ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර (ඡායාරූප - ෂෙහාන් ගුණසේකර)

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සාර්ථකත්වය ආර්ථිකයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කරැණක් 
  • SME  යනු නවෝත්පාදනය, ප්‍රාදේශීය සංවර්ධනය, ඵලදායිතාව සහ අපනයන විවිධාංගීකරණය මෙහෙයවන ප්‍රධාන බලවේග බව පවසයි
  • ආරම්භයේ සිට වර්ධනයත්, වර්ධනයේ සිට තරගකාරිත්වයත්, දේශීය සිට ජාත්‍යන්තර වෙළෙඳපොළ කරාත් ව්‍යාපාර ගෙන යාමට උපකාර කිරීම අභියෝගයයි

භානුක අමරසිංහ
ශ්‍රී ලංකාව තිරසාර ආර්ථික වර්ධනයක් කරා ගමන් කරන මේ මොහොතේ, අපගේ සංවර්ධන න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානය බවට ව්‍යවසායකත්වය පත් කළ යුතු බව ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි. 

විශේෂයෙන්ම ව්‍යවසායකත්වය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs)  යනු රැකියා සහ ආදායම් උත්පාදකයන් පමණක් නොවන බවත්, ඔවුන් නවෝත්පාදනය, ප්‍රාදේශීය සංවර්ධනය, ඵලදායිතාව සහ අපනයන විවිධාංගීකරණය යනාදිය මෙහෙයවන ප්‍රධාන බලවේග වන බවත් ඔහු පවසයි. 

බාලේන්ද්‍ර මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා  Breakthrough නමින් කොළඹදී පැවැත්වුණු වැඩසටහනකදීය. ජනශක්ති සමූහය සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව ක්‍රියාත්මක මෙම වැඩසටහන ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ලෙස හඳුන්වා දී තිබේ.

“මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සාර්ථකත්වය අපගේ ආර්ථිකයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කරුණක්” ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

කෙසේ වෙතත්, අවධානය යොමුවිය යුත්තේ ව්‍යාපාර ආරම්භ කිරීමට තවත් පුද්ගලයන් දිරිමත් කිරීම පමණක් නොවන බවත්, ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර ගොඩනගා ගැනීමට, ශක්තිමත් කිරීමට, පුළුල් කිරීමට සහ තිරසාරව පවත්වාගෙන යාමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුව ඇති බවත් ඒ මහතා පැවසීය. 

“වඩාත් විශ්වාසදායී නව අදහස්, වාණිජමය වශයෙන් සාර්ථක විය හැකි සහ කල් පවතින වටිනාකමක් නිර්මාණය කළ හැකි ව්‍යාපාර බවට පත් කිරීමට අප ඔවුන්ට උපකාර කළ යුතුයි. Breakthrough වැනි වැඩසටහන් මෙතරම් වැදගත් වන්නේ ඒ නිසායි.”

විශේෂයෙන්ම ව්‍යවසායකත්ව සංවර්ධනය රජයට පමණක් තනිව සාක්ෂාත් කර ගත නොහැකි කරුණක් බව පෙන්වා දුන් ඒ මහතා පෞද්ගලික අංශය, කර්මාන්ත, මූල්‍ය ආයතන සහ ව්‍යාපාරික උපකාරක සංවිධාන අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් ඊට අවශ්‍ය වන බව පැවසීය. 

මෙම Breakthrough වැඩසටහනද සැලසුම් කර ඇත්තේ හුදු ඇගයීම් වැඩසටහනකට වඩා ඔබ්බට ගිය වැඩපිළිවෙළක් ලෙසට බව පැවසූ ඒ මහතා, එමගින් නැගී එන ව්‍යවසායකයන්ට, නව ව්‍යාපාරවලට (startups)  සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පිළිගැනීමක් ලබා ගැනීමට, විශේෂඥ දැනුම වෙත ප්‍රවේශ වීමට, මගපෙන්වීම් (mentorship) ලබා ගැනීමට සහ ඔවුන්ගේ වර්ධන ගමනට සහාය විය හැකි වටිනා ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමට අවස්ථා සලසා දෙනු ඇතැයිද සඳහන් කළේය.

“ව්‍යාපාර ආරම්භක අවධියේ (startup) සිට වර්ධනය කරාත්, වර්ධනයේ සිට තරගකාරිත්වය කරාත්, අවසාන වශයෙන් දේශීය වෙළෙඳපොළේ සිට ජාත්‍යන්තර වෙළෙඳපොළ කරාත් ගෙන යාමට උපකාර කිරීම අප හමුවේ ඇති අභියෝගයයි.”
එහිදී නවෝත්පාදන, වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරන ලද, ප්‍රමිතීන්ට අනුකූල වූ සහ අපනයනයට සූදානම් ව්‍යවසාය සංවර්ධනය කිරීම ඉලක්කය විය යුතු බවද ඒ මහතා පැවසීය. 
එසේම කලාපීය හා ගෝලීය අගය දාමයන්ට විශ්වාසයෙන් යුතුව සහභාගී විය හැකි සහ අපගේ ව්‍යවසායකයන්ගේ දක්ෂතා සහ නිර්මාණශීලීත්වය ලෝක වේදිකාවේ ප්‍රදර්ශනය කළ හැකි ශ්‍රී ලාංකික ව්‍යාපාර අවශ්‍ය වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.