ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තියක් ලෙස සැලකෙන අවුන්ග් සාන් සුකි නිවාස අඩස්සියෙන් නිදහස් කොට ඇයගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට නිදහසේ දේශපාලනයේ නියැළීමට අවස්ථාව ලබා දීමත් සමග අඩ සියවසකටත් අධික කාලයක් හමුදා පාලනය යටතේ පැවැති මියන්මාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගයට පිවිසෙනු ඇතැයි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව විය. අවුන් සාන් සුකි නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමත් සමග එක්සත් ජනපදය හා යුරෝපා සංගමය වැනි රටවල් මියන්මාරය කෙරේ පනවා තිබූ සම්බාධක ඉවත් කොට නව සම්බාධක ගොඩ නගා ගැනීමට උත්සුක වූහ. අවුන්ග්සාන්සුකි යුරෝපයේ හා එක්සත් ජනපදයේ සංචාරය කරමින් මියන්මාරයේ නව දේශපාලන ගමන් මඟ ගැන ඒ රටවල බලාපොරොත්තු ඉහළ නැංවූවාය. ඒ සමගම බටහිර ආයෝජකයෝ මියන්මාරයේ ස්වභාවික සම්පත් උකහා ගැනීමට මෙන්ම සංචාරක ව්‍යපාරයට පිවිසීමට උත්සුක වූහ. එහෙත් මේ නව උදාව තුළ අඳුරු පැත්තක් පවතින බව පෙනෙන්නට වූයේ කලින් අරකන් ප‍්‍රදේශය නමින් හැඳින්වූ රකීන් ප‍්‍රාන්තයේ මුස්ලිම් බෞද්ධ ගැටුම් උත්සන්න වීමත් සමගය. පසුගිය ජුනි මාසයේදී රොහින්ගියා නමින් හැඳින්වෙන බටහිර බෙංගාලයෙන් සංක‍්‍රමණය වූ මෙම මුස්ලිම් ආගමිකයන් හා එම ප‍්‍රදේශයේ බෞද්ධයන් අතර ගැටුමක් ඇති වූයේ ස්ත‍්‍රී දූෂණයක් මුල් කර ගෙනය. සති ගණනාවක් පැවැති එම ගැටුම් නිසා පුද්ගලයින් 90 කට අධික සංඛ්‍යාවක් මිය ගිය අතර 75000 ක් අවතැන් වූහ. ඉන් අති බහුතරය වූයේ මුස්ලිම් ආගමිකයන්ය. නිවාස හා දේපොළ අහිමිවූ රොහින්ගියා වාර්ගිකයින් අසල්වැසි මුස්ලිම් රාජ්‍යය වූ බංග්ලාදේශයට පැන යෑමට උත්සාහ කළද බංග්ලාදේශ් රජය ඔවුන් පිළිගැනීමට කැමැති වූයේ නැත. මියන්මාරයේ රජයේ ආරක්ෂක අංශවලින් ද ඔවුන්ට රැකවරණයක් නොලැබෙන නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ විය. මෙම තොරතුරු විදේශ ජනමාධ්‍යවල පළ වීමත් සමග මියන්මාර් පාලකයන්ටද කිසියම් පියවරක් ගැනීමට බල කෙරිණ. තත්ත්වය නැවත සන්සුන් වූ විට තම ගම්බිම් අතහැර පලා ගිය රොහින්ගියා ජන කොටසට නැවත පැමිණීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක්ද විය. එහෙත් පසුගිය සතියේ නැවත වරක් රකින් ප‍්‍රාන්තයේ මුස්ලිම් ආගමික රොහින්ගියා වාර්ගිකයන් හා බෞද්ධයන් අතර ගැටුම් පැතිර යෑමෙන් තත්ත්වය වඩාත් උග‍්‍රවන බවත් පෙනේ. මියන්මාර රජය පවසන ආකාරයට එම ගැටුම්වලින් පුද්ගලයන් 67 ක් මිය ගොස් 95 ක් තුවාල ලබා ඇත. විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 3000 කි. තවත් 20,000 ක් සරණාගත තත්ත්වයට පත්ව ඇත. මින් අති බහුතරය වන්නේද රොහින්ගියා වාර්ගිකයින්ය. පරම්පරා ගණනාවක් රකින් ප‍්‍රදේශයේ ජීවත් වන රොහින්ගියා වාර්ගිකයින් මියන්මාර පුරවැසියන් ලෙස එරට රජය පිළිගන්නේ නැත. එය හමුදා පාලනය 1984 දී පැන වූ නීතියකින් තහවුරු කෙරිණ. කලින් බුරුමය ලෙසින් හැඳින්වූ මියන්මාරයේ බහුතර ජන කොටස බුරුම ජාතිකයන් වුවද තවත් සුළු වාර්ගික කණ්ඩායම් 135 ක් එහි වෙසෙති. එහෙත් රොහින්ගියා ජන කොටස එවැනි සුළු ජන කොටසක් ලෙස ගණන් ගන්නේ නැත. එම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා ඇති ආකාරයට 800000 ක් පමණ වන රෝහින්ගියා වාර්ගිකයන්ට මියන්මාර රජයෙන් කිසිම පහසුකමක් හිමි වන්නේද නැත. වෙනත් සුළු වාර්ගික කණ්ඩායමක් මෙන් නොව මොවුන් ආගමික වශයෙන් හා සමේ වර්ණයෙන් බුරුම ජාතිකයන්ගෙන් වෙනස් වන නිසා වෙනස් කොට සැලකීම වඩාත් තියුණුය. රොහින්ගියා වාර්ගිකයන්ගේ මෙම වෙනස්කම නිසා ඔවුන් නැවත මුස්ලිම් බහුතරයක් සිටින බංග්ලාදේශයටම යා යුතුය යන අදහස රකීන් ප‍්‍රාන්තයේ බෞද්ධයන් අතර පවතී. මේ අයුරින්ම බංග්ලාදේශයේ චිතගොං ප‍්‍රදේශයේද බෞද්ධ සුළුතරයක් සිටින බව අමතක නොකළ යුතුය. වඩාත් වැදගත් වන්නේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ක‍්‍රමයක් හා පාලනයක් ස්ථාපනය කිරීමට සැලසුම් කරන පසුබිමක මෙවන් වාර්ගික ගැටුම් ඇති වන්නේ ඇයිද යන්නයි. සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු පිළිගත් දේශපාලන පක්ෂවලට නිදහසේ ක‍්‍රියාකාරී වීමට ඉඩ සැලසීම පමණක් නොවේ. රටේ වෙසෙන සියලූ ජනකොටස්වල මූලික අයිතීන් සුරක්ෂිත වන නෛතික ව්‍යුහයක් පැවතීමද ප‍්‍රජාත්නත‍්‍රවාදී සමාජයක මූලික ලක්ෂණයකි. ආගම හෝ වර්ගය පදනම් කරගෙන කිසියම් ජන කොටසක ජීවත්වීමේ අයිතිය අහිමි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස කිසිසේත් හැඳින්විය නොහැක. එම නිසා ජනාධිපති තීන් සින් ගේ රජය සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් හා පාලනයක් ගොඩ නැගීමට පියවර ගන්නේද යන්න තීරණය වන්නේ රොහින්ගියා ඇතුළු මියන්මාරයේ වෙසෙන අනෙකුත් සුළු ජන කොටස්වල අයිතීන් ගරු කරන්නේද යන්න මතය. මෙහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකාව ලෙස හැඳින්වෙන අවුන්ග්සාන් සුකී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමද බොහෝ නිරීක්ෂකයන්ගේ අවධානයට ලක්ව ඇති කාරණයකි. සමහර වාර්තාවල සඳහන් වන ආකාරයට රකීන් ප‍්‍රාන්තයේ ගැටුම්වලට ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ සාමාජිකයෝද සම්බන්ධවී සිටිති. ඇත්තෙන්ම අවුන්ග් සාන් සුකි සිය අරගලය මානව අයිතිවාසිකම් සඳහා ගෙන යන්නක් නම් රොහින්ගියා වැනි සුළු ජන කොටස් ඉන් බැහැර කළ නොහැකිය. කිසිම ආකාරයක වෙනස් කොට සැලකීමක් පවතින්නේ නම් ජීවිතයේ වැඩිම කාලයක් මර්දනයට හා පීඩනයට ලක්වූ අවුන්ග් සාන් සුකිට තම ප‍්‍රාර්ථනාව වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සාක්ෂාත් කර ගැනීමට නොහැකි වනු ඇත.
සටහන: මහින්ද හත්තක
බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විරