කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර - 10

කොටස් මිලදී ගැනීමට සහ විකිණිමට ඇණවුම් ලබා දීමේදී බොහෝ ආයෝජකයන්ට තවමත් පැන නගින මූලික ප්‍රශ්න දෙකක් වන්නේ කොපමණ කොටස් ප්‍රමාණයක් මිලදි ගත යුතුද යන්න සහ කොපමණ මුදල් ප්‍රමාණයක් ආයෝජනය සඳහා ප්‍රථමයෙන් යොමු කළ යුතුද යන්නයි. තවත් සමහර ආයෝජකයන් අසනු ලබන ප්‍රශ්නයක් වන්නේ තමා යොදවන මුදලට මාසය අවසානයේ කොපමණ ප්‍රතිලාභයක් ලැබේද යන්නයි. මෙවැනි ප්‍රශ්න අසනු ලබන ආයෝජකයන්ට දිය හැකි සරලම පිළිතුර වන්නේ කොටස් මිලදී ගැනීම නැතහොත් කොටස්වල ආයෝජනය යනු කුමක්ද යන්න සියල්ලට ප්‍රථමව තේරුම් ගැනීම කළ යුතුවීමයි.

 කොටස් මිලදී ගැනීම යනු සමාගමක අයිතිකරුවකු බවට පත්වීමකි. ආයෝජකයා සමාගමේ අයිතිකරුවකු බවට පත් වනවා යනු එම සමාගමේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කිරීමෙන් සමාගම ලාබ ලබන විට එම ලාබවලට හිමිකම් ලැබීමත් යම් හෙයකින් සමාගම පාඩු ලැබුවහොත් එම අලාභයද දරා ගැනීමට සුදානම් වීමකි. එහෙත් මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ සමාගමක කොටස් මිල පහළ ගියද එය තාවකාලික හේතුවක් මත විය හැකි බවත් ආයෝජකයාට පාඩුවක් සිදු වන්නේ ඔහු හෝ ඇය තම කොටස් විකුණුවහොත් පමණක් බවයි. 

  • ප්‍රධාන පුවරුව සහ දිරි සවි පුවරුව

ඉහත කී ව්‍යාපාර ක්ෂේත්‍ර 20 යටතේ ලයිස්තුගතව ඇති සමාගම් නැවතත් පුවරු කිහිපයක් යටතේ දක්වා ඇත. කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන ආයෝජකයන් මෙම පුවරු සහ ඒ යටතේ දක්වා ඇති සමාගම් මොනවාද යන්න දැනගෙන ආයෝජනය කිරීම ඉතා වැදගත්ය. ඉන් මුලිකම පුවරුව වන්නේ ප්‍රධාන පුවරුවයි. එම පුවරුවෙහි ලයිස්තුගතව ඇත්තේ විශාලත්වය අතින් වැඩි සමාගම්ය. සමාගමක විශාලත්වය හෙවත් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, Market Capitalization  යනුවෙන්ද හඳුන්වයි. ඒ අනුව ප්‍රධාන පුවරුවෙහි ලයිස්තුගත සමාගමක අවම වශයෙන් රුපියල් මිලියන 500කට වැඩි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් තිබිය යුතුය. දිරිසවි පුවරුවෙහි සමාගමක් ලයිස්තුගත වීම සඳහා රුපියල් මිලියන 100ක් හෝ ඊට වැඩි ප්‍රකාශකළ ප්‍රාග්ධනයක් තිබිය යුතුය. 

මීට අමතරව කොළඹ කොටස් හුවමාරුව විසින් එම්පවර් පුවරුව නමින් තවත් පුවරුවක් මීට වසර කිහිපයකට පෙර හඳුන්වාදුන් අතර එමගින් සුළු පරිමාණ සමාගම්වලට ලයිස්තුගතවීමට අවස්ථාවක් උදා විය. එහි ලයිස්තුගත වන සමාගමක අවම වශයෙන් රුපියල් මිලියන 25ක ප්‍රාග්ධනයක් ලයිස්තුගත වන අවස්ථාවේදී පැවතිය යුතුය. මෙතෙක් සාකච්ඡා කළ පුවරු හැර දෙවන පුවරුව නමින් තවත් පුවරුවක් කොටස් වෙළෙඳපොළ විසින් හඳුන්වා දී ඇති අතර කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රීති 7.13 ට අනුව අවම මහජන අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වන, සියලු‍ම ලයිස්තුගත සමාගම් පමණක් එම දෙවන පුවරුවෙහි ඇතුළත් වේ.

  • වොච් ලිස්ට්

කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන්නන් අනිවාර්යයෙන් දැනුවත්ව සිටිය යුතු තවත් පුවරුවක් වන්නේ වොච් ලයිස්තුවයි. කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රීතිවල 7 වන වගන්තිය ප්‍රකාරව බලාත්මක කිරීමේ ක්‍රියාවලියට යටත් ව, ලයිස්තුගත කිරීමේ රීතිවලට අනුකූල නොවන සියලු‍ම ලයිස්තුගත සමාගම් වොච් ලිස්ට් හි දක්වා ඇත. ලයිස්තුගත සමාගම් විසින්, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලයිස්තුගත කිරීමේ රීතිවලට අනුකූල නොවීම පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා මෙම ලැයිස්තුගත සමාගම්වල සුරැකුම්පත් වොච් ලිස්ට් වෙත මාරු කරනු ලැබේ. 

එමගින් ආයෝජකයාට ලබා දෙනුයේ පූර්ව දැනුම් දීමකි. ලයිස්තුගත වූ සමාගමක් එසේ අනුගත නොවූ කාරණාව කුමක්ද එය වඩාත් ප්‍රබල කාරණාවක්ද, ආයෝජන තීරණවලට කෙසේ බලපායිද යන්න සොයා බලා තවදුරටත් එම සමාගමේ රැඳී සිටිනවාද යන්න විමසා බැලීමට මෙම වොච් ලයිස්තුව උපකාරී වේ. සමාගමේ ආයෝජනවලින් සම්පූර්ණයෙන් ඉවත් වීමට මෙමගින් බලපෑමක් නොකරයි. එහෙත් අවධානයෙන් සිටිය යුතු බවට මෙමඟින් පණිවිඩයක් ආයෝජකයාට ලබාදෙයි. 

  • කොටස් ආයෝජනයේ ප්‍රතිලාභ

කොටස් මිලදී ගැනීමෙන් ආයෝජකයාට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ දෙකක් ඇත. ඉන් එක් ප්‍රතිලාභයක් වන්නේ ප්‍රාග්ධන ලාභයයි. ප්‍රාග්ධන ලාබ හෙවත් Capital Gain යනු ආයෝජකයා මිලදී ගත් කොටස් වැඩි මිලකට විකිණීම හරහා ලැබෙන ප්‍රතිලාභයයි. කොටස් වෙළෙඳපොළෙහි දිගුකාලීනව ආයෝජනය කරන අයකුට බොහෝවිට ප්‍රාග්ධන ලාබ ලබා ගැනීමට ඇති ඉඩකඩ වැඩි අතර කෙටිකාලීනව කොටස් ගනුදෙනු කරන පුද්ගලයකු යම් අවස්ථාවක මිලදී ගත් කොටස් විකිණිමට සූදානම් වන විට වෙළෙඳපොළෙහි කොටස් මිල පහළ ගොස් තිබුණහොත් එහිදී ප්‍රාග්ධන අලාභයක් සිදු විය හැකිය. 

දෙවැනි ප්‍රතිලාභය වන්නේ සමාගම් විසින් ගෙවනු ලබන ලාභාංශයි (Dividends). සමාගම් තම ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙනයාම හරහා ලාබ ලබන අතර ඉන් යම් ප්‍රතිශතයක් එම සමාගමේ කොටස් හිමියන්ට ඔවුන් සතු කොටස් ප්‍රමාණයන් අනුව බෙදා හරිනු ලබයි. ඒවා කොටස් ආකාරයෙන් ගෙවන ලාභාංශ (Script Dividends) හෝ මුදල්මය ලාභාංශ (Cash Dividends) වශයෙන් ආයෝජකයා වෙත ලැබේ. මෙම මූලික ප්‍රතිලාභවලට අමතරව තවත් ප්‍රතිලාභ කිහිපයක් ආයෝජකයන්ට කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් ලබා ගත හැකිය. 

කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන්නකුට තමන් කොටස් මිලදී ගන්නා කොටස් ප්‍රමාණය අනුව සමාගමේ අයිතියක් හිමිවීම විශේෂත්වයකි. එසේ සමාගමේ අයිතිකරුවෙක් (Shareholder) බවට පත්වන විට එම සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම් (AGM)) / විශේෂ මහා සභා රැස්වීම් (EGM) වැනි සාමාන්‍ය රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම ලැබේ. සමාගමේ ප්‍රධාන තීරණවලට බලපෑමක් කිරීමට ආයෝජකයාට හැකියාව ලැබේ. 

කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන පුද්ගලයකුට උද්ධමනයේ (Inflation) බලපෑමෙන් ආරක්ෂාවීමටත් අවස්ථාව ලැබේ. උද්ධමනය යනු භාණ්ඩ හා සේවාවල මිල අඛණ්ඩව ඉහළයාමයි. එම ඉහළයාම සමඟ කොටස්වල මිල ගනන්ද ඉහළ යයි. ඒ අනුව බැංකු තැන්පතුවලට ලැබෙන පොලී අනුපාතයට සහ උද්ධමන අනුපාතයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමටත්, දිගුකාලීනව කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් හැකියාව ලැබේ. 

ඉහළ ද්‍රවශීලතාව (Liquidity) කොටස් වෙළෙඳපොළ ආයෝජනයේ තවත් අමතර ප්‍රතිලාභයකි. කොටස් ඉක්මනින් මුදල් බවට පත් කළ හැකි ආයෝජනයක් යන්න එහි තේරුමයි. ලයිස්තුගත සමාගම්වලට කොටස් වෙළෙඳපොළ තුළ ගැනුම් මිලක් හා විකුණුම් මිලත් පවතින නිසා අවශ්‍ය වේලාවක වෙළෙඳපොළෙන් කොටස් මිලදී ගැනීමටත් සහ විකිණීමට හැකියාවක් පවතී. 

කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනයෙන් ආයෝජකයාට බදු වාසි (Tax Advantages) ලබා ගැනීමටත් හැකියාවක් තිබේ. එනම් කොටස් වෙළෙඳපොළෙහි ලයිස්තුගත සමාගම් හෝ ව්‍යාපාර ක්ෂේත්‍රවලට රජය විසින් ලබාදෙන විශේෂ බදු සහන හෝ සමස්තයක් ලෙස කොටස් වෙළෙඳපොළ ආයෝජකයන්ට ලබාදෙන බදු සහන ලබා දිය හැකිය. උදාහරණ ලෙස වර්තමානයේදී කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් ලබන ප්‍රාග්ධන ලාබ සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් කිරීම පෙන්වා දිය හැකිය. ආයෝජකයන්ට නොමිලයේ කොටස් ලබාදෙන සංචිත ප්‍රාග්ධනීකරණය සහ වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලකට කොටස් ලබාදෙන හිමිකම් නිකුතු (Capitalization of Reserves / Rights Issues) වැනි අමතර කොටස් ලබාදෙන අවස්ථාද කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ආයෝජකයන්ට ලැබෙන තවත් අමතර වාසි කිහිපයකි. 

කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමේදී ව්‍යාපාර, ආර්ථිකය, මූල්‍ය කළමනාකරණය පිළිබඳ ගැඹුරු අවබෝධයක්ද ආයෝජකයකුට ලැබෙන අතර ඒ හරහා මූල්‍ය දැනුම සහ පළපුරුද්ද වැඩිකර ගැනීමට හැකියාව ලැබීමද අමතර වාසියකි. එම දැනුම භාවිත කරමින් විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර නියෝජනය කරන සමාගම්වලින් යුත් සාර්ථක ආයෝජන කළඹක් ගොඩනගා ගෙන ආයෝජන විවිධාංගීකරණය (Diversification) කරමින් ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීමටද ආයෝජකයාට ලැබෙන අමතර වාසි ලෙස සඳහන් කළ හැකිය. 

ද්විතියීක වෙළෙඳපොළ ආයෝජනය ගැන විස්තර කරනු ලබන තවත් ලිපියක් ඊළඟ සතියේදී බලාපොරොත්තු වන්න.