
- ජාතික ඊ-වාණිජ්‍ය උපායමාර්ගයක්, ඩිජිටල් වෙළෙඳාම ප්‍රවර්ධනය ඇතුළු කරුණු අවධානයට
- 2030 දී ඩිජිටල් නිෂ්පාදන හා සේවා අපනයනය ඩො.බි. 5 ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක්
ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026 - 2030 සාර්ථක කරගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහාය සහ දායකත්වය ලබාගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පසුගියදා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්වුණු බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
මෙම සැලැස්මට අනුව 2030 වන විට මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීම ප්‍රධාන ඉලක්කයයි. එහිදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 28ක් සහ සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 8ක් උපයා ගැනීමට අපේක්ෂාව වී තිබේ.
ඒ අනුව, ජාතික ඊ-වාණිජ්‍ය උපායමාර්ගයක් සකස් කිරීම, ඩිජිටල් වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර ඩිජිටල් වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ව්‍යාපාරික බලපත්‍ර හා අනුමැති ලබාගැනීම පහසු කිරීම සඳහා මාර්ගගත තනි කවුළු පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම ICTA/GovTech සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සමග එක්ව වෙළෙඳ ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීම, මාර්ගගත අනුමැති ක්‍රමවේද සහ වෙළෙඳ ලේඛන සඳහා ඩිජිටල් අත්සන් භාවිතය ප්‍රවර්ධනය කිරීම ද අපේක්ෂා කෙරෙන බවත් අවධාරණය කෙරී තිබේ.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් නිෂ්පාදන හා සේවා අපනයන ආදායම 2025 වසරේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක මට්ටමේ සිට 2030 වන විට ඩොලර් බිලියන 5 ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.
ඒ සඳහා ICT ආයෝජන ආකර්ෂණය කර ගැනීම, ශ්‍රී ලාංකික තාක්ෂණික සමාගම්වල ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීම, මානව සම්පත සංවර්ධනය කිරීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
Japan IT Week, GITEX Global සහ Hannover Messe වැනි ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලාංකික ICT සමාගම් සහභාගී කරවීම, ජපානය සහ ජර්මනිය ඉලක්ක කරගත් වෙළෙඳපොළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ‘Island of Ingenuity’ ජාත්‍යන්තර සන්නාමය ප්‍රවර්ධනය කිරීම ඇතුළු EDB විසින් යෝජනා කර ඇති වැඩසටහන් සඳහා ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd