
ශ්රී ලංකාවේ වත්මන් ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility-EFF) වැඩසටහන අවසන් වීමට ආසන්න වෙමින් පවතී. එබැවින් රට ඉදිරියේ ඇති වැදගත්ම ප්රශ්නය වන්නේ IMF වැඩසටහන අවසන් වීමත් සමග ආර්ථික අර්බුදයෙන් ගොඩඒමේ ක්රියාවලිය සම්පූර්ණ වූ බව සලකා ප්රතිසංස්කරණවල වේගය අඩු කළ යුතුද, නැතහොත් වත්මන් වැඩසටහන යටතේ ලබාගත් ප්රගතිය ආරක්ෂා කරමින් නව ආර්ථික ප්රතිසංස්කරණ සහ බාහිර අවදානම් කළමනාකරණ අදියරකට පිවිසිය යුතුද යන්නයි.
ශ්රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්වය, ණය බර, විදේශ විනිමය අවශ්යතා සහ ජාත්යන්තර ආර්ථික පරිසරය සලකා බැලූ විට, දෙවන ප්රවේශය වඩාත් යෝග්ය බව පෙනේ. ඒ අනුව, වත්මන් වැඩසටහනෙන් පසුව තවත් IMF වැඩසටහනක් සඳහා සාකච්ඡා කිරීම රටේ ආර්ථික ස්වාධීනත්වයට විරුද්ධ ක්රියාවක් නොව, එම ස්වාධීනත්වය දිගුකාලීනව තහවුරු කරගැනීමේ උපායමාර්ගයක කොටසක් ලෙස සැලකිය යුතුය. රජය ද එම ස්ථාවරයේ සිට ක්රියාකරන බවක් පෙනෙන්නට තිබීම ඇගයීමට ලක්කළ යුතුව ඇත. ඒ බව පසුගිය දා ජනාධීපතිවරයා විසින් ශ්රි ලංකා ආර්ථික සමුළුව අමතමින් ප්රකාශ කළ බව ද මෙහිදී මතක් කළ යුතුව ඇත.
2023-27 IMF වැඩසටහනේ ප්රතිලාභ
2022 වසරේ ශ්රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හුදෙක් තාවකාලික විදේශ විනිමය හිඟයක් නොවීය. එය දිගුකාලීන රාජ්ය මූල්ය දුර්වලතා, ප්රමාණවත් නොවූ බදු ආදායම්, ඉහළ ණය සේවාකරණ වියදම්, දුර්වල විදේශ විනිමය සංචිත, ප්රතිපත්තිමය අස්ථාවරත්වය සහ ආර්ථිකයේ තරගකාරීත්වය පිළිබඳ ගැටලු එකට එක්වීමෙන් ඇති වූ අර්බුදයකි. ජාත්යන්තර මූල්ය වෙළෙඳපොළෙන් ණය ලබාගැනීමේ හැකියාව අහිමි වීමත් සමග රටට විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට සිදු වූ අතර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් අත්යවශ්ය ආනයන සඳහා ගෙවීම් කිරීමද බරපතළ අභියෝගයක් බවට පත් විය.
2023 මාර්තු මාසයේදී අනුමත වූ ඇමරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න, වසර හතරක IMF වැඩසටහන මෙම තත්වයෙන් ගොඩඒම සඳහා වැදගත් ආධාරකයක් විය. එය ලබාදුන් මූල්ය සම්පත් පමණක් නොව, රාජ්ය මූල්ය ප්රතිපත්තිය, මුදල් ප්රතිපත්තිය, ණය ප්රතිව්යුහගතකරණය සහ ව්යුහාත්මක ප්රතිසංස්කරණ සඳහා පොදු රාමුවක්ද රටට ලැබුණි. IMF හි 2026 මැයි සමාලෝචනය අනුව, වැඩසටහනේ ප්රගතිය මගින් ආර්ථික ස්ථාවරත්වය නැවත ගොඩනැගීමට, බදු ආදායම් ඉහළ නැංවීමට, උද්ධමනය පාලනය කිරීමට සහ විදේශ සංචිත යළි ගොඩනැගීමට දායකත්වයක් ලැබී ඇත. 2024 සහ 2025 වසරවල ආර්ථික වර්ධනය සියයට 5ක් පමණ වූ අතර, ණය ප්රතිව්යුහගතකරණයෙන් රාජ්ය ණය තිරසාර මාවතකට යොමු කිරීමටද හැකි වී තිබේ. මෙම ප්රගතිය සුළු කොට තැකිය නොහැකිය. එහෙත් එය ආර්ථික අර්බුදයට හේතු වූ සියලුම ව්යුහාත්මක ගැටලු විසඳී ඇති බවට සාක්ෂියක්ද නොවේ. ආර්ථික ස්ථාවරත්වය යනු අර්බුදයක් නැවත ඇති නොවීමට අවශ්ය පදනමක් මිස, දිගුකාලීන වර්ධනය ස්වයංක්රීයව සහතික කරන තත්වයක් නොවේ.
