නිමල කොඩිතුවක්කු 


ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව සුවිශේෂී මට්ටමේ දක්ෂතා පවතින නමුත්, එම දක්ෂතා තිරසර ජාත්‍යන්තර ක්‍රීඩා කාර්ය සාධනයක් බවට පරිවර්තනය කිරීමේදී ඒකාබද්ධ සහ විද්‍යාත්මක පදනමකින් යුත් ඉහළ කාර්යසාධන ක්‍රීඩා පද්ධතියක් නොමැති වීම, ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිවලදී ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන බාධකයක් වී ඇති බව හඳුනාගනු ලැබ ඇත. 

ඒ අනුව, ඉහළ කාර්යසාධන මූලික පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සහ 2028, 2032 සහ 2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වලදී ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය ඉහළ නැංවීමට හැකි වන අයුරින් ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය රුපියල් මිලියන 3,980 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2027 වර්ෂයේ සිට වසර 03 ක කාල රාමුවක් තුළ දියගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. 

යෝජිත දියගම ජාතික ඉහළ කාර්යසාධන මධ්‍ය ස්ථානය ස්ථාපිත කරනු ලබන තෙක්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සහ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් හඳුනාගනු ලබන විශිෂ්ට මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය ටොරින්ටන් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂාගාර ගොඩනැගිල්ල සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනය සතුව පවතින යටිකල පහසුකම් භාවිත කරමින් ආරම්භ කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. 

ඒ අනුව, යෝජිත ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට අදාළව ඉදිරි පියවර ගැනීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.