ශබ්ද තරංග භාවිතයෙන් ජංගම දුරකථන වල බැටරි ආරෝපණය කරවිය හැකි ක‍්‍රමයක් සම්බන්ධ නොකියා සමාගමේ හා බි‍්‍රතාන්‍යයේ ක්වීන් මේරි සරසවියේ පර්යේෂකයෝ පර්යේෂණ කරමින් සිටිති.

ඕනෑම ශබ්දයක් එනම්,මිනිස් කටහඩ,පරිසරයේ ශබ්ද ආදී  ඕනෑම ශබ්දයකින් විහිදෙන ශබ්ද තරංගයන් විද්‍යුතය බවට හරවා බැටරි ආරෝපණය කිරීම සදහා යොදාගැනෙන බව ඔවුහු කියති.

ශබ්දය විද්‍යුතය බවට හැරවීමට ඔවුන් යොදාගෙන ඇත්තේ නැනෝතාක්ෂණය අනුසාරයෙන් නිපදවන ලද ‘‘නැනෝ රොඞ්ස්‘‘ නම් කුඩා දඬු වැනි ව්‍යුහයන් සමූහයකි.

ශබ්ද තරංග හමුවේ මෙම නැනෝ රොඞ්ස් කම්පනය වන අතර එසේ කම්පනය වෙද්දී විද්‍යුතය නිපදවෙන ආකාරයට ඒවා නිපදවා තිබේ.

මෙසේ නිපදවෙන විද්‍යුතය බැටරි ආරෝපණය සදහා යොදාගන්නා බව පර්යේෂකයෝ කියති.

දැනට මෙම ක‍්‍රමයෙන් වෝල්ට් 5 ක වැනි විදුලි ප‍්‍රමාණයක් නිපදවාගැනීමට හැකිව ඇතැයි සඳහන්ය.

සම්පූර්ණ බැටරියක් ආරෝපණය කිරීමට තරම් ප‍්‍රමාණවත් නොවූවත් බැටරිය ‘‘බහින කලාවේ‘‘ පවතින විටදී එය ප‍්‍රමාද කරවාගැනීමට මෙම ක‍්‍රමය ආධාරයෙන් හැකිවනු ඇතැයි පර්යේෂකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

පර්යේෂණ කටයුතු සාර්ථක වුවහොත් අනාගතයේදී ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීමට යැයි කියා එය දිහා බලාගෙන බෙරිහන් දෙන පුද්ගලයින් දැකගැනීමට හැකිවුවහොත් පුදුමයක් නැත.