• ඉන් ඩොලර් මිලියන 695.14 ක වැඩිම ණය IMF හරහා ලබා ගත් ණය 
  • ලෝක බැංකුවෙන් සහ ADB හරහා ඩො.මි. 96.3ක් සහ ඩො.මි. 66.32ක් ලබා ගෙන 
  • ලබා ගත් ණයෙන් සියයට 77ක් අයවැය සහායට වෙන් කරලා

මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මුල් භාගය තුළ සංවර්ධන හවුල්කාර ආයතන හරහා රජය ලබා ගෙන ඇති ණය පහසුකම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 913.03 ක් වන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි. 

එම අමාත්‍යාංශය මගින් නිකුත් කළ වර්ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවේ මෙම කරුණු ඇතුළත්ව තිබේ. 

ඒ අනුව මෙම ණය අතරින් විශාලතම කොටස වන එක්සත් ජනපද ඩොලර් මිලියන 695.14ක් ලෙස සටහන්ව තිබේ. එය සමස්තයෙන් සියයට 76.1ක ප්‍රතිශතයකි. ශ්‍රී ලංකාව සමගින් ක්‍රියාත්මක එම අරමුලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන වාරික අනුව එම මුදල ලැබී තිබේ. 

දෙවැනි වැඩිම දායකත්වය වන ඩොලර් මිලියන 96.3ක් ලෝක බැංකුව මගින් ලබාදී තිබේ. 

එය සියයට 10.5 ක ප්‍රතිශතයකි. එසේම ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 66.32 ක දායකත්වයක් ලබාදී ඇති අතර එය සියයට 7.3ක ප්‍රතිශතයකි. 

මීට අමතරව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඩොලර් මිලියන 23.27ක්, ජපාන රජය ඩොලර් මිලියන 13.45ක්, ඉන්දියානු අපනයන - ආනයන බැංකුව ඩොලර් මිලියන 7.57ක් ලෙස වසරේ මුල් භාගයේදී ණය ලබාදී තිබේ. 

මේ අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල ඩොලර් මිලියන 4.79ක් සහ අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ඩොලර් මිලියන 2.63ක් ලෙස ණය ලබාදී තිබේ. 

ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදල ලබාදුන් ඩොලර් මිලියන 3.5 ක මුදලක්ද මෙම ණය අතර පවතී. 

ඒ අනුව මෙම ණය ලබා ගත් සංවර්ධන පාර්ශ්වකරුවන් අනුව බෙදා වෙන් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය ඩොලර් මිලියන 695.14ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් මිලියන 194.23ක් සහ ද්විපාර්ශ්වික ණය ඩොලර් මිලියන 23.66ක් ලෙස වර්ග කෙරී තිබේ. 

මේ අතර වසරේ මුල් භාගයේදී ලබාගත් මෙම ණය අරමුණ අනුව බෙදි වෙන් කිරීමේදී ඉන් සියයට 77ක කොටසක් අයවැය සහාය සඳහා වෙන් කර තිබේ.

ඉතිරි සියයට 23 ක කොටස විවිධ ආර්ථික ක්ෂේත්‍ර අතර විවිධාංගීකරණය වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව දෙවැනි විශාලතම වෙන් කිරීම ලෙස මාර්ග සහ පාලම් ක්ෂේත්‍රය සඳහා සියයට 7ක්ද, තෙවැනි විශාලතම වෙන් කිරීම ලෙස ගොඩබිම් ප්‍රවාහනය සඳහා සියයට 3ක්ද වෙන් කර තිබේ. 

ඉතිරිය කෘෂිකර්මය, සෞඛ්‍ය සහ සමාජ සුබසාධනය, නිවාස හා නාගරික සංවර්ධනය, මානුෂීය ආධාර, ග්‍රාමීය සංවර්ධනය සහ ජල සම්පාදනය වැනි අනෙකුත් ක්ෂේත්‍ර සඳහා වෙන් කරන ලද බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.