ආර්ථික යථාවත්වීම සියලු දෙනා වෙත සමානව ළඟා වී නැහැ 


2026 වසරේ දරිද්‍රතා අනුපාතය සියයට 15.8ක් දක්වා පහත හෙළයි 


2028 වසර තෙක් එම අනුපාතය අර්බුදයට පෙර පැවැති තත්වයට වඩා ඉහළින් 


සමාජ ආරක්ෂණ පද්ධතියට ප්‍රතිලාභීන් තෝරා ගැනීම ශක්තිමත් කිරිම ප්‍රධානයි 


භානුක අමරසිංහ 


ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවත් එය මන්දගාමී, අසම්පූර්ණ සහ අසමාන බව ලෝක බැංකුව පවසයි.ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ඇස්තමේන්තුව පිළිබඳ යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කරමින් ලෝක බැංකුව මෙම කරුණු සඳහන් කර තිබේ.  

මෙම යාවත්කාලීන කෙරුණු වාර්තාවට අනුව 2025 වසර සඳහා ලෝක බැංකුව මෙරට දරිද්‍රතා අනුපාතය ලෙස මීට පෙර පැවැති සියයට 22.1 ක ප්‍රතිශතය සියයට 16.9ක් දක්වා පහත හෙළා තිබේ.

එසේම 2026 වසර සඳහා පැවැති සියයට 20.1 ක අනුපාතය සියයට 15.8ක් දක්වාත්, 2027 සඳහා පැවැති එම අනුපාතය සියයට 19.5 ක සිට සියයට 14.8ක් දක්වාත් පහත හෙළා තිබේ. මීට අමතරව 2028 වසර සඳහා පැවැති සියයට 18.9 ක අනුපාතය සියයට 14ක් දක්වා පහත හෙළා තිබේ. 

“කෙසේ වෙතත් 2025 වසරේ මෙන්ම ඉදිරි වසර තුන සඳහාත් මෙම අනුපාතය 2019 වසරේ පැවැති සියයට 11.5 ක මට්ටමට වඩා ඉහළින් පවතින්නේ. මෙම දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩකටයුතු පවා දුර්වලයි. ඉහළ ගිය බලශක්ති පිරිවැය නිසා 2026 මුල් කාලසීමාවේදී සැබෑ ආදායම් පවා එක් තැනක නැවතුණා. මැදපෙරදිග අර්බුදය නිසා හට ගත් මේ කරුණු නිසා උද්ධමනය ඉහළ ගොස් ගෘහස්ත වියදම් නැවතත් හැකිලුුණා.“ ලෝක බැංකුව පවසයි. 

එක් දිනකට එක් පුද්ගලයකුට එක්සත් ජනපද ඩොලර් 4.20 ක ආදායමක් ලෙස ලෝක බැංකුව විසින් මෙම දරිද්‍රතා අනුපාතය මනිනු ලබයි. මෙය ලෝක බැංකුව විසින් පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා යොදා ගන්නා මිනුමකි. එම දත්ත අනුව 2019 වසරේදී එය සියයට 11.5 ක් ලෙස පැවතුණි.  

කෙසේ වෙතත් කොවිඩ් -19 වසංගතය සහ ආර්ථික අර්බුදයත් සමගින් 2022 සිට 2024 දක්වා කාලය තුළ එය පිළිවෙළින් සියයට 23.1ක්, සියයට 27.6ක් සහ සියයට 25ක් වූ බවට ලෝක බැංකුව විසින් ඇස්තමේන්තු කරන ලදි. එහෙත් ඉන් අනතුරුව එය පිළිවෙළින් සියයට 18.4ක්, සියයට 20.7ක් සහ සියයට 18.4ක් ලෙස යාවත්කාලීන කෙරී තිබේ.  

“2020 සිට 2024 දක්වා කාලය තුළ පවුල් මට්ටමින් සිදුවූ සුබසාධන තත්ත්වයන්, 'ශ්‍රම බලකා සමීක්ෂණය තුළින් ලබා ගත හැකි රැකියා, ශ්‍රම ආදායම් සහ පවුලේ සංයුතිය යන අංශවල වෙනස්කම් මෙම යාවත්කාලීන කෙරුණු ඇස්තමේන්තුව මගින් පිළිබිඹු කරනවා.“ 

ඒ අනුව අර්බුදයේ උච්චතම අවස්ථාවේදී පැවති දරිද්‍රතාව මීට පෙර ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා අඩු වුවද, සමස්ත තත්ත්වය එලෙසම පවතින බව ලෝක බැංකුව පෙන්වා වැඩිදුරටත් දෙයි.

03 වැනි පිටුවට...