• ඉටුකර ඇති පොරොන්දු ප්‍රමාණය වසර 8කට පසු වාර්තා වෙන ඉහළම අගයයි
  • යෝජනාවලින් සියයට 41ක් (යෝජනා 15ක්) සම්පූර්ණයෙන්ම හෝ සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාත්මක කරලා
  • තවත් සියයට 19ක යෝජනා (යෝජනා 7ක්) සම්බන්ධයෙන් ප්‍රගතිය තක්සේරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු නෑ
  • තෝරාගත් මෙම යෝජනා 36‌ට වෙන්කර ඇති මුළු මුදල රුපියල් බිලියන 212ක්

ශ්‍රී ලංකාවේ 2025 අයවැයෙන් යෝජනා කළ ඉහළ මුදලක් වෙන්කර ඇති අයවැය පොරොන්දු 36ක් අතරින්, සියයට 40කට ආසන්න ප්‍රමාණයක් (එනම් පොරොන්දු 14ක්) සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක කර නොමැති බව වෙරිටේ රිසර්ච් - අයවැය පොරොන්දු මැති සබයෙන් ඔබ්බට ඇගයීමේ අලු‍ත්ම තොරතුරුවලින් අනාවරණය වේ.

එසේ වුව ද, සම්පූර්ණ කරන ලද යෝජනාවල ප්‍රතිශතය 2024 වසරේ තිබූ සියයට 17 සිට 2025 වන වි‌ට සියයට 33 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මෙම වේදිකාව 2017 වසරේ සිට අයවැය ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීම ආරම්භ කළ දා පටන් වාර්තා වන ඉහළම අගයයි. සමස්තයක් ලෙස, යෝජනාවලින් සියයට 41ක් (යෝජනා 15ක්) සම්පූර්ණයෙන්ම හෝ සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාත්මක කර ඇත. මෙම වර්ධනය අත්කරගෙන ඇත්තේ 2025 අයවැය ඉදිරිපත් කෙරුණේ එම වසරේ පෙබරවාරි මාසයේ වීම නිසා අයවැය ක්‍රියාත්මක කිරීමට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු කාලයක් ලැබී තිබුණු පසුබිමකය.

තවත් සියයට 19ක යෝජනා (යෝජනා 7ක්) සම්බන්ධයෙන් ප්‍රගතිය තක්සේරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම නිසා ඒවා “හෙළි කර නැත” ලෙස වර්ගීකරණය කර ඇත.

මෙම ඇගයීමට යොදාගෙන ඇත්තේ එක් අයවැය යෝජනාවක් සඳහා රුපියල් මිලියන 500ක් හෝ ඊට වැඩි අගයක් වෙන්කර ඇති 2025 අයවැය යෝජනා වන අතර, එවැනි යෝජනා ගණනින් 36කි. මෙම යෝජනා 36‌ට වෙන්කර ඇති මුළු මුදල රුපියල් බිලියන 212ක් වේ.

විනිවිදභාවය සම්බන්ධයෙන්ද කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබෙන අතර, යෝජනාවලින් තුනෙන් දෙකක් (සියයට 64ක්) “විවෘත” ලෙස ශ්‍රේණිගත කර තිබේ. එමෙන්ම, 2017 වසරෙන් පසු පළමු වතාවට කිසිඳු යෝජනාවක් “ආවෘත” ලෙස ශ්‍රේණිගත කර නොතිබීම විශේෂත්වයකි. මෙයින් අදහස් වන්නේ, ප්‍රගතිය තක්සේරු කිරීමට ප්‍රමාණවත් නොවූ අවස්ථාවලදී පවා, සෑම යෝජනාවක්ම සම්බන්ධයෙන් යම් මට්ටමක තොරතුරු ලබා ගත හැකිව තිබූ බවයි.

“අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට” යනු 2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැය කතාවල කරන ලද යෝජනා ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කරන පුවරුවකි. එය ස්ථානගත කර ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනය යටතේ ක්‍රීයාත්මක වන ලංකාවේ රාජ්‍ය මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් තොරතුරු සපයන ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk වේදිකාවේ ය.