රුපියල් 23000ක් වැනි සොච්චම් වැටුපකට සෞදි අරාබියේ කම්කරු රැකියාවක් සඳහා පැමිණ කබලෙන් ළිපට වැටී සිටින ලාංකක තරුණ කණ්ඩායමක් පසුගිය සිකුරාදා (2) අල්කොබාර් තානාපති ජංගම සේවා පරිශ්‍රයට පැමිණ සිටියේ තම දුක් ගැනවිල්ල තානාපති නිලධාරින් වෙත ඉදිරිපත් කිරීම සඳහායි.

එම කණ්ඩායම පවසන පරිදි මීට මාස පහකට පමණ පෙර කොළඹ 12 පිහිටි එක්තරා විදේශ රැකියා ආයතනයකට රුපියල් ලක්ෂයේ සිට එක ලක්ෂ පනස් දහසක පමණ මුදලක් දී සෞදි අරාබියේ රෝහල් පිරිසිදු කරන්නන් ලෙස රියාල් 700 +200 (ආහාර දීමනා)සහ ඇති තරම් අතිකාල දීමනා ද පවසා ගිවිසුම් ගතකොට මෙරටට පැමිණ ඇති මොවුන් හට රැකියාව වශයෙන් ලබාදී ඇත්තේ මාර්ග දෙපස පිහිටි අලංකාරයට සිටුවා ඇති ගස්වල කොළ අතු කපා ඉවත් කිරීම බව පවසන අතර වැටුප ලෙස පොරොන්දු වූ වැටුප වෙනුවට රියාල් 50 ද අඩු කර 650 ක් සහ ආහාර දීමනා 200 ක් ලෙස බවද පවසයි.රැකියා ආයතනය පැවසු පරිදි කිසිදු අතිකාල දීමනාවක් නොලැබෙන මොවුන්ට නිදා ගැනීම සදහා 8 දෙනෙකු සදහා කුඩා කාමරයක් ලබාදී ඇති අතර කාමර 3 ක් සදහා එක වැසිකිලියක් දී ඇත. මෙතෙක් රටේ රැදී සිටීමේ හැදුනුම්පත පවා ලබාදී නොමැති බවත් ඔවුන් පැවසුවේය.

පිරිස කදුළු සලමින්  පවසනුයේ ලංකාවේ රැකියා ආයතනය තමන් මුලා කොට විශාල මුදලක් අයකර විදෙස් ගත කළද  රුපියල් 23,000 ක් වැනි මුදලකින් අපේ දරු පවුල් නඩත්තු කිරීම කෙසේ වෙතත් මේ රට ජිවත් වීමටවත් මෙම මුදල නොසෑහෙන බවයි. ජංගම සේවයට පැමිණියේ කුමන කරුණක් සදහා ද යන ප්‍රශ්නයට  පිළිතුරු දුන් ඔවුන් පැවසුවේ  අදාළ ආයතනය සමඟ කතා කොට නියමිත රැකියාව සහ නියමිත වැටුප ලබාගැනීම උදෙසා තානාපති නිලධාරීන්ගේ අවධානය යොමු කිරීම පිණිස බවයි. ඒ අනුව  තානාපති නිලධාරින් අප වෙත පැවසුවේ අදාළ ගිවිසුම් ප්‍රකාරව තානාපති කාර්යාලයට කිසිවක් කිරීමට නොහැකි බවයි.

මෙම ප්‍රශ්නයට මුහුණදී අසරණව ඇති මෙම තරුණයින් පවසනුයේ මෙම ගැටලුවට විසදුමක් සොයා පැමිණිය ද සිදුවී ඇත්තේ කබලෙන් ළිපට වැටීමක් පමණක් බවත් ණය බරින් මිරිකී ඇති බැවින් ලංකාවට යාමෙන් තවත් අසරණ වන බවත් මේ පිළිබඳව තලතා අතුකෝරල අමාත්‍යතුමියගේ  අවධානය යොමුකර අප හට සහනයක් ලබාදීමට කටයුතු කරන මෙන්  ඉල්ලා සිටියි.

මෙම පිරිස පැමිණ සිටිනුයේ “සාමාන්‍ය කම්කරු” රැකියාවකට නිසා මේ රටේ පවතින නිතිය අනුව ඕනෑම කම්කරු රැකියාවක් කිරීමට ඔවුන්ට සිදුවනු ඇති බවයි. අනුරාධපුර, ගම්පොල , බදුල්ල, මඩකලපුව සහ කොළඹින්  එහි ගිය මේ පිරිස අතර  සිංහල හා දෙමළ තරුණයෝ වෙති.

DSC05119[1] DSC05120[1] DSC05122[1]