හඳුන්වන්නට පුළුවන්.”
ශ්‍රී ලංකා FinTech Festival 2026 යනු සාමාන්‍ය ව්‍යාපාරික සමුළුවකට එහා ගිය, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ පිළිගැනීමක් ලබා දෙන ප්‍රධාන පෙළේ වැඩසටහනකි. දකුණු ආසියාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ නැගී එන ඩිජිටල් මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස ලංකාව සලකුණු කිරීම මෙහි අරමුණයි. ශක්තිමත් ගෙවීම් යටිතල පහසුකම්, වේගවත් නියාමන කටයුතු සහ වේගයෙන් වර්ධනය වන මූල්‍ය තාක්ෂණික ක්ෂේත්‍රය ඇතුළු බොහෝ අංශවල කැපී පෙනෙන දියුණුව පෙන්නුම් කිරීමට මෙම උළෙල ඉතා වටිනා අවස්ථාවක් වනු ඇති බව නොඅනුමානය.
“ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය පුළුල් කිරීම උදෙසා ධාරිතාව සහ අවස්ථා ප්‍රවර්ධනය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම උළෙලෙන්, මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත නවෝත්පාදන වේගවත් කිරීමට, මූල්‍ය අන්තර්කරණය ශක්තිමත් කිරීමට මෙන්ම ලංකාවේ ඩිජිටල් මූල්‍ය ඉලක්කසපුරා ගැනීම සඳහා සහය ලබා ගැනීමටත් අපේක්ෂා කෙරේ. මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයට ජාත්‍යන්තරයේ කැපී පෙනෙන ඉඩකඩක් ලබා ගැනීමට බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන, විවිධ ජාත්‍යන්තර පාර්ශව, ශ්‍රී ලංකා රජය, කලාපීය ආයෝජකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ තාක්ෂණික පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කරමින් සිටීම සතුටට කරුණකි.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනට විශේෂාංග රැසක් ඇතුළත්ය. නොවැම්බර් 2 වන දින විශේෂිත ‘CEOs Night’ හමුවෙන් ආරම්භ වන උළෙල, බැංකු සහ FinTech ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්, FinTech Forum සංසදයේ අධ්‍යක්ෂ මණ්ඩල සහ උපදේශක සාමාජිකයන්, සම්භාවනීය දේශකයන්, අනුග්‍රාහකයන්, රාජ්‍ය නියෝජිතයන් සහ මහ බැංකු නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්පත්දායකයන් 120 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන ආරාධිත හමුවකින් ද සමන්විතය.
නොවැම්බර් 3 වන දිනය පුරා පැවැත්වෙන ප්‍රධාන සමුළුව වන ‘Sri Lanka FinTech Expo’ සඳහා 500කට අධික ටිකට්පත් ගණනක් නිකුත් වී තිබීමෙන් පෙනී යන්නේ මේ පිළිබඳ ක්ෂේත්‍රයේ ඇති ඉහළ උනන්දුවයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ වටිනා දේශන, සාකච්ඡා මණ්ඩප සහ මූල්‍ය තාක්ෂණික හා විසඳුම් සම්පාදකයන්ගේ විශේෂ ප්‍රදර්ශනයක් ද මීට සමගාමීව පැවැත්වීමට නියමිතව ඇත.
එදින අවසානයේ පැවැත්වෙන ‘Festival Night’ විශේෂ සාදය සමග සමස්ත උළෙල අවසන් වන අතර, මේ සඳහා උළෙලේ සාමාජිකයන්, විශේෂ ආරාධිතයන් සහ රාත්‍රී සාදය සඳහා පමණක් ටිකට්පත් ලබාගත් පිරිස එක්වීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd