• මුල් මාස හයේ ඉහළ ලාබ ලැබූ ආයතන අතර ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව
  • ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් කැපී පෙනෙන රුපියල් බිලියන 34.5 ක ලාබයක්
  • ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව රුපියල් බිලියන 35.5 ක්
  • 2025 රු.බි. 3.1 ක පාඩු ලැබූ ලංකා සීනි සමාගම 2026 මුල් මාස හයේ රු.බි. 1.5 ක් පාඩුයි
  • නව රාජ්‍ය ව්‍යවසාය පනත ඉදිරියේදී ගෙන එනවා - මුදල් නියෝජ්‍ය ඇමති

රජය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් මගින් 2026 මුල් මාස හය තුළ වාර්තා කර ඇති බදු පෙර ලාබයට අනුව, ව්‍යවසාය 40ක් ලාබ ලබද්දී, ව්‍යවසාය 12ක් පාඩු ලබා තිබෙන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වර්ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ තාවකාලික දත්ත වාර්තාවේ සඳහන්ව තිබේ.

මෙහිදී රජයට අයත් ප්‍රධාන බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව පිළිවෙළින් රුපියල් බිලියන 62.6ක, රුපියල් බිලියන 32.6ක සහ රුපියල් බිලියන 22.5 ක බදු පෙර ලාබ වාර්තා කර තිබේ. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලයත් රුපියල් බිලියන 36.5 ක ලාබයක් වාර්තා කර ඇත.

එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මුල් මාස හයේදී රුපියල් බිලියන 34.5 ක ලාබයක් වාර්තා කර තිබේ. ඛනිජ තෙල් නීගිත සංස්ථාවත් රුපියල් බිලියන 29.1 ක ලාබයක් පෙන්වා ඇත. කෙසේ වෙතත් එම ලාබය තුළ රජය ලබාදුන් රුපියල් බිලියන 41ක සහනාධාරය වන බව පැවසෙයි. සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමද රුපියල් බිලියන 24.8 ක ලාබයක් වාර්තා කර තිබේ. 

මීට අමතරව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් බිලියන 16.1ක, ජාතික රක්ෂණ භාර අරමුදල රුපියල් බිලියන 12.8ක ලාබ වාර්තා කර තිබේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය වාර්තා කර ඇති ලාබ පිළිවෙළින් රුපියල් බිලියන 5.34ක් බැගින් සටහන්ව තිබේ.

රාජ්‍ය බැංකු අතරින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවත් රුපියල් බිලියන 3.5 ක ලාබයක් වාර්තා කර ඇත. සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ බදු පෙර ලාබය රුපියල් බිලියන 2.6 කි. ලංකා විදුලිබල මණ්ඩලයත් රුපියල් බිලියන 1.4 ක බදු පෙර ලාබයක් සටහන් කර ඇති අතර, රාජ්‍ය ඖෂධ සහ නිෂ්පාදන සංස්ථාවත් රුපියල් බිලියන 1.4 ක බදු පෙර ලාබයක් වාර්තා කර ඇත. මිල්කෝ (පුද්ගලික) සමාගමේ බදු පෙර ලාබය රුපියල් මිලියන 999 කි.

මේ අතර 2026 මුල් මාස හයේදී පාඩු ලැබූ රාජ්‍ය වයවසාය අතරින් පළමු තැන සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමිව තිබේ. එය රුපියල් බිලියන 35.5 කි. 2025 වසරේ සමාගම ලැබූ පාඩුව රුපියල් බිලියන 23. 2 කි. 

එසේම සීමාසහිත ලංකා සීනි සමාගමේ පාඩුව රුපියල් බිලියන 1.5 කි. 2025 දී සමාගම ලැබූ පාඩුව රුපියල් බිලියන 3.1 ක් වෙයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මෙම මුල් මාස හය තුළ රුපියල් මිලියන 471ක පාඩුවක් හිමි කරගෙන ඇති අතර, එම සමාගම 2025 දී රුපියල් බිලියන 4.3 ක බදු පෙර ලාබයක් වාර්තා කර තිබුණි.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවත් මුල් මාස හයේදී රුපියල් මිලියන 185ක පාඩුවක් ලබා ඇති අතර, පසුගිය වසරේදී එම සමාගම ලැබූ ලාබය රුපියල් මිලියන 145 ක් විය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවත් මේ වසරේ මුල් මාස හයේදී රුපියල් මිලියන 166 ක පාඩුවක් වාර්තා කර තිබේ. 2025දී ඔවුන් ලැබූ පාඩුව රුපියල් මිලියන 191 කි. ගුවන් විදුලි සංස්ථාවත් රුපියල් මිලියන 68ක පාඩුවක් සටහන් කර ඇති අතර, 2025 වසරේදී එම පාඩුව රුපියල් මිලියන 203 ක් විය. සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය මේ වසරේ මුල් මාස හයේදී රුපියල් මිලියන 37 ක පාඩුවක් සටහන් කර ඇති අතර, පසුගිය වසරේදී එම සමාගම රුපියල් මිලියන 62 ක ලාබ වාර්තා කර තිබුණි.

මෙම රාජ්‍ය ව්‍යවසාය අමතරව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 193ක, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රුපියල් මිලියන 182ක, සීමාසහිත ලංකා සතොස රුපියල් මිලියන 89ක යනාදී ලෙස මුල් මාස හය තුළ පාඩු වාර්තා කර තිබේ.

මේ අතර ඉදිරියේදී රජය විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ නව පනත් කෙටුම්පත හරහා රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් බොහෝ වෙනස්කම් සිදුවීමට නියමිතව ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා පැවැත්වුණු ආයෝජක හමුවකදීද සඳහන් කළේය.

“අද වෙන කොට රාජ්‍ය ව්‍යවසාය විදියට හඳුනාගත්ත ආයතන 527ක් තිබෙනවා. නමුත් ඒවායින් කිහිපයක් විතරයි ව්‍යවසාය ලෙස ක්‍රියාත්මක වෙන්නේ. වෙනත් ආයතනවලට වෙනත් රාජකාරි තිබෙනවා. එතැනදී පැහැදිලිවම කියන්න ඕනේ රජයට වුවමනාවක් නැහැ ව්‍යාපාර සිදු කරන්න. රජයට ඕනෑ පහසුකම් සලසන්නෙක් ලෙස කටයුතු කරන්න විතරයි.“

එහිදී ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංවිධානය කිරිමට හෝ විවිධාංගීකරණය කිරිමටත්, ඇතැම් ආයතන ඒකාබද්ධ කිරීමක් සිදු වනු ඇති බවත්, ඇතැම් ආයතන එලෙසින්ම පවත්වාගෙන යාම හෝ බොහෝ විට පෞද්ගලික අංශය සමගින් හවුල්කාරීත්වය යටතේ පවත්වාගෙන යාම හෝ සිදුවිය හැකි බවත් ඒ මහතා මෙහිදී සදහන් කළේය‍. 

“මේ අලුත් රාජ්‍ය ව්‍යවසාය පනත් කෙටුම්පත මගින් මෙම ආයතන පොදු නීතිමය රාමුවක් යටතට ගෙන, වෙළෙඳපොළ තත්වයන් සහ අවදානම් සැලකිල්ලට ගනිමින් තීරණ ගැනීමේ ස්වාධීනත්වය සහිත සමාගම් ලෙස සංස්ථාගත කිරිමටත් අපේක්ෂා කරනවා. ඊට යම් කාලයක් ගත වේවි. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන ඉදිරියේදී සිදු කරනවා.“ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.