ණය තිරසාරභාවය යළි පිහිටුවා ඇතත් අවදානම අවසන් වී නැත
මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තේ IMF හි 2026 මැයි මාසයේ පස්වැනි සහ හයවැනි සමාලෝචන වාර්තාවයි. එම වාර්තාවේ මූලික පණිවුඩය පැහැදිලිය. ණය ප්රතිව්යුහගතකරණය අවසන් කිරීමත් සමග ණය තිරසාරභාවය යළි පිහිටුවීමට හැකි වී ඇතත්, අවදානම තවමත් ඉහළ මට්ටමක පවතී. ණය තිරසාරභාවය දිගටම පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ රාජ්ය මූල්ය විනය සහ ප්රතිසංස්කරණ අවශ්ය බවද IMF අවධාරණය කරයි. එම වාර්තාව අනුව, 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 125.8ක් වූ රාජ්ය ණය අනුපාතය 2025 වන විට සියයට 101.1ක් දක්වා අඩු වී තිබුණි.
දළ මූල්ය අවශ්යතා සහ ආදායමට සාපේක්ෂව පොලී ගෙවීම්ද අඩු වී ඇත. එහෙත් ණය මට්ටම තවමත් ඉහළය. අනාගතයේ ණය දර්ශක තවදුරටත් වැඩිදියුණු වීම රඳා පවතින්නේ බදු ආදායම් මත පදනම් වූ රාජ්ය මූල්ය ශක්තිමත් කිරීම, ණය කළමනාකරණය සහ ප්රතිසංස්කරණ අඛණ්ඩව ක්රියාත්මක කිරීම මතය. ඒ අනුව, ණය ප්රතිව්යුහගතකරණය අවසන් වීම ණය ගැටලුවේ අවසානය ලෙස නොසැලකිය යුතුය. එය ණය ගැටලුව පාලනය කළ හැකි තත්වයකට ගෙන ඒමේ එක් අදියරක් පමණි. ඉදිරියේදී ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටමට නොපැමිණීම, විනිමය අනුපාතයේ අහිතකර වෙනස්වීම්, පොලී අනුපාත ඉහළ යාම, රාජ්ය ආදායම් අඩුවීම හෝ නව රාජ්ය වියදම් අවශ්යතා මතුවීම වැනි කම්පන ණය දර්ශක නැවත අයහපත් කළ හැකිය. විශේෂයෙන්ම, ණය ගෙවීම් සඳහා විදේශ විනිමය සොයාගැනීමේ අභියෝගය තවමත් වැදගත්ය.
බාහිර කම්පනවලට ඇති අවදානම
ශ්රී ලංකාව වැනි ඉන්ධන සහ බොහෝ අතරමැදි නිෂ්පාදන ආනයනය කරන ආර්ථිකයකට ජාත්යන්තර වෙළෙඳපොළේ වෙනස්වීම් ඉතා වැදගත්ය. ඉන්ධන මිල ඉහළ යාම, ප්රධාන වෙළෙඳපොළවල ඉල්ලුම අඩුවීම, සංචාරක ආදායම් පහත වැටීම, විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්රේෂණ අඩුවීම සහ ජාත්යන්තර මූල්ය වෙළෙඳපොළේ ණය ලබාගැනීමේ පිරිවැය ඉහළ යාම රටේ ගෙවුම් ශේෂයට එකවර බලපෑම් කළ හැකිය.
IMF හි 2026 සමාලෝචනය මැද පෙරදිග ගැටුම සහ 2025 අවසානයේ ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්රී ලංකාවේ ආර්ථික දැක්මට අවාසිදායක අවදානම ඉහළ ගොස් ඇති බව සඳහන් කළේය. මැද පෙරදිග කලාපය ශ්රී ලංකාවේ ඛනිජ තෙල් ආනයනවලින් ආසන්න වශයෙන් සියයට 50කටත්, විදේශ ප්රේෂණවලින් සියයට 40කටත් අදාළ වන අතර, ශ්රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන්වලින් සැලකිය යුතු කොටසක් සඳහාද එම කලාපය වැදගත් මධ්යස්ථානයකි. එබැවින් එම කලාපයේ දිගුකාලීන අස්ථාවරත්වයක් ඇති වුවහොත් ඉන්ධන පිරිවැය, සංචාරක කර්මාන්තය, විදේශ ප්රේෂණ සහ ගෙවුම් ශේෂය යන සියල්ලටම බලපෑම් ඇති විය හැකිය.
2026 සැප්තැම්බර් මාසයේ ශ්රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ ප්රකාශයේදීද IMF ගෝලීය වෙළෙඳ ප්රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතතාව, මැද පෙරදිග ගැටුමේ කාලසීමාව සහ තීව්රතාව, එල් නිනෝ කාලගුණික අවදානම සහ වෙනත් කම්පන ආර්ථික ස්ථාවරත්වයට බලපෑ හැකි බව අවධාරණය කළේය. ඒ සමග බදු පදනම පුළුල් කිරීම, බදු සහන නැවත සලකා බැලීම, රාජ්ය වියදම් කළමනාකරණය සහ විදුලිබල ක්ෂේත්රයේ මූල්ය අවදානම් අවම කිරීමද ප්රමුඛතා ලෙස ඉදිරිපත් කළේය.
විදේශ සංචිත සම්බන්ධයෙන්ද අතිශය සතුටුදායක නිගමනයකට පැමිණිය නොහැකිය. IMF හි 2026 සමාලෝචනය අනුව, විදේශ සංචිත වැඩිදියුණු වී තිබුණද ඒවා වැඩසටහනේ ඉලක්කවලින් අඩක් පමණ වූ අතර, එම මට්ටම අනාගත කම්පනවලට මුහුණ දීමට ප්රමාණවත්ද යන්න පිළිබඳ සැලකිල්ලක් පවතී. සංචිත ගොඩනැඟීම යනු විදේශ මුදල් ප්රමාණයක් පවත්වා ගැනීම පමණක් නොවේ.
එය ඉන්ධන සහ අත්යවශ්ය ආනයන සඳහා ගෙවීමට, විදේශ ණය සේවාකරණය කිරීමට සහ හදිසි ආර්ථික කම්පනයකදී රටට කාලය ලබාදීමට අවශ්ය ආරක්ෂක පවුරකි. විදේශ සංචිත තවදුරටත් ගොඩනැංවීමේ අවශ්යතාව ජනාධීපතිවරයා ද මෑතක දී පැවතී ශ්රි ලංකා ආර්ථික සමුළුවේ දී අවධාරණය කරන ලද්දක් වූ අතර එම අභියෝගය අප හමුවේ පවතින අත්හල නොහැකි ප්රමුඛතම ඉලක්කක් වන බව අර්බුදයත් සමග අප මුහුණ දුන් අවාසනාවන්ත තත්වය මනාව ඉස්මතු කරයි.
එබැවින් සංචිත වැඩිදියුණු වී ඇතැයි කියා බාහිර අවදානම අවසන් වී ඇතැයි සිතීම වැරදිය. සංචිත ප්රමාණවත් මට්ටමකට ගොඩනැගීමටත්, එය තිරසාරව පවත්වා ගැනීමටත්, අපනයන, සංචාරක කර්මාන්තය, විදේශ ආයෝජන සහ ප්රේෂණවලින් ලැබෙන විදේශ විනිමය ප්රවාහ ශක්තිමත් කිරීමටත් අඛණ්ඩ ප්රතිසංස්කරණ අවශ්යය. මැදි කාලීනව සහ දිගු කාලීනව අපනයන අංශය, භාණ්ඩ සහ සේවා යන අංශ දෙකම, දැනට සංකේන්ද්රණය වී ඇති අඩු අගය එකතු කරන අංශවල සිට ඉහළ අගය එකතු කරනු ලබන අංශ වෙත විවිධාංගීකරණය කිරීම ද බාහිර කම්පනවල බලපෑම අවම කිරීම සඳහා කළ යුතුව ඇති මූලික කටයුත්තක් වේ. රටක් දිගු කාලීනව සංචාරක කර්මාන්තය සහ විදේශ ප්රේෂණ ලැබීම් මත රඳා පැවත්ම යෝග්ය නොවන්නේ එම විදේශ විනිමය ප්රවාහ ඉතා සුළු කම්පන හමුවේ දැඩි බිද වැටීම්වලට ලක්වන හෙයිනි. ඒ බව පාස්කු ප්රහාරය, කොරෝනා වසංගතය, සහ ආර්ථික අර්බුද අවස්ථාවේ දී මනාව පැහැදිලි වූවක් විය.
