මෙරට තුළ ඒකක භාර (යුනිට් ට්‍රස්ට්) කර්මාන්තයේ පැරණිතම ආයතනයක් වන Ceybank Asset Management Ltd සිය 35 වැනි සංවත්සරය සමරන බව පවසයි.
මේ වෙනුවෙන් ඉසව් මාලාවක් සංවිධානය කරන්නට Ceybank කටයුතු යොදා ඇති අතර, එහි පළමු අවස්ථාව ලෙස ආයතනයේ ප්‍රධානතම කොටස්කරුවන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පසුගියදා එහි ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස Ceybank හි ප්‍රධානතම කොටස්කරුවා වන ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා සම්බන්ධ වී ඇති අතර, එහිදී දිගු කාලයක් පුරා Ceybank වෙත දායකත්වය ලබා දී ඇති සේවකයන් ඇගයීමක්ද සිදු කර තිබේ. 
මේ අතර 35 වැනි සංවත්සරයට සමගාමීව Ceybank ආයතනය ඉදිරි මාස තුන තුළදී තවත් ඉසව් කිහිපයක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ යටතේ අලු‍ත් යුනිට් ට්‍රස්ට් අරමුදලක් එළිදැක්වීමක් සමගින් ආයෝජන සංසදයක් පැවැත්වීමටද Ceybank සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Ceybank ප්‍රධාන විධායක නිලධාරී ඉයන් ෆර්ඩිනැන්ඩස් මහතා “ශ්‍රී ලංකාව වෙත ඒකක භාර හෙවත් යුනිට් ට්‍රස්ට් හඳුන්වා දී මේ වසරට අවුරුදු 35ක් සම්පූර්ණ වෙනවා. ඒ අනුව ආරම්භක සාමාජිකයකු ලෙස Ceybank ගත වූ දශක තුනහමාරක කාලය තුළ ඉතා විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඉදිරියටත් සැලසුම් රැසක් අප සතුයි.” යනුවෙන් පවසා සිටියේය. 
Ceybank Asset Management Ltd ආයතනය ලංකා බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සහ ඉන්දියාවේ යුනිට් ට්‍රස්ට් ආයතනය වන SUUTI හි කොටස්කාරීත්වයෙන් සමන්විතය.