• වසරේ ලියාපදිංචි කෙරුණු මෝටර් රථ අතරින් 253,643ක්ම යතුරු පැදි
  • වසර තුළ විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ 40,732ක් ලියාපදිංචි වෙලා
  • දෙසැම්බරයේ වාහන ලියාපදිංචිය සියයට 10.7 කින් ඉහළට

භානුක අමරසිංහ


2025 වසරේදී මෙරට තුළ අලු‍තින් මෝටර් රථ 360,702 ක් ලියාපදිංචි කර ඇතැයි වාර්තා වෙයි. මෙහිදී අලු‍ත්ම සහ භාවිත කළ ලෙස ආනයනය කෙරුණු මෝටර් රථ මෙලෙස ලියාපදිංචි කර තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේදී අලු‍තින් ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 48,525ත් සමගින් මෙම සංඛ්‍යාව සටහන්ව තිබෙන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව JB Securities සකස් කළ අලු‍ත්ම දත්ත වාර්තාවක සඳහන්ව තිබේ. 

මෙහිදී දෙසැම්බර් මාසයේ සිදුකළ මෝටර් රථ ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව 2025 නොවැම්බර් මාසයේ දී සිදු කළ මෝටර් රථ ලියාපදිංචි කිරීම් 43,810 හා සැසඳීමේදී මෝටර් රථ 4715ක එනම් සියයට 10.7 ක ඉහළ යාමකි.

දෙසැම්බර් මාසයේදී අලු‍තින් මෝටර් කාර් රථ 5,007 ක්ද, SUV සහ Crossover රථ 7,043 ක්ද, වෑන් රථ 923ක්ද ලියාපදිංචි කර තිබේ. එසේම යතුරු පැදි සහ ත්‍රී රෝද රථ පිළිවෙළින් 30,415ක් සහ 3,007ක්ද ලියාපදිංචි කර තිබේ. ඒ අනුව වසර තුළ ලියාපදිංචි කර ඇති යතුරු පැදි සංඛ්‍යාව 253,643ක් ලෙස සටහන්ව තිබෙන බවත් එය සමස්ත ලියාපදිංචි කිරීම් අතරින් සියයට 70 ක අගයක් ගන්නා බවත් JB Securities වාර්තාවේ සඳහන්ව තිබේ. මේ අතර 2025 දෙසැම්බරයේදී පික්අප් රථ 520ක්, මිනි ට්‍රක් රථ 191ක්, සැහැල්ලු‍ ට්‍රක් රථ 92ක්, මැදි ප්‍රමාණයේ ට්‍රක් රථ 267ක්, බර ට්‍රක් රථ 178ක්ද ලියාපදිංචි කර තිබේ. දෙසැම්බරයේදී ලියාපදිංචි කර ඇති බස් රථ සංඛ්‍යාව 134 කි. අත් ට්‍රැක්ටර 145ක් සහ විශාල ට්‍රැක්ටර් 225ක්ද ලියාපදිංචි කර තිබේ. ලියාපදිංචි කෙරුණු ගිලන් රථ සංඛ්‍යාව 1 කි. 

මෙලෙස දෙසැම්බරයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ අතරින් 3,220 ක් විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ වෙයි. දත්ත සඳහන් කරන ආකාරයට 2025 වසර තුළ මේ දක්වා ලියාපදිංචි කර ඇති විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ සංඛ්‍යාව 40,732 කි. 

2025 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා සිදු කළ අලු‍ත් සහ භාවිත කළ මෝටර් රථ ලියාපදිංචි යටතේ ජනවාරි මාසයේදී මෝටර් රථ 11‍,356ක්, පෙබරවාරියේදී 12,541ක්, මාර්තු 13,156ක්, අප්‍රේල් 17,426ක්, මැයි 18,522ක්, ජූනි 22,477ක් ලෙස සටහන්ව තිබේ.

ජූලි මාසයේදී ලියාපදිංචියේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෝටර් රථ 37,671ක් ලියාපදිංචි කෙරී ඇති අතර, අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා 38,240ක්, 48,897ක් සහ 48,081ක් ලියාපදිංචි කෙරී තිබේ. 

එසේම නොවැම්බර් සහ දෙසැම්බර්වලදී පිළිවෙළින් 43,810ක් සහ 48,525ක් අලු‍තින් ලියාපදිංචි කෙරී ඇත.