ස්වීඩනයට පිටුවහල් විමෙන් වැළැකී, ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටින විකිලීක්ස් සංස්කාරක ජුලියන් ඇසෙන්ජ් පෙරේදා (19) තානාපති කාර්යාලයේ සඳලූ තලයේ සිට සිය ආධාරකරුවන් සහ මාධ්‍යවේදීන් ඇමැතූ අවස්ථාවේ, යුද අපරාධ පිළිබඳ තොරතුරු ලොවට හෙළි කරන මාධ්‍යවේදීන්ට එරෙහිව ආරම්භ කර ඇති සංග‍්‍රාමය වහා නවත්වන්නැයි ඔහු ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කළේය. ඇමෙරිකාවේ රාජ්‍ය සහ යුදමය රහස් ලොවට හෙළි කිරීමෙන් බටහිර උදහසට ලක් වී සිටින  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු  වන ඇසෙන්ජ් ස්වීඩනයට බාරදීමට (උදර්පනය) කිරීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වේ. ඇසෙන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයට ගොස්  දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ එහෙයිනි. ඔහුට දේශපාලන රැකවරණ දීමට එක්වදෝර් රජය කැමැත්ත පළ කර තිබේ. ඇසෙන්ජ්ට  ඕනෑම මොහොතක තම රටට ඇතුළු විය හැකි බවත් ඔහුගේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට දේශපාලන රැකවරණ දීමට තමන් තීරණය කළ බවත් එක්වදෝර රජය පවසයි. ඇසෙන්ජ්ට එක්වදෝර තානාපති කාර්යාලයෙන් හෝ රටින් පිටවීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් එක්වදෝර් රජය ඇසෙන්ජ් තමන්ට බාර නොදෙන්නේ නම් එක්වදෝර් තානාපති කාර්යාලයට කඩා වැදී ඇසෙන්ජ් අත්අඩංගුනට ගන්නා බවත් බි‍්‍රතාන්‍ය රජය පවසා ඇත. බි‍්‍රතාන්‍ය රජය කළ එම අනතුරු ඇඟවීම එක්වදෝර රජයේ පමණක් නොව බි‍්‍රතාන්‍ය ජනතාවගේ ද දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත. මේ වනවිට ඇසෙන්ජ්ට සහාය පළ කරමින් දහසකට ආසන්න පිරිසක් ලන්ඩන් නුවර එන්වදෝර් තානාපති කාර්යාලය ඉදිරියට රැස්ව සිටිති. සඳලූ තලයේ සිට එම පිරිස ඇමතමින් ඇසෙන්ජ් කියා සිටියේ ඇමෙරිකා අත්අඩංගුවේ සිටින බ‍්‍රැඞ්ලි මෑනිං නමැති ඇමෙරිකානු සෙබළා වහා නිදහස් කිරීමට ඇමෙරිකා රජය පියවර ගත යුතු බවය. ඇමෙරිකාව බ‍්‍රැඞ්ලි මෑනිං අත්අඩංගුවට ගත්තේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවියට ඇමෙරිකානු හමුදාවේ රහස් ලබා දුන්නේ යැයි චෝදනා එල්ල කරමින්ය. ඇසෙන්ජ් ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි. ස්වීඩන රජය බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලා සිටියේ එම නඩු විභාගයට පෙනී සිටීමට ඇසෙන්ජ් තම රටට එවන ලෙසටය. ඒ අනුව ඇසෙන්ජ් ස්වීඩනයට බාර දීමට බි‍්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. ඇසෙන්ජ් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ ද එයින් පලක් නොවිණි. ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයේ සිටිද්දී,  රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ වරදට දඬුවම්  ඔහුගෙන් පළි ගැනීමට ඇමෙරිකාවට නුපුළුවන්ය. ස්වීඩනයට පැමිණියහොත් ඇමෙරිකා රජයට තමා අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි ඇසෙන්ජ් පවසයි. ස්වීඩන අධිකරණය තමන්ට බොරු චෝදනා එල්ල කරන්නේ ඇමෙරිකාව සමඟ එක් වී කුමන්ත‍්‍රණයක් කිරීමෙන් යැයි ඇසෙන්ජ් වැඩිදුරටත් කියා සිටී. ඇසෙන්ජ් සඳලූ තලයේ සිට සිය ආධාරකරුවන් අමතමින්