
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 42 වැනි විගණකාධිපතිනිය ලෙස පත්වූ සමුදිකා ජයරත්න මහත්මිය ඇගයීමේ විශේෂ උත්සවයක්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් ඉකුත්දා එම ආයතන පරිශ්‍රයේදී පවත්වනු ලැබිණ.
මෙම සුවිශේෂී ව්‍යවස්ථාපිත තනතුරට පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඇය ලැබූ ඓතිහාසික පත්වීම මෙන්ම, මෙරට රාජ්‍ය මූල්‍ය පාලනය වෙනුවෙන් දශක කිහිපයක් තිස්සේ ඇය ඉටුකළ කැපී පෙනෙන සේවය අගය කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
රාජ්‍ය විගණන ක්ෂේත්‍රයේ ඉහළම ව්‍යවස්ථාපිත තනතුරකට පත් වූ, තම වෘත්තීය ක්ෂේත්‍රයේ අතිශය දක්ෂ සාමාජිකාවක පිළිබඳව ගණකාධිකරණ වෘත්තිකයන් සතු අභිමානය මෙම උත්සවයෙන් මනාව පිළිබිඹු විය. එහිදී CA Sri Lanka ආයතනයේ සභාපති ටිෂාන් සුබසිංහ, උප සභාපතිනි අනෝජි ද සිල්වා, පාලක සභා සාමාජිකයන් සහ ප්‍රධාන විධායක නිලධාරිනී ලක්මලි ප්‍රියංගිකා යන මහත්ම මහත්මීන් විසින් ජයරත්න මහත්මිය උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
CA Sri Lankaආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක (Fellow Member) වන ජයරත්න මහත්මියගේ මෙම පත්වීම, වසර 25කට අධික කාලයක් පුරා ඇය සතු විශිෂ්ට වෘත්තීය ගමන් මඟ මනාව කියාපාන ප්‍රබල සාක්ෂියකි. ඇයගේ වෘත්තීය ජීවිතය සැමවිටම කැපී පෙනුණේ විශිෂ්ටත්වය, අවංකභාවය සහ රාජ්‍ය වගවීම පිළිබඳ ඉහළම ප්‍රමිති සුරැකීම උදෙසා වූ නොසැලෙන කැපවීම හේතුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ සභාපති ටිෂාන් සුබසිංහ මහතා, තම ආයතනයේ සාමාජිකාවක වශයෙන් ඇයගේ මෙම පත්වීම සම්බන්ධයෙන් ආයතනයේ ආඩම්බරය ප්‍රකාශ කළේය. “මෙය CA Sri Lanka ආයතනයට සහ වරලත් ගණකාධිකාරී වෘත්තියට පමණක් නොව, රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු කරා යාමට සිහින දකින මේ රටේ සෑම කාන්තාවකටම සුවිශේෂී අවස්ථාවක්. ඇය ප්‍රථම කාන්තා විගණකාධිපතිනිය ලෙස පත්වීම කැපවීම, අවංකභාවය සහ වෘත්තීය විශිෂ්ටත්වයෙන් ළඟා කරගත හැකි ඉලක්ක පිළිබඳ කදිම සංකේතයක්,” යැයි ඔහු පැවසීය.
මෙම උත්සවය අතරතුරදී, විගණකාධිපතිනිය අත්කර ගත් සුවිශේෂී ජයග්‍රහණය අගයමින් ඇය වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd