• BOI බදු සහනයේ හිඩැසක් හරහා සැකසූ ඇලු‍මිනියම් නිෂ්පාදන ආනයනය ගැටලු‍වයි
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2,000 කට සම්බන්ධ 30,000 කගේ රැකියා අනතුරක
  • HS කේත 7610 යටතේ ඇලු‍මිනියම් දොර, ජනේල සහ කර්ටන් වෝල් පද්ධති එක් කරන ලෙස ඉල්ලයි
  • ඇතැම් කර්මාන්තශාලා දැනටමත් වසා දමලා

භානුක අමරසිංහ


රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් පවතින අඩු පාඩු හේතුවෙන් විවිධ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා බදු ගෙවීමකින් තොරව සැකසූ ඇලු‍මිනියම් නිෂ්පාදන ආනයනය කරන බවත්, ඒ හේතුවෙන් දේශීය ඇලු‍මිනියම් කර්මාන්තය මෙන්ම එය ජිවනෝපාය කරගත් 30,000කට අධික පිරිසකගේ රැකියාද අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙන බවත් ශ්‍රී ලංකා ඇලු‍මිනියම් පිරිසැකසුම්කරුවන්ගේ සංගමය (AFASL) පවසයි.

එහිදී මූලිකවම දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් බදු රහිත ආනයන සීමා කරන, ආයෝජන මණ්ඩලයේ (BOI) නෙගටිව් ලිස්ට් හෙවත් ඉවත් කෙරුණු භාණ්ඩ ලැයිස්තුව තුළ මෙම ඇලු‍මිනියම් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් පැහැදිලිව සඳහන්ව නොතිබීම හේතුවෙන් මෙම අර්බුදය මතුව තිබෙන බව එම සංගමය පසුගියදා පැවැත් වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

“2013 වසරේදී නිකුත් කළ මෙම ලැයිස්තුව තුළ කාණ්ඩ 30ක් යටතේ නම් කළ භාණ්ඩ ලැයිස්තුවක් තිබෙනවා. එහි සිව්වැනි කාණ්ඩය විදියට රාමුව සහිත ඇලු‍මිනියම් ක්ලැඩින් අමුද්‍රව්‍ය සහ ඇලු‍මිනියම් නෙරවුම් හෙවත් එක්ස්ටෘෂන් ඇතුළත් වුණත්, සම්පූර්ණයෙන්ම නිම කළ ඇලු‍මිනියම් දොර, ජනේල සහ කර්ටන් වෝල් පද්ධති ඇතුළත් නොවීම නිසා, BOI සහනය යටතේ මෙම නිෂ්පාදන බදු රහිතව ආනයනය කරනවා. මේ හරහා රජයට අතිවිශාල බදු ආදායමක් අහිමි වෙනවා වගේම අපේ කර්මාන්තයටත් තර්ජනයක්.“ එම සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම තත්වය වළක්වා ගැනීම එකම විසඳුම HS කේත 7610 යටතේ මෙම ඇලු‍මිනියම් දොර, ජනේල සහ කර්ටන් වෝල් පද්ධති BOI හි අදාළ නෙගටිව් ලිස්ට් තුළ පැහැදිලිවම ඇතුළත් කිරීම බවද එම සංගමය පෙන්වා දෙයි.

 තමන් පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කරන බවත් ඔවුන් පවසයි.

“අපි ආයෝජන මණ්ඩලය දැනුවත් කර තිබෙනවා. ඒත් තවමත් ඊට නිසි ප්‍රතිචාර ලැබිලා නැහැ. කම්කරු අමාත්‍ය සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනිල් ජයන්ත මහතා වගේම කර්මාන්ත අමාත්‍යාංශයත් මෙම පියවරට තමන්ගේ කැමැත්ත පළ කරලා තිබෙනවා. මේ සාකච්ඡා තවමත් ක්‍රියාත්මකයි.“

විශේෂයෙන්ම අද වනවිට මෙරට තුළ ඇලු‍මිනියම් නිෂ්පාදන කර්මාන්තයේ නිරත සමාගම් 5ක් පවතින බවත්, ඒ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන කර්මාන්ත 2,000කට අධික සංඛ්‍යාවක් තිබෙන බවත්, එම ව්‍යාපාරවල නියුතු ශ්‍රම බලකාය 30,000කට අධික බවත් එම සංගමය පෙන්වා දෙයි. එසේම ටෙම්පර්ඩ් ග්ලාස්, ලැමිනේටින් කළ සහ ඩබල් ග්ලේස්ඩ් වීදුරු නිෂ්පාදනයද ඇතුළත් කර්මාන්ත රැසක්ද රට තුළ පවතින බවත් ඔවුන් සඳහන් කරයි. 

“මේ විදියට දේශීය කර්මාන්තවලට හානි කරමින් ආයෝජන සහන ලබාදීම අනුමත කරන්න බැහැ. ඒ හරහා 30,000කට අධික පිරිසකගේ රැකියා අහිමි වෙනවා. බදු ආදායම් අහිමි වෙනවා. විදේශ විනිමය ලැබීම් නැති වෙනවා. දැනටමත් ලංකාවේ ප්‍රධාන පෙළේ ඇලු‍මිනියම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා පවා සිදු කරන්නේ තමන්ගේ නිෂ්පාදන ධාරිතාවෙන් සියයට 30ත් 35ත් අතර ප්‍රමාණයක්. ඇතැම් කර්මාන්තශාලා දැනටමත් වසා දමලා.“ එම සංගමය වැඩිදුරටත් පවසයි.