ගෙවීමට ඇති ඩො. බි. 3ක ණය මුදල දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2.7 ක්


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)  හරහා ලබා ගත් ණය පහසුකම් යටතේ එම අරමුදල වෙත ගෙවීමට ඇති ණය වටිනාකම අනුව ණය හිමි ලැයිස්තුවේ 11 වැනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි වාර්තා වෙයි. 2026 ඔක්තෝබර් 05 වැනිදා වන විට පවතින නවතම දත්ත අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ වාර්තාවක මෙම කරුණු සඳහන්ව තිබේ. 

ඒ අනුව ශ්‍රී ලංකාව එම අරමුදල වෙත ගෙවීමට ඇති ණය මුදලේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් වන අතර, එය ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2.7 ක ප්‍රතිශතයක් ගනී. ශ්‍රී ලංකාව 2023 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගින් ඇති කරගත් ආසන්නතම විස්තීර්ණ ණය පහසුකම යටතේ මෙම ණය මුදල ලබා ගෙන ඇත.

ඩොලර් බිලියන 56.8 ක ණය හිමිකමක් සමගින් ආර්ජන්ටිනාව එම ලැයිස්තුවේ පළමු තැන පසුවෙයි. එම මුදල එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 8.2 කි. දෙවැනි තැන සිටින යුක්රේනයේ ණය හිමිකම ඩොලර් බිලියන 14.4 කි. ඩොලර් බිලියන 10.8ක් සමගින් පාකිස්තානය තෙවැනි තැනද, ඩොලර් බිලියන 10.6ක් සමගින් ඊජිප්තුව සිව්වැනි තැනද පසුවෙයි. 

ඩොලර් බිලියන 9.4ක ණය හිමිකමක් සමගින් ඉක්වදෝරය පස්වැනි තැන පසු වෙයි. බංග්ලාදේශයද ඩොලර් බිලියන 3.9 ක ණය හිමිකමක් සමගින් මෙම ලැයිස්තුවේ 08 වැනි ස්ථානයේ පසුවෙයි. එම ණය එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 0.8 ක් වීම විශේෂත්වයයි.