අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ ආනයනය සඳහා වන මුදල් ප්‍රවාහයේ ගැටලු‍ ඇතිවිය හැකි බව පවසයි 


විනිමය අනුපාත අලාභයකට ලක්වීමේ හැකියාවක් සහ ඩොලර් වටිනාකමින් ගත් ණය සඳහා වන බැඳීම් වෙතත් ගැටලු‍ ඇති කරන බව පවසයි 


අපනයනකරුවන්ගේ විදේශ මුදල් ඉපැයීම් රඳවා ගැනීමට ඇති කාලය දින 90 ක සිට දින 30ක් දක්වා සැලකිය යුතු ලෙස කෙටි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් රෙගුලාසිවලට පෙර කර්මාන්තකරුවන්ගෙන් උපදෙස් ලබා නොගැනීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) සඳහන් කරයි. 
“අපනයනකරුවන් සිය අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා පවතින අවශ්‍යතාවලට අනුකූල වීමට අපි කැපවී සිටිනවා. එහෙත් අපනයන නියෝජිත ආයතන සහ කර්මාන්ත කොටස්කරුවන් සමග පූර්ව උපදේශනයකින් තොරව මෙය හඳුන්වා දුන්නේ ඇයි?” යනුවෙන් සිය සාමාජිකයන් ප්‍රශ්න කරන බව මණ්ඩලය පවසයි. 
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම රෙගුලාසි හේතුවෙන් අපනයනකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ ආනයනය සඳහා වන මුදල් ප්‍රවාහයේ ගැටලු‍වක් ඇතිවීම ප්‍රධාන කරුණක් වී ඇති බවයි.
“අපනයන මෙහෙයුම්වලට අදාළ නීත්‍යානුකූල ව්‍යාපාරික අරමුණු සඳහා බොහෝ අපනයනකරුවන් විදේශ මුදල් ශේෂ රඳවා ගන්නවා. අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ ආනයනය, යන්ත්‍රෝපකරණ, උපකරණ සහ අමතර කොටස් මිලදී ගැනීම, විදේශීය අලෙවිකරණ ක්‍රියාකාරකම් සහ විදේශ මුදල්වලින් නම් කරන ලද බැඳීම් පියවීම මෙයට ඇතුළත්” 
2026 මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ මුළු ආනයන වියදම වසරින් වසර සියයට 25.2 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 8.23 දක්වා ඉහළ ගොස් තිබේ.