• උත්සව සමයේ ඇති වූ ඉල්ලු‍ම ඉහළ යෑම ඊට හේතුවයි 

භානුක අමරසිංහ 


2025 වසරේ දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන අංශයේ අඛණ්ඩ වර්ධනය තවදුරටත් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක 60.9ක් ලෙස සටහන් වී තිබේ. නොවැම්බරයේදී එය 55.5 ක් විය. 

එහිදී මාසය ආරම්භයේදී අහිතකර කාලගුණික තත්වයන්ගෙන් බාධා ඇති වුවද, ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලු‍ම ඉහළ යෑම හේතුවෙන් සියලු‍ම උප දර්ශක මෙම වර්ධනයට ධනාත්මකව දායක වූ බව “2025 දෙසැම්බර් මාසය සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය“ ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසයි. 

ඒ අනුව ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ වර්ධනය හේතුවෙන් නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බරයේදී නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක පිළිවෙළින් 58.5 ක සිට 63.8 ක් දක්වා වැඩි වේගයකින්ද, 50.0 සිට 61.2ක් දක්වා කඩඉම් මට්ටමේ සිට ඉහළ යෑමක්ද වාර්තා කර තිබේ. 

එසේම මෙම වර්ධනයත් සමගින්ම සේවා නියුක්ති උප දර්ශකය 55.5 ක සිට 58.5ක් දක්වා වැඩි වේගයකින් ඉහළ යාමක් සිදුව තිබේ. මීට අමතරව තොග මිලදී ගැනීම්ද 57.0 ක සිට 53.7ක් දක්වා අඩු වේගයකින් ඉහළ යෑමක් සිදුව තිබේ.