ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අංශයේ ප්‍රධානි ජුලී කොසැක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ

  • එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ කැපවීමක්
  • දූත පිරිස මෙරටට පැමිණෙන්නේ දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය පිළිබඳව සොයා බැලීමට
  • ශ්‍රී ලංකාවට මේ මොහොතේ ඉදිරියට ගමන් කිරීම සඳහා සැබැවින්ම අවශ්‍ය වන්නේ කුමක්දැයි තීරණය ඉදිරියේදී
  • මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එල්ල වී ඇති බාධා පිළිබඳවද රජය සමග සාකච්ඡා
  • තම න්‍යාය පත්‍රය තුළ සිට හැකි සෑම අයුරින්ම මෙරට සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සහායවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සූදානම්
  • ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා

විමුක්ති එස් රුද්‍රිගු


විදුලි ඒකකයක් නිපදවීමට යන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ආධාර වැඩසටහනේ කැපවීමක් බවත් එම අරමුදලේ සන්නිවේදන අංශයේ ප්‍රධානි ජුලී කොසැක් මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.

එලෙස පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මෙරට මූල්‍ය තිරසරභාවය සහතික කිරීමට ඉතා වැදගත් බවද ඇය පැවැසුවාය. එමගින් ලංකා විදුලි බල මණ්ඩලයට පාඩු නොලබා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට ඉඩ ලැබෙන බවද ඇය ප්‍රකාශ කළාය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මේ මොහොතේ ඉදිරියට ගමන් කිරීම සඳහා සැබැවින්ම අවශ්‍ය වන්නේ කුමක්දැයි යන්න පිළිබඳව එළැඹෙන 22 වැනිදා මෙරටට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස කරුණු සොයා බලනු ඇතැයිද පැවැසුවාය.

මෙරටට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස ඒ පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කරනු ඇති බවද එම අරමුදලේ සන්නිවේදන අංශයේ ප්‍රධානී ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය. එළැඹෙන 22 වැනිදා මෙරටට පැමිණෙන දූත පිරිස මෙම මස 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති බවත් එම දූත පිරිස මෙරටට පැමිණෙන්නේ දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය පිළිබඳව සොයා බැලීමට බවත් ඇය පැවැසුවාය.

සිදුව ඇති හානිය පිළිබඳව කරුණු සොයා බැලීමේ මෙහෙයුමකට පැමිණෙන එම දූත කණ්ඩායම හානිය හේතුවෙන් මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එල්ල වී ඇති බාධා පිළිබඳවද රජය සමග සාකච්ඡා කරනු ඇතැයි ඇතැයිද කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.

එවැනි මෙහෙයුමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් මෙරටට පැමිණෙන්නේ දිට්වා සුළි කුණාටුවෙන් සිදුව ඇති හානිය පිළිබඳව පැහැදිලි පින්තූරයක් ලබා ගැනීමට බවද ඇය පැවසුවාය. 

එමගින් ශ්‍රී ලංකාවට ඉදිරියට යාම සඳහා අවශ්‍ය වන්නේ කිනම් ආකාරයේ සහායක්දැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් අවබෝධයක් ලබාගත හැකි බවද ඇය ප්‍රකාශ කළාය.

එළැඹෙන 22 වැනිදා මෙරටට පැමිණෙන දූත පිරිසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ඇතුළු පිරිසක් ඇතුළත් වේ.

තම න්‍යාය පත්‍රය තුළ සිට හැකි සෑම අයුරින්ම මෙරට සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සහායවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සූදානම් බවද කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා කඩිනම් මූල්‍යකරණ මෙවලම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 206 ක ණය මුදලක් ලබාදීමට විධායක කමිටුව පසුගිය දෙසැම්බර් 19 වැනිදා අනුමැතිය ලබාදුන් බව ඇය පැවැසුවාය. එම ණය මුදල මෙරට ඇති වූ ආපදා තත්වය හේතුවෙන් ඇතිවන හදිසි ගෙවුම් ශේෂ අවශ්‍යතා සපුරා ගැනීමටත්, ඇතිවන මූල්‍ය පීඩනය අවම කර ගැනීමටත් සහාය වනු ඇතැයි කොසැක් මහත්මිය පෙන්වා දුන්නාය. කෙසේ නමුත් මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවද ඇය පැවැසුවාය.

පස්වැනි සමාලෝචනය අවසන් කිරීමට ආසන්නව තිබියදී මෙරටට දිට්වා සුළි කුණාටුව කඩා වැදුණු අතර ඒ සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ ආර්ථික හානිය ඇස්තමේන්තු කිරීමට සහ මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ අරමුණු සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවලට බලපෑමක් එල්ල නොවන පරිද්දෙන් දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය අලු‍ත්වැඩියා කිරීමටත්, ශ්‍රී ලංකාව නැවත යථා තත්වයට පත් කිරීමටත්, සහාය ලබාදිය හැක්කේ කෙසේද යන්න සොයා බැලීමට කාලය අවශ්‍ය බැවින් මෙරට සම්බන්ධයෙන් සිදුකළ පස්වැනි සමාලෝචනය අවසන් කිරීම කල් දැමීමට තීරණය කළ බවයි.