අර්බුදයෙන් පාඩම් ඉගෙන ගෙන තිබේද?
2022 අර්බුදයෙන් ලැබිය යුතු ප්රධානතම පාඩමක් වන්නේ රජයකට දිගුකාලීනව ආදායමට වඩා වැඩි වියදම් පවත්වාගෙන යාම, බදු ආදායම් ප්රමාණවත් ලෙස රැස් නොකිරීම සහ එම හිඟය ණය මගින් පියවීම සීමාවකින් තොරව කළ නොහැකි බවයි. ආදායමට නොගැළපෙන වියදම්, දුර්වල බදු පරිපාලනය සහ රාජ්ය ව්යවසායන්හි අලාභ අවසානයේ රටේ ණය බරට හා විදේශ විනිමය අවශ්යතාවලට එකතු වේ. ගෙවුම් ශේෂයට අදාළ ජංගම ගිණුමේ ද දිගින් දිගටම තිරසර නොවන හිඟ පවත්වාගෙන යාම දිගින් දිගටම කළ යුත්තක් නොවන අතර විදේශ විනිමය ඉපයීම ශක්තිමත් කළ යුත්තේ විදේශ ණය මත ඇති අඛණ්ඩ රදා පැවත්ම පහත හෙළීම සඳහා වේ. එසේම, මෙරට ආයෝජන සඳහා ද දිගින් දිගටම විදේශ ණය ප්රධාන මූලාශ්රයක් නොවිය යුතු අතර ඒ සඳහා විකල්පයක් ලෙස සෘඡු විදේශ ආයෝජන දිරිමත් කිරීම ප්රමුඛතම අවශ්යතාවකි.
වත්මන් IMF වැඩසටහන යටතේ රාජ්ය ආදායම් ඉහළ නැංවීම, බලශක්ති මිල ගණන් පිරිවැයට අනුකූල කිරීම සහ රාජ්ය මූල්ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවර ගෙන ඇත. එහෙත් ප්රතිපත්තිමය විනය නීති හෝ ඉලක්ක ප්රකාශයට පත් කිරීමෙන් පමණක් තහවුරු නොවේ. ඒවා වෙනස්වන දේශපාලන සහ ආර්ථික තත්ව යටතේද අඛණ්ඩව ක්රියාත්මක කළ යුතුය. IMF හි 2026 මැයි සමාලෝචනයෙන්ද වැඩසටහනේ සමස්ත ප්රගතිය යහපත් බව සඳහන් කරන අතර, විදේශ ගෙවීම් හිඟ සහ ආනයන සීමා සම්බන්ධ අඛණ්ඩ කාර්යසාධන කොන්දේසි දෙකක් සපුරා නොතිබූ බවත්, ඇතැම් ව්යුහාත්මක ඉලක්ක ප්රමාද වී ක්රියාත්මක වූ බවත් පෙන්වා දෙයි.
මෙයින් අදහස් වන්නේ ශ්රී ලංකාව කිසිදු ප්රගතියක් ලබා නැති බව නොවේ. එහෙත් ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමේදී පසුබෑම් සහ ප්රමාද ඇති විය හැකි බවත්, ඒවා අධීක්ෂණය කරන විශ්වාසදායක රාමුවක් තවදුරටත් වැදගත් බවත්ය. 2026 දී ඇති වූ කම්පන හමුවේ තාවකාලික මූල්ය සහන සැලසීම සාධාරණ විය හැකිය. එහෙත් එවැනි සහන ස්ථිර වියදම් බවට පත් නොවී, 2027 සිට රාජ්ය මූල්ය ඉලක්ක වෙත නැවත පැමිණීම අවශ්ය බව IMF පෙන්වා දී ඇත. එබැවින් නව වැඩසටහනක අරමුණ විය යුත්තේ සෑම අවස්ථාවකදීම වියදම් කපා හැරීම නොව, අර්බුදයකදී අවශ්ය සහන සැලසීමට හැකි වන පරිදි සාමාන්ය කාලවලදී රාජ්ය මූල්ය ඉඩකඩ ගොඩනැගීමයි. ඒ සඳහා සාධාරණ බදු ක්රමයක්, ඵලදායී රාජ්ය ආයෝජන, විනිවිදභාවය සහ වගවීම අත්යවශ්යය.
ව්යුහාත්මක ප්රතිසංස්කරණවල වැදගත්කම
ශ්රී ලංකාවට තවත් IMF වැඩසටහනක් අවශ්ය බවට ඇති ප්රබලතම තර්කය මූල්ය ආධාරය පමණක් නොව, ආර්ථිකය පරිවර්තනය කිරීමේ අවශ්යතාවයි. 2022 අර්බුදය ඇති කළ මූලික දුර්වලතා සියල්ලම විසඳී නැත. අපනයන පදනම තවමත් ප්රමාණවත් ලෙස විවිධාංගීකරණය වී නොමැත. පෞද්ගලික ආයෝජන සහ විදේශ සෘජු ආයෝජන රටේ විභවයට සාපේක්ෂව පහළ මට්ටමක පවතී. රාජ්ය ව්යවසායන්හි කාර්යක්ෂමතාව, රාජ්ය ආයෝජන ව්යාපෘති තෝරාගැනීම, නියාමන ප්රමාද, ප්රතිපත්තිවල අඛණ්ඩතාව සහ ආර්ථිකයේ ඵලදායිතාව ඉහළ නැංවීම වැනි අභියෝගද තවදුරටත් පවතී.
එබැවින් ප්රතිසංස්කරණවල ඊළඟ අදියර අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට යා යුතුය. එහිදී අපනයන තරගකාරීත්වය, නිෂ්පාදන විවිධාංගීකරණය, නව තාක්ෂණය භාවිතය, ශ්රම බලකායේ කුසලතා, වෙළෙඳ පහසුකම්, බලශක්ති ආරක්ෂාව සහ පෞද්ගලික ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැඟීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
ඒ සමග රාජ්ය ආයෝජනවල ප්රතිලාභ සහ ව්යාපෘති ක්රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාවද වැඩි කළ යුතුය. පසුගිය දා ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව මගින් එළිදක්වන ලද ශ්රි ලංකා ආයෝජන පරිසරය පිළිබද වාර්තාවේ සදහන්වන අන්දමට මෙරට ව්යාපාරික පරිසරයට අදාළව බරපතළ දුර්වලතා ගණනාවක් පවතින අතර එම ගැටලු විසදීමකින් තොරව නැගීඑන ආර්ථිකයන් විසින් ආකර්ෂණය කරගැනීමට සමත්ව ඇති මට්ටමේ ඉහළ සෘඡු විදේශ ආයෝජන ප්රමාණයක් මෙරටට ලබා ගැනීමට හැකියාවක් නොලැබෙනු ඇත.
මෙහිදී IMF වැඩසටහනක් යනු සියලු ප්රතිපත්ති තීරණ IMF වෙත පැවරීමක් නොවිය යුතුය. ශ්රී ලංකාවට අවශ්ය වන්නේ රටේම සංවර්ධන ඉලක්ක මත පදනම් වූ, දේශීයව හිමිකාරීත්වය දරන ප්රතිසංස්කරණ වැඩසටහනකි. IMF ගිවිසුම එම වැඩසටහනට විශ්වාසදායක රාමුවක්, අවශ්යනම් බාහිර මූල්ය සහායක් සහ ප්රගතිය මැනීමේ ක්රමවේදයක් සැපයිය හැකිය. එහෙත් ප්රතිසංස්කරණවල සාර්ථකත්වය රඳා පවතින්නේ ශ්රී ලංකා ආණ්ඩුවේ ක්රියාකාරිත්වය, පාර්ලිමේන්තු අධීක්ෂණය, රාජ්ය ආයතනවල හැකියාව සහ සමාජයේ සහභාගීත්වය මතය.
ජාත්යන්තර මූල්ය වෙළෙඳපොළට නැවත පිවිසීම
ශ්රී ලංකාවට ඉදිරියේදී ණය ගැනීමේ හැකියාව නැවත ගොඩනැගීමට සිදුවනු ඇත. එහෙත් ණය ලබාගැනීමේ හැකියාව නැවත ඇතිවීම පමණක් ප්රමාණවත් නොවේ. රටට දැරිය හැකි පිරිවැයකින් ණය ලබාගත හැකි විය යුතුය. ඒ සඳහා ණය ගෙවීමේ හැකියාව, රාජ්ය මූල්ය විනය, විදේශ සංචිත, ප්රතිපත්තිවල ස්ථාවරත්වය සහ ආයෝජන පරිසරය පිළිබඳ විශ්වාසය ගොඩනැගිය යුතුය.
