• 2027 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී සියයට 24.4ක ඉහළ ආදායම් වර්ධනයක් 
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී, 2026 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ මාස හය සඳහා  (1HFY27) රුපියල් බිලියන 40.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 24.4 ක කැපී පෙනෙන වර්ධනයකි. සමූහයේ සමස්ත බදු පසු ලාබය (PAT) ද පසුගිය වසරට සාපේක්ෂව සියයට 44.3 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.7 ක් බවට පත්ව ඇත. මෙයට සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන සමූහයේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික අංශවල ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව ප්‍රධාන වශයෙන් හේතු විය.
සමූහයේ සමස්ත ආදායමට සුව සේවා අංශයේ කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර එය මුළු ආදායමෙන් සියයට 49 කි. මේ අතර පාරිභෝගික අංශය සියයට 37 ක් ද කෘෂි ව්‍යාපාර අංශය සියයට 14 ක් ද වශයෙන් පිළිවෙලින් සමූහයේ මුළු ආදායමට දායක වී ඇත. පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සමූහයේ දළ ලාබය සියයට 11.7 කින් රු. බිලියන 11.5 ක් දක්වා වර්ධනය වී ඇති අතර, දළ ලාබ ආන්තිකය සියයට 28.7 ක මට්ටමක පැවතුණි. පසුගිය වසරේ එම කාල සීමාව තුළ සියයට 31.9 ක් ලෙස වාර්තා වූ දළ ලාභාන්තිකය පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සුව සේවා අංශය මුහුණ දුන් ඖෂධ මිල සම්බන්ධ බලපෑම් සහ රුපියලේ අගය පහත වැටීමයි.
සමූහයේ මෙහෙයුම් ලාබය (EBIT) පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 10.5 කින් රුපියල් බිලියන 6.1 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එහි මෙහෙයුම් ලාභාන්තිකය 1HFY26 කාලසීමාවේදී වාර්තා කළ සියයට 17.0 ට සාපේක්ෂව සියයට 15.1 ක් ලෙස සනිටුහන් විය. ශුද්ධ මූල්‍ය ආදායම වැඩි වීම සහ සමූහය තම බදු පෙර ලාබයෙන් අඩු ප්‍රතිශතයක් ආයතනික ආදායම් බදු ලෙස ගෙවීම සමූහයේ ලාබදායීත්වය ශක්තිමත් කිරීමට දායක වූ අතර, ඒ හේතුවෙන් බදු පසු ලාබ ආන්තිකය පසුගිය වසරේ පැවති සියයට 8.0 සිට සියයට 9.2 දක්වා වර්ධනය විය. මීට අමතරව, දෙවන කාර්තුවේදී සමූහය වඩාත් ස්ථාවර මූල්‍ය වර්ධනයක් පෙන්නුම් කළ අතර, එහිදී ආදායම පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 32.0 කින් ඉහළ ගොස් රු- බිලියන 21.6 ක් විය. එමෙන්ම බදු පසු ලාබය සියයට 82.4 ක කැපී පෙනෙන වර්ධනයක් සමගින් රු- බිලියන 2.3 ක් බවට පත්ව ඇත. 
සමූහයේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා මෙසේ සඳහන් කළේය. “අපගේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ආකෘතියේ ඇති ශක්තිමත් බව මෙන්ම, ප්‍රධාන ව්‍යාපාරික අංශ පුරාම අඛණ්ඩ වර්ධනයක් ළඟා කර ගැනීමට අපට ඇති හැකියාව මෙම පළමු අර්ධයේ මූල්‍ය ප්‍රතිඵලවලින් මනාව පෙන්නුම් කරනවා. මිල පාලන රෙගුලාසි සහ විදේශ විනිමය උච්චාවචන අපගේ ලාභාන්තිකයන් කෙරෙහි අඛණ්ඩව බලපෑම් එල්ල කළද, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ උපායමාර්ගික ව්‍යාපාරික ව්‍යාප්තිය කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කිරීමට අපට හැකි වුණා.” 
සමූහයේ සුව සේවා අංශය 2027 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 19.6 ක ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 13.3 ක වර්ධනයකි. දෙවන කාර්තුවේදී මෙම අංශයේ වර්ධනය තවදුරටත් ඉහළ යමින් සමූහයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 20.5 කින් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ඖෂධ මිල පාලන රෙගුලාසි සහ ආනයනික නිෂ්පාදන කෙරෙහි රුපියලේ අගය පහත වැටීමේ බලපෑම හේතුවෙන්, සුව සේවා අංශයේ මෙහෙයුම් ලාභාන්තිකය 1HFY26 දී පැවති සියයට 13.1 සිට සියයට 11.2 දක්වා පහත වැටුණි. 
ප්‍රධාන වශයෙන් මෙහෙයුම් ආකෘතියේ වෙනස් වීම්, ඇතැම් ප්‍රධාන සැපයුම්කරුවන්ගෙන් ලැබුණු නිෂ්පාදන තොග අවම වීම සහ නියාමන බලපෑම් මත ඇති වූ තොග හිඟය හේතුවෙන්, ඖෂධ බෙදාහැරීමේ අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 24.0 කින් පහත වැටුණි. මේ අතර, වෛද්‍ය උපකරණ (Medical Devices) සහ Healthguard Distribution යන අංශ පිළිවෙළින් සියයට 19.9 ක සහ සියයට 4.1 ක ආදායම් වර්ධනයක් වාර්තා කළ අතර, හෙල්ත්ගාර්ඩ් ෆාමසි ජාලයේ ආදායම ස්ථාවර මට්ටමක පැවතුණි.
මෙම කාලසීමාව තුළදී, සන්ෂයින් හෝල්ඩින්ග්ස් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Zydus Lifesciences Limited  සමඟ ව්‍යාපාරික සහයෝගීතාවකට එළැඹෙමින්, දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා වන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කර ඇත.
සුව සේවා අංශයේ ආයෝජන තවදුරටත් ශක්තිමත් කරමින්, සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා විසින් ‘Doc990’ සේවාව සපයනු ලබනු Digital Health (පුද්) සමාගමේ සියයට 21.92 ක කොටස් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත. මෙම ආයෝජනය සිදුවූයේ සලකා බලනු ලබන කාලපරිච්ඡේදයට පසුව, 2026 ඔක්තෝබර් මාසයේදීය.
ප්‍රධාන වශයෙන් JAPC අත්පත් කරගැනීම සහ තේ අපනයන ව්‍යාපාරය අත්කරගත් ප්‍රගතිය හේතුවෙන්, පාරිභෝගික අංශය 1HFY27 කාලසීමාව තුළ රුපියල් බිලියන 15.0 ක ආදායමක් වාර්තා කර ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 53.5 ක ඉහළ ආදායම් වර්ධනයකි. කෙසේ වෙතත්, JAPC සමාගම අමතරව පාරිභෝගික අංශය පමණක් සලකා බැලීමේදී, සන්නාමගත තේ කාණ්ඩයේ සහ තේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනය හේතුවෙන් එම අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.0 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
Watawala තේ සන්නාමය පෙන්වූ ඉහළ කාර්යසාධනය හේතුවෙන් සන්නාමගත තේ ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 5.6 ක වර්ධනයක් වාර්තා කළේය. මේ අතර, දැඩි තරගකාරීත්වයක් පවතින ප්‍රිමියම් තේ කාණ්ඩය තුළ Zesta සන්නාමය ද සිය වෙළෙඳපොළ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් විය. මේ අතර, රසකැවිලි ව්‍යාපාරයේ ටොෆි සහ කැන්ඩි නිෂ්පාදන කාණ්ඩවල විකුණුම් පහත වැටුණද, චුයින්ගම් සහ වේෆර් නිෂ්පාදන පෙළෙහි අත්කරගත් ප්‍රගතිය හේතුවෙන් එම අංශයේ සමස්ත ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 2.2 ක වර්ධනයක් සනිටුහන් කළේය.
1HFY27 කාලසීමාව තුළ තේ අපනයන ව්‍යාපාරය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 25.4 ක ආදායම් වර්ධනයක් පෙන්නුම් කර ඇත. ප්‍රධාන පාරිභෝගිකයන්ගෙන් ලැබුණු අතිරේක ඇණවුම් සහ අගය එකතු කළ තේ නිෂ්පාදන සඳහා පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් දෙවන කාර්තුවේදී පමණක් එහි ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 60.9ක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගත්තේය.
මේ අතර, ප්‍රධාන නිෂ්පාදන කාණ්ඩ සඳහා පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් JAPC හි කුළුබඩු අපනයන ආදායම ද සියයට 28.6 කින් වර්ධනය වී ඇත.
වටවල වැවිලි සමාගම නියෝජනය කරන සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය, ප්‍රධාන වශයෙන් පාම් ඔයිල් ව්‍යාපාරයේ අත්කරගත් ප්‍රගතිය හේතුවෙන් 1HFY27 කාලසීමාව තුළ රුපියල් බිලියන 5.6 ක ආදායමක් වාර්තා කර ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 7.2 ක වර්ධනයකි. 
Own-crop production ඉහළ යාමේ සහාය මත පාම් ඔයිල් ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 9.1 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 5.0 ක් ලෙස සනිටුහන් විය.  
කිරි නිෂ්පාදන ව්‍යාපාරය රුපියල් මිලියන 561.1 ක ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 2.9 ක සුළු පහත වැටීමකි. කිරි විකුණුම් ප්‍රමාණයන් පහත වැටීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූ නමුත් නිෂ්පාදන අලෙවි මිල ඉහළ මට්ටමක පැවතීම නිසා එම බලපෑම යම් දුරකට මගහරවා ගැනීමට හැකි විය. අපජල කළමනාකරණ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම ව්‍යාපාරය අඛණ්ඩව අභියෝගවලට මුහුණ දුන්නද, දෙවන කාර්තුව තුළදී එහි මෙහෙයුම් කාර්යසාධනය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. මේ අතර, පාම් ඔයිල් ව්‍යාපාරයේ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම හේතුවෙන්, කෘෂි ව්‍යාපාර අංශයේ EBIT ලාභාන්තිකය පසුගිය වසරේ පැවති සියයට 49.1 ට සාපේක්ෂව මෙම පළමු අර්ධය තුළදී සියයට 47.8 ක් ලෙස සනිටුහන් විය.
අදාල කාල පරිච්ඡේදයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස්, සමාගම Sunshine Wilmar (පුද්) සමාගම හරහා වටවල වැවිලි සමාගම සතු සිය කොටස් හිමිකාරීත්වය සියයට 77.02 ක් දක්වා ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇත. මීට අමතරව, වටවල වැවිලි සමාගම විසින් ලොනාක් ඬේරි සමාගමෙහි පැවති ඉතිරි කොටස් හිමිකාරීත්වය ද අත්පත් කරගන්නා ලදී. ඒ සමගම ලොනාක් ඬේරි සමාගම, වටවල වැවිලි සමාගමට සම්පූර්ණයෙන්ම අයත් සමාගමක් බවට පත් විය.