ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව


ත්‍රිකුණාමලයට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් යාත්‍රා විනාශ වූ ධීවර කාර්මිකයන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම අරමුණු කරගෙන විනාශ වූ යාත්‍රා වෙනුවට ධීවර කාර්මිකයන් 17 දෙනකුට ඩිංගි යාත්‍රාද 09 දෙනකුටද ඔරු ලබාදීම කුච්චවේලි ධීවර පරීක්ෂක කාර්යාලයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
පීඩාවට පත් ධීවරයන් වෙනුවෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ධීවර යාත්‍රා නිෂ්පාදනය කිරීමේ කටයුතු සී-නෝර් (CEY-NOR) ආයතනය විසින් සිදුකර තිබේ. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ධීවර යාත්‍රා සහ ධීවර උපකරණ අහිමිව ජීවනෝපාය සම්බන්ධයෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් ධීවර ජනතාවට යළිත් සිය ධීවර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සහාය ලබා දී ජීවනෝපාය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
මෙම අවස්ථාව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ ඉන්දික පත්මකුමාර උඳුගොඩ මහතා ඇතුළු නිලධාරීන් සංවිධානය කර තිබුණි.