ජාත්යන්තර ණය ශ්රේණිගත කිරීමේ ආයතන රටක වර්තමාන ආර්ථික දත්ත පමණක් නොව, ඉදිරි වසරවලදී රජය සිය ණය සහ මූල්ය අවශ්යතා කළමනාකරණය කරන ආකාරයද සැලකිල්ලට ගනී. විශ්වාසදායක IMF වැඩසටහනක් එම විශ්වාසය ශක්තිමත් කිරීමට දායක විය හැකි නමුත්, එය ණය ශ්රේණිගත කිරීම ඉහළ යාම ස්වයංක්රීයව සහතික නොකරයි. ආදායම් ඉලක්ක සපුරාලීම, ණය කළමනාකරණය, ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම සහ ප්රතිපත්තිමය අඛණ්ඩතාව තහවුරු කිරීමද අවශ්යය. මේ වනවිට Fitch ණය ශ්රේණිගත ආයතනය විසින් මෙරට ණය ශ්රේණිය B- දක්වා ඉහළනංවා ඇති නමුත් එම ණය ශ්රේණිය යටතේ ජාත්යන්තර මූල්ය වෙළෙඳපොළට පිවිසීමෙන් සිදුවන්නේ ඉතා ඉහළ පොලී අනුපාත යටතේ පමණක් ණය ලබා ගැනීමට සිදුවීම වේ.
මෙහිදී රාජ්ය මූල්ය හා මුදල් ප්රතිපත්තිවල විශ්වසනීයත්වය එකිනෙකට සම්බන්ධ වේ. රජයේ අයවැය ඉලක්ක නිතර වෙනස් වන්නේ නම්, රාජ්ය ව්යවසායන්හි මූල්ය අවදානම පාලනය නොවන්නේ නම් හෝ බදු හා ආයෝජන ප්රතිපත්ති අස්ථාවර වන්නේ නම්, ආයෝජකයන්ට දිගුකාලීන තීරණ ගැනීම අපහසු වේ. එබැවින් නව IMF වැඩසටහනක් ණය ශ්රේණිගත කිරීම සඳහා පමණක් නොව, රටේ ප්රතිපත්තිවල විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම සඳහාද යොදාගත යුතුය.
වෙනත් රටවල අත්දැකීම්
වෙනත් රටවල අත්දැකීම්වලින් පෙනී යන්නේ IMF වැඩසටහනක් අවසන් වූ පසු රටක් සාර්ථක වන්නේ ගිවිසුමක් තිබීම හෝ නොතිබීම පමණක් මත නොව, ප්රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ දේශීය ප්රතිපත්ති විනය මත බවයි. එහෙත් අඛණ්ඩ බාහිර සහාය සහ විශ්වාසදායක ප්රතිසංස්කරණ රාමුවක් වැදගත් විය හැකි බව පෙන්වන උදාහරණ තිබේ.
ජැමෙයිකාව එවැනි වැදගත් උදාහරණයකි. 2010 ගෝලීය මූල්ය අර්බුදයෙන් පසු එරට රාජ්ය ණය ගැටලු සහ මූල්ය වෙළෙඳපොළට පිවිසීමේ සීමා සමග අරගල කළේය. 2013 දී IMF විස්තීර්ණ අරමුදල් පහසුකමකටත්, පසුව 2016 දී පූර්වාරක්ෂක Stand-By වැඩසටහනකටත් පිවිසීමෙන් ප්රතිසංස්කරණවල අඛණ්ඩතාව පවත්වා ගැනීමට එරටට හැකි විය. ණය අඩු කිරීමේ ක්රියාවලියට දායක වූයේ IMF සහාය පමණක් නොවේ. දිගුකාලීන ප්රාථමික අයවැය අතිරික්ත, රාජ්ය මූල්ය වගකීම් රාමුවක් සහ දේශපාලන පක්ෂ, ව්යාපාර, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව අතර එකඟතාවද වැදගත් විය.
IMF හි 2026 මාර්තු මාසයේ පළ කළ විශ්ලේෂණයකට අනුව, ජැමෙයිකාවේ රාජ්ය ණය අනුපාතය 2012 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 140ක් පමණ වූ මට්ටමේ සිට 2024 දී සියයට 62ක් දක්වා අඩු විය. මෙය අඛණ්ඩ ප්රතිසංස්කරණ සහ විශ්වාසදායක මූල්ය නීතිවල වැදගත්කම පෙන්වන උදාහරණයකි. බාබඩෝස්ද තවත් අදාළ උදාහරණයකි.
