• අපනයනකරුවන්ගේ කනස්සල්ල, ප්‍රමුඛතා සහ නිර්දේශ නිරූපණය කරමින් එම යෝජනා ඉදිරිපත් කළ බව පවසයි

මෙරට අපනයනකරුවන් සඳහා වන ප්‍රමුඛතම වාණිජ මණ්ඩලයක් වන අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය (NCE) රජයේ මීළඟ අයවැය 2027 සඳහා යෝජනා 15ක් පමණ ඉදිරිපත් කර ඇතැයි පවසයි. 

එහිදී අපනයනකරුවන්ගේ කනස්සල්ල, ප්‍රමුඛතා සහ නිර්දේශ නිරූපණය කරමින්, ජාතික අයවැය සකස් කිරීමේදී අවධානය යොමු කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කළ බව එම මණ්ඩලය සඳහන් කර සිටියි. 

ඒ අනුව බදුකරණය, රාජ්‍ය වියදම්, ආයෝජන දිරිගැන්වීම් සහ වෙළඳාමට අදාළ ප්‍රතිපත්ති මගින් ව්‍යාපාරික පිරිවැය, තරගකාරිත්වය සහ මෙහෙයුම් සඳහා විය හැකි බලපෑම සැලකිල්ලට ගැනීමේදී රජයේ අවසාන තීරණ තේරුම් ගැනීම විශේෂයෙන් වැදගත් වන බවත් එම මණ්ඩලය අවධාරණය කරයි.

විශේෂයෙන්ම 2026 අයවැය මගින් රජය රුපියල් බිලියන 7,057 ක මුළු රාජ්‍ය වියදමට එරෙහිව භාණ්ඩ හා සේවා මත බදුවලින් රුපියල් බිලියන 3,056 ක් සහ විදේශ වෙළෙඳ බදුවලින් රුපියල් බිලියන 644 ක් ඇතුළුව රුපියල් බිලියන 5,300 ක මුළු රාජ්‍ය ආදායමක් අපේක්ෂා කළ බවත් ඔවුන් සිහිපත් කරයි. 

“2027 වසර සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2 ක් වෙන් කිරීමේ සැලසුමක රජය පසුවෙනවා. 

ඒ වගේම ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සහ රාජ්‍ය ආයෝජන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවටත් රජය ඉඟි කර තිබෙනවා. 

විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසායන්හි යෝජිත ප්‍රතිසංස්කරණ සහ බදු ව්‍යුහයේ සිදුවිය හැකි වෙනස්කම් ද 2027 අයවැයට පෙර අවධානය දිනාගත් කරුණු අතර පවතිනවා.” යනුවෙන්ද අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.