එංගලන්තයේ කම්කරු පක්‍ෂ නායක එඩ්වඩ් මිලිබෑන්ඩ් මහතා විරෝධ කරුවකුගේ බිත්තර ප‍්‍රහාරයකට ලක් වීය. ජීවන වියදම ඉහළ යාම නිසා රජයට කරන ලද විරෝධතා පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා ලන්ඩන් නුවර නැගෙනහිර වීදියේ වෙළඳපොළට පැමිණි අවස්ථාවේ ඔහුට බිත්තර ගසා ඇත.

පිටුපස සිටි අයකු බිත්තර හයකින් ඔහුගේ ඔළුවට පහර දී ඇත. තම දායකයන් හා සම්බන්ධ වීමට නිතරම අලූත් ක‍්‍රම සොයන බව රැස්ව සිටි පිරිස ඉදිරියේ ඔහු සිනාසී පවසා තිබේ.බිත්තර ගැසු අයට එරෙහිව ක්‍රියා  නොකරන ලෙසද  ඔහු පොලීසියට පැවසීය.

මෙවැනි බිත්තර ප‍්‍රහාරයකට මුහුණ දුන් ප‍්‍රථම අවස්ථාව මෙය නොවන බවත් 2012 වසරේද මෙවැනිම විරෝධතාවකදී ඔහු මෙවැනි අවස්ථාවකට මුහුණ දී ඇති බවත් සඳහන්ය.

”අද මා උණුසුම් ලෙස පිළිගත් නැගෙනහිර වීදී වෙළඳපොළේ සියලූ දෙනාට ස්තූතියි. බිත්තර සපයා ගැනීමට ඇති පහසුව මෙයින් ඔප්පු කර ගත හැකියි. යනුවෙන් ඔහුගේ ට්වීට වෙබ් අඩවියේ සඳහන් කර ඇත.