- මූලික අදියර යටතේ 2026 දී පොකුරු තේ ගම්මාන 144 ක් පිහිටුවීමට යයි
- තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා ඉහළ නැංවීම මූලික අපේක්ෂාවයි
- හඳුනාගත් තේ ගම්මාන ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තේ නිෂ්පාදන සමූපකාර සමිති පිහිටුවීමට යයි
2030 වන විට නිමි තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම දැනට පවතින ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක සිට ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ අරමුණින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් පොකුරු තේ ගම්මාන 500ක වැඩසටහන ජූලි 15 ආරම්භ කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත් වුණු මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.
මෙහිදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්‌යේෂණ ආයතනය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ඇතුළු ආයතනවල මූලිකත්වයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව “Ceylon Tea Village” වැඩසටහනේ පළමුවැන්න නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශයේ හල්ගොල්ල හපුගස්තලාවේදී පැවැත්වීමට නියමිත අතර, දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි මූලික අදියරේ තේ ගම්මාන 144ක වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහන මගින් කුඩා තේවතු ගොවීන්ගේ දලු අස්වැන්න ඉහළ නැංවීම, ඔවුන්ගේ ආදායම් තත්වය වර්ධනය කිරීම, අගය එකතු කළ තේ නිෂ්පාදන හඳුන්වාදීම, තේ කර්මාන්තය සංචාරක ව්‍යාපාරය සමග ඒකාබද්ධ කිරීම, නවීන හා තිරසාර වගා ක්‍රම හඳුන්වාදීම, හඳුනාගත් තේ ගම්මාන ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තේ නිෂ්පාදන සමූපකාර සමිති පිහිටුවීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙරට සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 95ක් අපනයනය කරන බවත්, දේශියව පරිභෝජනය කරන්නේ සියයට 5ක් වැනි ප්‍රමාණයක් බවත් පවසා තිබේ. මෙම තේ ගම්මාන 500 හරහා ගුණාත්මක තේ නිෂ්පාදනයක් සිදුකර ලෝක වෙළෙඳපොළෙහි මෙරට තේවලට ඇති ඉල්ලුම ඉහළ දමමින් ඉහළ ආදායමක් ලබා ගැනීම මෙම වැඩසටහනේ අරමුණක් බවත් සඳහන් කර තිබේ.
එසේම අදවන විට කුඩා තේ වතු හිමියන් සමස්ත තේ වගාවෙන් සියයට 75ක් නිෂ්පාදනය කරන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd