ඉන්දියාවේ කාන්තාවකගේ ගර්භාෂයේ තිබී ලොව මෙතෙක් සොයාගත් විශාලත ම ගර්භාෂ ගෙඩිය ඉවත් කළ බව වෛද්‍යවරු පිරිසක් කියති. රාත්තල් 30ක් (කිලෝ ග්‍රෑම් 15යි ග්‍රෑම් 600ක්) බරැති මෙම ගෙඩියේ විශ්කම්භය අඟල් 21කි .

ලතා නමැති 52 හැවිරිදි කාන්තාවකගේ ගර්භාෂයෙන් මේ ගෙඩිය ඉවත් කිරීමට චෙන්නායි  වෛද්‍යවරු  සමත් වුහ.

මෙම කාන්තාව හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් හා අධික විඩාවෙන් පෙළෙමින් සිටියත්  ගර්භාෂයේ  ගෙඩියක් ඇතැයි අදහසක් තිබුණේ නැත. වෛද්‍යවරුන් පවසන්නේ එය පත්තක්කා ගෙඩියක් තරම් විශාල බවයි.

ඇයගේ ජනනේන්ද්‍රීයෙන් රුධිරය වහනය වීම නිසා  චෙන්නායි කුමාරන් රෝහලට ඇතුළත්  කැරුණු ඇය ලේ හිගකමින් පෙළෙන බව වෛද්‍යවරු කීහ. ගෙඩිය ගර්භාෂයෙන් පිටත පිහිටා තිබිණි.

 ප්‍රසව හා නාරිරෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය මානි මේකලායි පැවසුවේ තමන් ඇතුළු කණ්ඩායම මේ ගෙඩිය දැක තැතිගත් බවයි.   ෆයිබ්‍රොයිඩ් ලෙස මේ තත්ත්වය හැදින්වෙයි.  රාත්තල් 21 ක් බරැති ගෙඩියක් අප්‍රිකානුවකුගෙන් මීට පෙර ඉවත් කැරිණි.

‘‘ ගර්භාෂ ගෙඩියක් කියන්නේ කාන්තාවන්ට සාමාන්‍ය දෙයක් නමුත් මේ ගෙඩිය ඉතා අසාමාන්‍ය ලෙස විශාලව වැඩී තිබුණා. ඊස්ට්‍රජන් හෝර්මෝනය අධිකවීම හේතුවෙන් මෙවැනි ගෙඩි හටගන්නවා. “