මිදි ගෙඩියේ යුෂ භාවිතා කොට නිෂ්පාදනය වන බොහෝ දේවල් අතුරෙන් වයින් වලට හිමි වන්නේ ප‍්‍රථම ස්ථානයයි. වයින් වල ඉතිහාසය ශත වර්ෂ ගණනාවක අතීතයක් හිමි පැරණිම බීම වර්ගයක් ලෙස සැලකේ.

ජේසුස් වහන්සේගේ අන්තිම රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදි පාන් සමඟ වයින් තිබී ඇත්තේය. වර්ෂ 1505 දී ශ්‍රී ලංකාවට ගොඩ බැස්ස වයින් බොන පෘතුගීසීන් දුටු අපේ මුතුන් මිත්තෝ ලේ බොන සුදු පිරිසක් පැමිණ ඇති බව එකල රජතුමාට සැළකළහ. එහෙයින් ඉතා දිගු ඉතිහාසයක් වයින් සඳහා තිබුණු බවට සාක්කි අපමණය.

කතෝලික දේවස්ථාන වල පූජාවන් සඳහාද මිදි යුෂ භාවිතයට  ගැනීම  එම සංස්කෘතියේ ඈත අතීතයේ සිට පැවැත එන ලක්ෂණයකි. එදා මිදි යුෂ පරිනාමයවී අද වයින් බවට  පත්වී ඇත්තේය. හෘද රෝග ඇත්තන්ට වයින් වීදුරුවක් පානය කිරීම සුවදායක බවට වෛද්‍ය සටහන්ද ඇත්තේය.

මෙවැනි පැරණි ඉතිහාසයක් ඇති වයින් සඳහා වර්තමානයේ ප‍්‍රසිද්ධම රට ප‍්‍රංශයයි. වර්තමාන ලෝකයේ වැඩිම වයින් නිශ්පාදිත රට ලෙස ප‍්‍රංශය සැළකේ. ප‍්‍රංශ ජාතිකයන් අතර 90%ක් පමණ වයින් පානයට ප‍්‍රිය කරති. ඔවුන්ගේ ආහාර වේලට වයින් වීදුරුවක් එකතුවීම සාමාන්‍ය සිරිතකි. ප‍්‍රංශය පුරා විවිධ ගම් දනව් වල මිදි යුෂ ඇසුරෙන් විවිධ වර්ගයේ වයින් නිශ්පාදනයවේ. රතු වයින්, සුදු වයින්, රෝස වයින් ලෙස ප‍්‍රධානවේ. දකුණු දිග ප‍්‍රංශය මිදි වතු වලින් සරුසාරය. ප‍්‍රංශයේ නිශ්පාදිත වයින් වර්ගයන් සාමාන්‍ය මෙන්ම සුපිරි මිල ගණන් වලටද වෙළඳ පොළේ විකිණේ. ඔස්ටේ‍්‍රලියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ජර්මනිය, දකුනු අප‍්‍රිකාව, චිලී, ආර්ජන්ටිනාව, ඇමෙරිකාව, චීනය ආදි රටවල්ද වයින් නිශ්පාදනයට ප‍්‍රසිද්ධ රටවල්වේ.

සෑම වසරකම සිදුවන ජාත්‍යයන්තර ශ්‍රේණි ගත ලැයිස්තුවේ වැඩියෙන්ම වයින් පානය කරන රටවල ලැයිස්තුවක්ද ඇත්තේය. එහි අන්තර්ගතයට අනුව මෙවර ප‍්‍රථම ස්ථානය පාප් වහන්සේ ජීවත් වන වතිකානු කුඩා රාජ්‍යට හිමිවේ. හෙළිකල  දත්තයන්ට අනුව වසරකට එක් අයකු වයින් ලීටර 73.8ක් හෙවත් බෝතල් 100ක් භාවිතා කරති. දෙවන ස්ථානය හිමි ප‍්‍රංශයේ ලීටර 44.2 හෙවත් බෝතල් 59කි. ශ්‍රේණියේ අනුපිලිවෙලට ස්ලෝවේනියාව ලීටර 43.3, ක්‍රෝසියාව ලීටර 42.6, ඉතාලිය ලීටර 37.5, ස්පාඤඤය ලීටර 21.5, එංගලන්තය ලීටර 20.2, අයර්ලන්තය ලීටර 5.42, ගැබොන් 4.7ක් ලෙස ශ්‍රේණියේ ස්ථාන හිමිකර ගෙන ඇත.

900ක ජනගහනයක් ඇති වතිකානුවේ හෙළිකර ගත් දත්තයන්ට අනුකූලව වයින් බදු බරින් නිදහස් බැවින් අවට රෝම වැසියන් මිලදී ගැනීමත්, එම දේවස්ථානයේ පූජාවන් සඳහා භාවිතා වන ප‍්‍රමාණයන්ද මෙම ශ්‍රේණි කිරීමේදි සැලකිල්ලට ගෙන ඇත. කෙසේ නමුදු කුඩා වතිකානුව වයින් පානයෙන් ශූරතාවය දිනා ගෙන ඇත්තේය.

Verr-de-Vin20151127 wine_20151127