මැතිව් සුළි කුණාටුව හේතුවෙන් 900කට අධික පිරිසක් මිය ගිය හයිටි රාජ්‍යය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පැයට කිලෝ මීටර් 230කට අධික වේගයකින් පසුගිය සතියේ හයිටියට කඩා වැදුණු මැතිව් සුළි කුණාටුව එරට 900කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් අතර ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ වී ගියේය.

ලතින් ඇමරිකා කලාපයේ දුප්පත් රාජ්‍යයක් ලෙස සැලකෙන හයිටියේ ලක්ෂ තුනකට වැඩි පිරිසකට අයහපත් කාලගුණය හේතුවෙන් උන් හිටි තැන් අහිමි විය.

ඇමරිකාවේ කැරිබියා කලාපයට හමා ආ දරුණුතම සුළි කුණාටුවලින් එකක් ලෙස සැලකෙන මැතිව් මේ වනවිට ඇමරිකාවේ ගිනිකොණ දිග ප්‍රදේශය දක්වා ගමන් කරමින් ඇතැයි වාර්තාවේ.