• මේ දක්වා වසර තුළ රැස් කරගත් ප්‍රාග්ධනය රු.බි. 160ක් 
  • 2024 වසරේ තබා තිබූ රු.බි. 175 ක වාර්තාව අබිබවා යනු ඇතැයි පවසයි 
  • 2025 දී GSS+ රාමුව යටතේ සිදුකළ නිකුතු හතකින් රුපියල් බිලියන 40 ක් රැස්කරගෙන 
  • 2026 අවසන් වීමට පෙර පාරිසරික, සාමාජීය සහ යහපාලන (ESG) දර්ශකයක් හඳුන්වා දීමට සැලසුම් 
  • 2027 වසර මුලදී හුවමාරුවෙළෙඳ අරමුදල්(ETFs) හඳුන්වාදිමටත් යයි

 භානුක අමරසිංහ 


ප්‍රධාන විධායක නිලධාරී 
රජීව බණ්ඩාරනායක

කොළඹ කොටස් හුවමාරුව  (CSE) තුළ මේ වසරේදී සිදු කරන ප්‍රාග්ධන රැස් කරගැනීම් හරහා රුපියල් බිලියන 200 ක වාර්තාගත ප්‍රාග්ධනයක් රැස් කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි. 

ඒ අනුව මෙම ඉලක්කය වෙනුවෙන් මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා නව ආයෝජන නිෂ්පාදන සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ සූදානම් කරමින් සිටින බවත් සමාගම් මෙන්ම ආයෝජකයන්ද දැනුවත් කිරිම් සිදු කරන බවත් ඒ මහතා පවසයි. 

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) එක්ව සංවිධානය කළ ආයතනික ආයෝජකයන්ගේ හමුවේදී (Institutional Investor Forum) අදහස් දක්වමින් බණ්ඩාරනායක මහතා මෙම අදහස් පළ කළේය. 

දත්ත අනුව 2026 වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ ණයකර, කොටස් සහ හිමිකම් නිකුත් කිරිම් හරහා රුපියල් බිලියන 160 ක් රැස්කරගෙන ඇති අතර, එය 2025 මුළු වසර තුළම රැස්කරගත් රුපියල් බිලියන 123 ට වඩා සියයට 30 ක පමණ වර්ධනයකි. 

“මෙම සමස්ත අගය, 2024 වසරේදී තබා තිබූ රුපියල් බිලියන 175 ක වාර්තාවට වඩා මේ වන විට පසු පසින් සිටින්නේ රුපියල් බිලියන 15 කින් පමණයි. මේ වසර අවසන් වන විට එම ප්‍රාග්ධන රැස් කරගැනීම් රුපියල් බිලියන 200 සීමාවට ළඟා වීමක් සිදු වනු ඇතැයි අපේක්ෂා කරනවා. එමගින් මෙම පැරණි වාර්තාව සියයට 14 කින් පමණ ඉක්මවා යාවි.” බණ්ඩාරනායක මහතා මෙහිදී සඳහන් කළේය. 

විශේෂයෙන්ම මුල්‍යකරණ විකල්ප පුළුල් කිරීම, නිකුත් කරන්නන් ආකර්ෂණය කර ගැනීම සහ ආයෝජක සහභාගීත්වය ඉහළ නැංවීමේ සැලසුම් ඒ මහතා විසින් පැහැදිලි කළේය. 

එහිදී නව ලැයිස්තුගත කිරීම් ආකර්ෂණය කර ගැනීමට වඩාත් සක්‍රිය ප්‍රවේශයකට යොමු වෙමින්, කොටස් නිකුත් කිරීමට අපේක්ෂා කරන ආයතන සමඟ සම්බන්ධ වීම සඳහා කොටස් වෙළෙඳපොළ වාණිජ අංශයක් පිහිටුවා ඇති බව ඔහු පැවසීය. එම අංශය දැනට සමාගම් 800 ක පමණ පදනමක් සමග කටයුතු කරමින් සිටින බවත් මෙහිදී අනාවරණය විය. 

 “කෙසේ නමුත් ලොව පුරා කොටස් වෙළෙඳපොළ විකල්ප මුල්‍යකරණ ප්‍රභවයන්ගෙන් තරගකාරිත්වයට මුහුණ දෙන නිසා, නව ලැයිස්තුගත කිරීම් ආකර්ෂණය කර ගැනීම වඩ වඩාත් අභියෝගාත්මක වී තිබෙනවා.“

මේ අතර අද වනවිට කොළඹ කොටස් හුවමාරුව හරහා සිදු කරන ප්‍රාග්ධන රැස් කරගැනීමේදී ණය වෙළෙඳපොළ යටතේ වැදගත් අංගයක් බවට තිරසාර මුල්‍යකරණය පත්ව ඇත.

ඒ අනුව GSS+ බැඳුම්කර ලෙස හඳුන්වනු ලබන හරිත (green), සාමාජීය (social), තිරසාර (sustainability), නීල (blue) සහ අනෙකුත් තේමාත්මක බැඳුම්කර, 2025 වසරේදී රැස්කරගත් ණය ප්‍රාග්ධනයෙන් සියයට 40 කට ආසන්න ප්‍රමාණයකට දායක වී ඇතැයිද බණ්ඩාරනායක මහතා මෙහිදී අනාවරණය කළේය.

එසේම පසුගිය වසරේදී ණය පිළිබඳ මූලික කොටස් නිකුතු (Debt IPOs) 22 ක් හරහා රුපියල් බිලියන 113 ක් රැස්කරගෙන ඇති අතර, එය 2024 වසරට වඩා සියයට 19 ක වර්ධනයකි.

එහිදී GSS+ රාමුව යටතේ නිකුතු හතක් සිදුකර ඇති අතර, ඒ හරහා රුපියල් බිලියන 40 කට වැඩි මුදලක් රැස්කරගෙන ඇත. 

 “2026 වසර අවසන් වීමට පෙර පාරිසරික, සාමාජීය සහ යහපාලන (ESG) දර්ශකයක් හඳුන්වා දීමටත්, ලබන වසර මුලදී හුවමාරු-වෙළෙඳ අරමුදල් (ETFs) හඳුන්වා දීමටත් කොටස් වෙළෙඳපොළ සැලසුම් කරනවා.” 

එමෙන්ම නිශ්චල දේපළ ආයෝජන භාර (REITs), සුරැකුම්පත් ණයට දීම සහ ගැනීම (stock borrowing and lending), සහ නියාමනය කළ කෙටි අලෙවිය (regulated short selling) සඳහා වන පවතින රාමූ භාවිත කරන ලෙස බණ්ඩාරනායක මහතා වෙළෙඳපොළ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. 

මෙම නිෂ්පාදන මගින් මැදිහත්කරුවන්ට විවිධ පාරිභෝගික කණ්ඩායම් ආකර්ෂණය කර ගැනීමටත්, අතිරේක උපදේශන සේවා සහ ආදායම් මාර්ග සංවර්ධනය කිරීමටත් උපකාරී විය හැකි බව බණ්ඩාරනායක මහතා සඳහන් කළේය.