එරට 2022 දී ක්රියාත්මක කළ ආර්ථික ප්රතිසාධන හා පරිවර්තන සැලැස්ම සහ ඊට සහාය වූ IMF වැඩසටහන් මගින් රාජ්ය මූල්ය ස්ථාවරත්වය, ණය තිරසාරභාවය සහ විදේශ සංචිත ගොඩනැගීම ශක්තිමත් විය. 2026 දී IMF සඳහන් කළේ එම ප්රතිසංස්කරණවල ප්රගතිය බාබඩෝස්ට ජාත්යන්තර ප්රාග්ධන වෙළෙඳපොළට නැවත පිවිසීමටද උපකාරී වූ බවයි. එහෙත් එහි සාර්ථකත්වය තනි ගිවිසුමක ප්රතිඵලයක් ලෙස නොව, දේශීය සැලැස්ම, ප්රතිපත්තිමය හිමිකාරීත්වය සහ අඛණ්ඩ ක්රියාත්මක කිරීමේ ප්රතිඵලයක් ලෙස තේරුම් ගත යුතුය.
2026 ඔක්තෝබර් මාසයේදී සැම්බියාවට පෙර IMF වැඩසටහන අවසන් වීමෙන් පසු නව ඩොලර් බිලියන 1.5ක Extended Credit Facility වැඩසටහනක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට හැකි විය. සැම්බියාව 2020 දී ණය පැහැරහැරීමකට මුහුණ දී තිබූ අතර, නව වැඩසටහනේ අරමුණ වූයේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම, ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම සහ ණය ප්රතිව්යුහගතකරණය ඉදිරියට ගෙන යාමයි. මෙම උදාහරණයෙන් පෙනී යන්නේ එක් වැඩසටහනක් අවසන් වීමෙන් පසුත් ණය සහ ආර්ථික ප්රතිසංස්කරණ අවශ්යතා ඉතිරි විය හැකි බවයි.
අනෙක් අතට, ඝානාව වැනි රටවල අත්දැකීම්ද අවධානයට ගත යුතුය. 2019 දී එරට IMF වැඩසටහනක් අවසන් කළද, පසුව රාජ්ය ණය හා මූල්ය දුර්වලතා තීව්ර වී 2022 දී ණය අර්බුදයකට සහ ණය ප්රතිව්යුහගතකරණයකට මුහුණ දීමට සිදු විය. මේ සඳහා අදාළ වන උදාහරණයක් මෙරට අත්දැකීම් මගින් ද පෙන්වා දිය හැකිය.
2016-2020 සදහා වූ කාලසීමාවට අදාළව මෙරට ක්රියාත්මකව පැවති වැඩසටහන 2019 දී බලයට පත්වූ රජය මගින් අතහැර දැමීමට කටයුතු කරන ලද්දේ ඊට අදාළ අරමුණු ඉටුකර ගැනීමකින් තොරව වූ 2022 දී අත්දකින ලද අර්බුදය ඇතිවීමට මගපාදන ලද බොහොමයක් එම වැඩසටහන මගින් විසඳීම සඳහා යෝජනාව පැවතිණි.
මෙය IMF වැඩසටහනක් අවසන් කිරීමම අර්බුදයකට හේතුව වූ බවට සාක්ෂියක් නොවේ. එහෙත් වැඩසටහනකින් පසු රාජ්ය මූල්ය අවදානම්, ණය කළමනාකරණය සහ ආදායම්-වියදම් අසමතුලිතතා විසඳා නොමැති නම්, පසුව අර්බුදයක් නැවත මතුවිය හැකි බව එය සිහිපත් කරන්නක් වේ. මෙම රටවල අත්දැකීම් ශ්රී ලංකාවට සෘජුවම පිටපත් කළ නොහැකිය. එහෙත් ඒවායින් ගත හැකි පොදු පාඩම වන්නේ වැඩසටහනක් අවසන් කිරීම සාර්ථකත්වයේ අවසාන මිනුම නොවන බවයි. සැබෑ මිනුම වන්නේ වැඩසටහනෙන් පසුත් රටට රාජ්ය මූල්ය විනය පවත්වා ගැනීමට, ණය කළමනාකරණය කිරීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ නව කම්පනවලට මුහුණ දීමට හැකිද යන්නයි.
ඊළඟ පියවර
ශ්රී ලංකාව තවත් IMF වැඩසටහනක් සඳහා සාකච්ඡා කළ යුත්තේ වත්මන් වැඩසටහනේ මුදල් ලබාගැනීම දිගටම කරගෙන යාම සඳහා පමණක් නොවේ. ඊළඟ වැඩසටහනේ අරමුණ පැහැදිලිව වෙනස් විය යුතුය. එය අර්බුදයෙන් ගොඩඒම සඳහා වූ වැඩසටහනක සිට, ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව, විදේශ විනිමය උපයන හැකියාව සහ කම්පනවලට මුහුණ දීමේ හැකියාව වැඩි කරන වැඩසටහනක් විය යුතුය.
පළමුව, රාජ්ය මූල්ය විනය පවත්වා ගැනීමට සහ ණය සේවාකරණ අවශ්යතා කළමනාකරණය කිරීමට විශ්වාසදායක මධ්යකාලීන සැලැස්මක් අවශ්යය. දෙවනුව, විදේශ සංචිත ගොඩනැගීම, අපනයන වැඩි කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ප්රමුඛතා විය යුතුය. තෙවනුව, රාජ්ය ව්යවසායන්හි මූල්ය අවදානම් පාලනය, රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ සහ රාජ්ය ආයෝජනවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කළ යුතුය. සිව්වනුව, දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කළ යුතුය.
අවසානයේ, ප්රතිපත්තිවල විනිවිදභාවය, පාර්ලිමේන්තු අධීක්ෂණය සහ ප්රගතිය පිළිබඳ මහජන වගවීම තහවුරු කළ යුතුය. මෙම නව වැඩසටහන සඳහා IMF සමඟ සාකච්ඡා කිරීමේදී ශ්රී ලංකාවට තම සංවර්ධන ප්රමුඛතා ඉදිරිපත් කිරීමටද හැකියාව තිබිය යුතුය. මූල්ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය එකිනෙකට විරුද්ධ අරමුණු නොවේ. අයවැය හිඟය අඩු කිරීමේදී ඵලදායී ආයෝජන සහ මානව සම්පත් සංවර්ධනය ආරක්ෂා කළ යුතුය. බදු ආදායම් වැඩි කිරීමේදී බදු බර සාධාරණව බෙදාහැරිය යුතුය. බලශක්ති මිල ගණන් පිරිවැයට අනුකූල කරන විට අවදානමට ලක්විය හැකි පවුල් සඳහා ඉලක්කගත සහන තිබිය යුතුය. එවැනි සමබර ප්රවේශයක් නොමැති නම් ප්රතිසංස්කරණවල සමාජ පිළිගැනීම දුර්වල විය හැකිය.
අවසානයක් නොව, නව ආරම්භයක්
වත්මන් IMF වැඩසටහන ශ්රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය නැවත ගොඩනැගීමට වැදගත් දායකත්වයක් ලබා දී ඇත. එහෙත් ඉහළ ණය බර, ප්රමාණවත් නොවන විදේශ සංචිත, විදේශ විනිමය උපයන ආර්ථිකයේ සීමා, රාජ්ය ව්යවසායන්හි අවදානම් සහ ගෝලීය කම්පනවලට ඇති නිරාවරණය තවමත් පවතී. IMF විසින්ම 2026 සමාලෝචනයේදී ණය තිරසාරභාවය සඳහා අඛණ්ඩ රාජ්ය මූල්ය විනය සහ ප්රතිසංස්කරණ අවශ්ය බව පැහැදිලි කර ඇත. එබැවින් ශ්රී ලංකාව වත්මන් වැඩසටහන අවසන් වීම ආර්ථික ප්රතිසංස්කරණවල අවසානයක් ලෙස නොව, වඩාත් දුෂ්කර නමුත් වැදගත් නව අදියරක ආරම්භයක් ලෙස සැලකිය යුතුය.
තවත් IMF ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීම එම සංක්රාන්තියට සහාය විය හැකිය. එහෙත් ගිවිසුමක් පමණක් රටේ ගැටලු විසඳන්නේ නැත. අවශ්ය වන්නේ දේශීයව හිමිකාරීත්වය දරන ප්රතිසංස්කරණ, අඛණ්ඩ ප්රතිපත්ති විනය, ඵලදායී රාජ්ය ආයෝජන සහ ජනතාවට සාධාරණ ප්රතිඵල ලබාදෙන ආර්ථික පරිවර්තනයකි.
අද මෙරට ඉදිරියේ ඇති තේරීම IMF සමග සිටීමද නැද්ද යන්න පමණක් නොවේ. එය 2022 අර්බුදයෙන් ලැබුණු පාඩම් අමතක කර නැවත අවදානම් මාවතකට යනවාද, නැතහොත් අත්කරගත් ස්ථාවරත්වය දිගුකාලීන සමෘද්ධිය සඳහා යොදාගන්නවාද යන්නයි. දෙවන මාර්ගය තෝරාගැනීමට නම්, වත්මන් වැඩසටහන අවසන් වීමෙන් පසුද විශ්වාසදායක ප්රතිසංස්කරණ රාමුවක් පවත්වා ගැනීම අත්යවශ්යය. ඒ සඳහා නව IMF වැඩසටහනකට පිවිසීම කළ යුතුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd