
2022 වසරේ ඇති වූ ආර්ථික බිඳවැටීමෙන් අනතුරුව වගවීම ශ්‍රී ලංකාවේ මතු වූ ප්‍රබලතම සමාජ ඉල්ලීම්වලින් එකකි. දූෂණය, දේශපාලන අනුග්‍රහවාදය සහ වැරදි රාජ්‍ය පාලනය, ආර්ථික ව්‍යසනයට ප්‍රධාන හේතු ලෙස ජනතාව අතර පවතින විශ්වාසය ශක්තිමත්ය. තේරුම්ගත හැකිය.
භාණ්ඩ හිඟය, උද්ධමනය, රුපියලේ අගය සහ ජීවන තත්වය දැඩි ලෙස පිරිහීම විඳදරාගත් ජනතාව මෙම ප්‍රශ්නවලට උත්තර ඉල්ලා සිටි අතර, වගකිවයුත්තන්ට දඬුවම් ඉල්ලා සිටීමටත් සම්පූර්ණ අයිතියක් ඇති බව අමතක කළ නොහැකිය.
මහජන කෝපයේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තෝ දේශපාලනඥයෝය. පැවැති ආණ්ඩු රට ආර්ථික අර්බුදයට ඇද වැටීමට හේතු වූ තත්ව නිර්මාණය කිරීමට දායක විය. දූෂණය තිබුණි. අනුග්‍රහවාදය පැවතුණි. වැරදි ප්‍රතිපත්ති තීරණ ගනු ලැබීය. බොහෝ විට මහජන දේපොළ අනිසි ලෙස භාවිත කෙරිණි. රාජ්‍ය බලය භාරගත් අය නීතිය ඉදිරියේ වගකීමට යටත් විය යුතුය. මෙම ස්වභාවය ඉදිරියේ වගවීම, අත්‍යවශ්‍ය වුවද, කිසිසේත් සංවර්ධන උපාය මාර්ගයක් නොවේ.
ප්‍රතිසංස්කරණ සඳහා ආදේශකයක් ද නොවේ
අතීතයේ වැරදි සම්බන්ධයෙන් නඩු පවරා දඬුවම් පැමිණවීමෙන් පමණක් නැවත රට ගොඩනැගිය හැකි යැයි විශ්වාස කිරීමේ අවදානමක් පවතී. එය කළ නොහැක. මෙම අර්බුදයේ ආරම්භය පුද්ගලයන්ගේ වැරදි හැසිරීම්වලට වඩා බොහෝ ගැඹුරින් පිහිටා ඇත. ඒවා 1948 නිදහසෙන් පසු ගොඩනැගුණු රාජ්‍ය ව්‍යුහය තුළත්, එතැන් සිට ගොඩනැගුණු සිද්ධි තුළත් මුල් බැස තිබේ.
නිදහස ලැබූ දා සිට ශ්‍රී ලංකාව දේශපාලන අස්ථාවරත්වය, දකුණේ කැරලි දෙකක්, දශක තුනකට ආසන්න වෙන්වීමේ යුද්ධයක්, 2004 සුනාමි ව්‍යසනය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සහ කොවිඩ්-19 වසංගතය වැනි පෙර නොවූ විරූ ආර්ථික හා සමාජ කම්පන රැසකට මුහුණ දී ඇත.
මෙම සෑම සිදුවීමක්ම රාජ්‍යයේ මූල්‍ය ශක්තියට, ආයතනික හැකියාවට සහ දිගුකාලීන සැලසුම් කිරීමේ අවශ්‍යතාවලට දැඩි පීඩනයක් එල්ල කළේය.
එම කිසිදු සිදුවීමක් ආර්ථික අර්බුදයට තනි හේතු නොවූවත්, කරුණු එකට එකතුවීමෙන් රාජ්‍ය මූල්‍ය ඉඩකඩ සීමා කළ අතර විනිමය සංචිත දුර්වල කරමින් සංවර්ධන ගමන්මග නැවත නැවතත් බිඳ දැමීය.
එකී පසුබිම තුළ පවා, විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ පැවැති ආණ්ඩු ආර්ථිකය තුළ රාජ්‍යයේ භූමිකාව තවදුරටත් පුළුල් කළහ. ශ්‍රී ලංකාවේ හැසිරීම තුළ රාජ්‍යය යනු නියාමකයකු පමණක් නොව, සේවා යෝජකයකු, නිෂ්පාදකයකු, බෙදාහරින්නකු සහ ආර්ථික අවස්ථා බෙදාදෙන ප්‍රධාන ආයතනයක් බවට පත් විය. රාජ්‍ය සේවය අඛණ්ඩව පුළුල් විය. රැකියා සපයන පළමු හා අවසාන තැන බවට පත්විය. රාජ්‍ය ව්‍යවසාය සංඛ්‍යාව වැඩි වූ අතර, බොහෝ ආයතන දිගුකාලීන රටට මූල්‍ය බරක් බවට පත්ව තිබුණි.
එය අතරවාරයේ සහනාධාර ක්‍රම පුළුල් විය. සුබසාධන වගකීම් වැඩි විය. රාජ්‍යයෙන් වැඩි ප්‍රතිලාභ ලබාදෙන බවට වැඩිම පොරොන්දු දෙන පාර්ශ්වය වටා දේශපාලන තරගය ගොඩනැගුණි. මෙම පැතිකඩ හේතු කරගෙන සිය ආර්ථික හැකියාව ඉක්මවා ජීවත් වන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව විය.
රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවූ විට ණය ගැනීමෙන් පරතරය පියැවීය. ණය ගැනීම දුෂ්කර වූ විට ප්‍රතිසංස්කරණ කල් දමන ලදී. දිගුකාලීන ආර්ථික සංශෝධනවලට වඩා සෑම විටම කෙටි කාලීන දේශපාලන පැවැත්මකට ප්‍රමුඛත්වය ලැබීය. ප්‍රතිඵලය වූයේ පද්ධතිමය කම්පනයක් එල්ල වන තුරු එතෙක් නොපෙනී පැවති දුර්වලතා ක්‍රමයෙන් මතු වී මහා අර්බුදයක් ඇති කිරීමයි.
අවසානයේ දී ඉලක්කම් ජයගත්තේය
කාලයත් සමග ගොඩගැසුණු සංකීර්ණතා විසඳාගැනීමට අවශ්‍ය තරම් ඵලදායිතාවක්, අපනයන ආදායමක් හෝ ආයෝජන ප්‍රමාණයක් රට තුළ නිර්මාණය වූයේ නැත. මෙහිදී එක් කරුණක් ඉතා පැහැදිලිව සඳහන් කළ යුතුය.
දූෂණය මෙම අර්බුදකාරී ගමන්මගට යම් ප්‍රමාණයකට දායක වූ නමුත්, එය සමස්ත අර්බුදය නිර්මාණය කළේ නැත. ශ්‍රී ලංකාවට වඩා දූෂණය වැඩි බවට සැලකෙන රටවල් බොහොමයක් තවමත් ආර්ථික වර්ධනයක් අත්කරගෙන, විදේශ ආයෝජන ආකර්ෂණය කරගෙන සහ දරිද්‍රතාව අඩු කරගෙන තිබේ.
සාර්ථක ආර්ථිකයන් අනෙක් රටවලින් වෙනස් වන්නේ දූෂණය නොමැති වීම නිසා පමණක් නොවේ. ශක්තිමත් ආයතන, විශ්වාසදායක මහා ආර්ථික කළමනාකරණය සහ දේශපාලන බලයට සමීපතාවට වඩා ඵලදායිතාවට ප්‍රතිලාභ ලබාදෙන ආර්ථික ව්‍යුහයක් පවත්වා ගැනීමය.
ආර්ථික අවස්ථාවලින් විශාල කොටසක් රාජ්‍යය මගින් පාලනය කරන පද්ධතියක් තුළ දූෂණය වඩාත් හානිකර ස්වභාවයක් ගනී. ශ්‍රී ලංකාවේ එවැනි තත්වයක් පැවතුණි. රැකියා, රාජ්‍ය කොන්ත්‍රාත්, ඉඩම්, බලපත්‍ර, අවසරපත් සහ රාජ්‍ය සම්පත් වෙත ප්‍රවේශය දේශපාලන අධිකාරිය මගින් පාලනය විය. එවැනි පද්ධතියක දේශපාලන බලපෑම ස්වාභාවිකවම පැතිරෙයි. හිතවත් පිරිසට පැවැරෙන අනුග්‍රහවාදය පාලන ක්‍රමයේම කොටසක් බවට පත්වෙයි. ඒ අනුව දූෂණය පද්ධතියේ ස්වාභාවික ප්‍රතිඵලයක් ලෙස මතු වෙයි.
මෙය කිසිසේත්ම දූෂණය සාධාරණීකරණය කිරීමක් නොවේ. එය දිගුකාලීනව පවත්වාගෙන යාමට හේතු වූ ව්‍යුහාත්මක තත්වය පැහැදිලි කිරීම පමණකි. කෙසේ වෙතත් දූෂණ විරෝධී පියවරවල ද සීමා තිබේ. විමර්ශන සහ නඩු පැවරීම් සඳහා ජනතා සහාය දැනට ඉතා ඉහළ මට්ටමක තිබේ.
ආර්ථික දුෂ්කරතා විඳදරාගත් පොදු ජනතාවගේ මෙම හැඟීම් සම්පූර්ණයෙන්ම තේරුම්ගත හැකිය.
කෝපය දේශපාලනඥයන්ට එල්ල වේ
ඉතිහාසය නිරීක්ෂණය කරන පසු ආර්ථික වශයෙන් පීඩනයට ලක් වූ ජන කොටස් අවසානයේ දී තම කෝපය එල්ල කරන ලද්දේ දේශපාලන ප්‍රභූන් වෙතය. එහෙත්, මෙහිදී අවධානය යොමු කළ යුතු අවදානමක් සහිත පැත්තක් තිබේ. සෑම ප්‍රධාන ගැටලූවක්ම රාජ්‍යය විසින් විසඳිය යුතුය යන අපේක්ෂාව මත ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය දිගු කාලයක් පුරා ගොඩනැගී ඇත.
රැකියා, සුබසාධනය, සහනාධාර, ආර්ථික දියුණුව සහ අර්බුදවලදී සහන සැලසීම යන සියල්ල සඳහා රාජ්‍යය වගකිව යුතු බව ජනතාව අපේක්ෂා කළහ. 2022 වසරේ දී ආර්ථික ආකෘතිය බිඳ වැටුණු විට ද, සෑම ගැටලූවක්ම රාජ්‍යය විසින් විසඳිය යුතුය යන බලාපොරොත්තුව වෙනස් වූයේ නැත. එය වෙනත් ස්වරූපයකට හැරිණි. දේශපාලනඥයන්ට නඩු පවරා දඬුවම් කළහොත් රට යළි ගොඩනැගිය හැකිය යන විශ්වාසයයි. එය වැරදි අවබෝධයකි.
ආර්ථික අර්බුද මතුවන විට වැදගත් වෙනස්කම් පවා අපැහැදිලි වීම සාමාන්‍ය දෙයකි. දැඩි මූල්‍ය පීඩනයකට ලක් වූ ජනතාව රාජ්‍ය වියදම් පෙරට වඩා දැඩි ලෙස විමර්ශනය කිරීම ස්වාභාවිකය. කලකට පෙර නීත්‍යානුකූල, අවශ්‍ය හෝ සරල අකාර්යක්ෂමතාවක් ලෙස සැලකුණු වියදම් පවා අර්බුදකාරී සමයකදී දූෂණයක් ලෙස පෙනී යා හැකිය.
එහෙත් දූෂණය, නාස්තිය, වැරදි විනිශ්චය සහ තිරසාර නොවන ප්‍රතිපත්ති යන සියල්ල එකම දෙයක් නොවේ. ඒවා අතර වෙනස හඳුනා ගැනීමට අසමත් වන රටක් තම ගැටලූවල සැබෑ හේතු වැරදි ලෙස හඳුනාගෙන, වැරදි විසඳුම් තෝරාගැනීමේ අවදානමට මුහුණ දෙයි.
දේශපාලනඥයන් යනු පත්කරගනු ලබන නියෝජිතයන්ය
දේශපාලනඥයන් යනු මහජන නියෝජිතයෝ වෙති. කාලයත් සමග ඔවුහු දේශපාලන පද්ධතිය තුළ පවතින උත්තේජකයන්ට අනුව හැසිරෙති. රැකියා, සහනාධාර සහ රාජ්‍ය ආරක්ෂාව වැනි දේ යන අර්ථයෙන් බැලු විට අනුග්‍රහවාදය ඉහළින් පමණක් ජනතාව මත පටවනු ලැබූ දෙයක් නොවේ. පහළ මට්ටමේ ජනතා අපේක්ෂා මගින්ද එය ශක්තිමත් කෙරිණි. මෙම දෙපාර්ශ්වීය බලපෑම අවසානයේ තිරසාර නොවන ආර්ථික ආකෘතියක් ස්ථාපිත කිරීමට හේතු විය.
දූෂිත නිලධාරීන් වහාම තනතුරුවලින් ඉවත් කළද, ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන මූලික ප්‍රශ්න එලෙසම පවතිනු ඇත. අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය කොපමණ සංඛ්‍යාවක් රටට සැබවින්ම පවත්වාගෙන යා හැකිද? රටේ ආර්ථිකයට දරාගත හැකි රාජ්‍ය සේවක සංඛ්‍යාව කොපමණද? අපනයන පුළුල් කර විවිධාංගීකරණය කරන්නේ කෙසේද? සියලූ ක්ෂේත්‍රවල ඵලදායිතාව වැඩිදියුණු කරන්නේ කෙසේද? දේශීය හා විදේශීය ආයෝජන වැඩි කර ඒවා ආරක්ෂා කරන්නේ කෙසේද? සහ ඒවා ගෙන්වාගන්නා ආකාරය. රාජ්‍යයේ කාර්යක්ෂමතාව සහ ගෝලීය ආර්ථිකයක ශ්‍රී ලංකාව තරඟ කළ හැක්කේ කෙසේද? යන්න ගැටලු අතර තිබේ. මේවා නීති ප්‍රශ්න නොවේ. රාජ්‍යයට ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න වේ. රටේ අනාගතය තීරණය කරන්නේ, ඕනෑම නඩු පැවරීම් මාලාවකට වඩා, මෙම ප්‍රශ්නවලට ලබාදෙන පිළිතුරු අනුවය.
පරිපාලන අක්‍රියතාවේ අවදානම
වගවීම අධික ලෙස දේශපාලනීකරණය කිරීමෙන් ඇතිවිය හැකි තවත් ප්‍රතිවිපාකයක් පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. තද දේශපාලන කේන්ද්‍රීය පාලනයක් පවතින පරිසරයක, දූෂණ විරෝධී නීතිමය ක්‍රියාමාර්ග මත අධික ලෙස රඳා සිටීම අනපේක්ෂිත හැසිරීම් ඇති කරනු ඇත. රාජ්‍ය නිලධාරීන්, නියාමන ආයතනවල නිලධාරීන් සහ පරිපාලකයන්, තමන් ගන්නා තීරණ අනාගතයේ වෙනත් දේශපාලන පාලනයක් යටතේ වැරදි ක්‍රියා ලෙස අර්ථකථනය කරනු ඇතැයි බිය වුවහොත්, සංවර්ධන තීරණ ගැනීමට මැළි විය හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ පරෙස්සම් වීමේ සංස්කෘතිය තහවුරු වීම පමණක් නොව ක්‍රමයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමේ ප්‍රවණතාවක් නිර්මාණයවීමයි. අනුමැතියන් ලබාදීම ප්‍රමාද වේ. සංවර්ධන ව්‍යාපෘති නතර වේ. තීරණ ගැනීම ප්‍රමාද කෙරේ. නිලධාරීන් ගේ වගකීම් භාරගැනීම මග හැරේ.
වගවීමක් ලෙස ආරම්භ වන දෙය අවසානයේ පරිපාලන අඩපණභාවයක් බවට පත්විය හැකිය. එය අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් පැත්තකි. ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා රාජ්‍යයට ක්‍රියාකාරී ලෙස තීරණ ගෙන වේගයෙන් ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව අත්‍යවශ්‍ය වේ. ආයෝජකයන්ට අවශ්‍ය වන්නේ පුරෝකථනය කළ හැකි සහ ස්ථාවර පරිසරයකි. යටිතල පහසුකම් සංවර්ධනය අවශ්‍ය වේ. ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුය.
ක්‍රියා කළ නොහැකි රාජ්‍යයකට ආර්ථික වර්ධනයකට මග පාදන්නටද නොහැකිය. මෙහි දී තීරණගැනීමේ බියකින් තොර වගවීම අවශ්‍ය කෙරේ. එය දූෂණයට එකග හෝ වගවීමට එරෙහි තර්කයක් නොවේ. ශ්‍රී ලංකාවට වැරදි ක්‍රියා විමර්ශනය කිරීමටත්, කිසිදු පක්ෂග්‍රාහීභාවයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ශක්තිමත් ආයතනික යාන්ත්‍රණ අවශ්‍ය වේ. එහෙත් වගවීම ආයතන දුර්වල කිරීම සඳහා නොව, ඒවා ශක්තිමත් කිරීම සඳහා යොදාගත යුතුය. එය යහපාලනය පිළිබඳ ජනතා විශ්වාසය ගොඩනැගිය යුතු අතර, එය බිඳ දැමීමේ මෙවලමක් බවට පත් නොවිය යුතුය.
එසේම, වගවීම කිසිවිටෙකත් ගැඹුරු ආර්ථික හා ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා ආදේශකයක් නොවිය යුතුය. අපහසු වුවද පිළිගත යුතු සත්‍යය මෙයයි. ශ්‍රී ලංකාවේ අර්බුදය දූෂණය හෝ වැරදි කළමනාකරණය පිළිබඳ අර්බුදයක් පමණක් නොවේ. එය නිදහසෙන් පසු මෙරට ගොඩනැගුණු රාජ්‍ය ව්‍යුහයේ අර්බුදයක් ද විය.
දූෂණය මෙම කතාවේ කොටසක් නමුත් පදනම නොවේ
තවත් පැත්තකින් සලකා බලන පසු මෙරට සැබෑ පදනම වූයේ රට නිෂ්පාදනය කළ ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයක් පරිභෝජනය කරන ආර්ථිකයක් සහ එයට අනුගත වූ රාජ්‍ය ව්‍යුහයකි. ඒ අනුව ආනයනය රටාව ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාව තමන් මුහුණ දුන් ආර්ථික අර්බුදය නැවතත් පුනරාවර්තනය වීම වැළැක්වීමට සැබවින්ම කැපවී සිටී නම්, එය වරදකරු සෙවීමේ දේශපාලනයෙන් ඔබ්බට ගොස් ප්‍රතිසංස්කරණ මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
මෙහි දී සුබසාධනයට අත්‍යවශ්‍ය වන මූලික රාජ්‍ය සේවා කෙරෙහි අවධානය යොමු කරන කුඩා රාජ්‍යයක් රටට අවශ්‍ය කෙරේ. අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ගැඹුරු සහ සාර්ථක ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යය. දේශපාලන බලපෑම්වලින් ස්වාධීන, වෘත්තීයමය සහ කුසලතා මත පදනම් වූ රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතුය. රැකියා උත්පාදනය, නවෝත්පාදනය සහ ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවීම සඳහා පෞද්ගලික අංශයට වැඩි ඉඩක් ලබාදිය යුතුය.
ආර්ථික වර්ධනයේ පදනම සහනාධාර හෝ සම්පත් නැවත බෙදාහැරීම නොව, ඵලදායිතාව, අපනයන වර්ධනය සහ ජාත්‍යන්තර තරගකාරීත්වයයි. තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීමට නම් රටේ ආර්ථික හැකියාව තුළ ජීවත් වීමට ඉගෙන ගත යුතුය. අර්බුදයක් ඇති වන තෙක් නැවත නැවතත් තම ආර්ථික ශක්තිය ඉක්මවා වියදම් කිරීම විසඳුමක් නොවේ.
දේශපාලන මතවාදයක ප්‍රකාශයක් නොවන යෝජනා
සීමිත රාජ්‍ය මූල්‍ය හැකියාවක් තිබියදීත් ඉහළ සංවර්ධන අභිලාෂ සපුරා ගැනීමට උත්සාහ කරන රටකට විශාල ප්‍රායෝගික අවශ්‍යතා වුවමනා කෙරේ. ශ්‍රී ලංකාවේ සැබෑ ඛේදවාචකය වන්නේ දූෂණය පැවතීම පමණක් නොවේ. දූෂණය ලෝකයේ බොහෝ සමාජවල පවතී.
එහෙත් ශ්‍රී ලංකාවේ ඛේදවාචකය වූයේ, දශක ගණනාවක් පුරා රටේ ආර්ථිකයට ඉහිලිය නොහැකි තරම් විශාල ඉටු කළ නොහැකි පොරොන්දු ලබාදෙන රාජ්‍යයක් ගොඩනැගීමයි. පොරොන්දු ඉටු කිරීම සඳහා ණය ලබාගත් අතර රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ අපහසු වන සෑම අවස්ථාවකම ඒවා කල් දමන ලදී. අවසානයේ දී දූෂණ තුරන් කිරීම හෝ වගවීම වගවීම පමණක් මෙම ගැටලූවට විසඳුමක් වනු ඇති බවට විශ්වාස කරන තැනට සමාජය තල්ලු වී ඇත. වගවීම අත්‍යවශ්‍යය.
එහෙත් ශ්‍රී ලංකාව එකවරම රාජ්‍ය ව්‍යුහය, ආර්ථිකය තුළ පවතින උත්තේජක සහ නිදහසෙන් පසු දේශපාලන ජීවිතය හැඩගැස්වූ දිගුකාලීන යැපීමේ සංස්කෘතිය ද ප්‍රතිසංස්කරණය නොකරන්නේ නම්, බලයට පත්වන පිරිස කවුරුන් වුවද, මෙම අර්බුද චක්‍රය නැවත නැවතත් සිදුවනු ඇත.
එක් දේශපාලන නායක පිරිසක් වෙනුවට තවත් පිරිසක් නැවත බලයට පැමිණෙනු ඇත. එහෙත් රට මුහුණ දෙන මූලික ව්‍යුහාත්මක සීමා එලෙසම පවතිනු ඇත. එබැවින් අද ශ්‍රී ලංකාව ඉදිරියේ තිබෙන සැබෑ ප්‍රශ්නය අතීතයේ සිදු වූ වැරදි සඳහා කවර පුද්ගලයකුට දඬුවම් කළ යුතුද යන්න පමණක් නොවේ. වෙනස් අනාගතයක් ගොඩනැගීමට රට සූදානම්ද යන්න එයට වඩා වැදගත්ය. ඒ සඳහා තීරණ ගත යුතු අතර විශාල සංවාදයක් ගොඩනැගීම අවශ්‍යය. වැරදි ක්‍රියාවලට එරෙහිව නඩු පැවරිය හැකිය. එහෙත් නඩු පවරමින් පමණක් සෞභාග්‍ය කරා ළඟා විය නොහැක.
(මිලින්ද මොරගොඩ මහතා පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘවරයා වේ. [email protected] ලිපිනයෙන් ඔහු සමග සම්බන්ධ විය හැකිය. Daily Mirror පුවත් පතේ පළ වු ලිපියක පරිවර්තනයකි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd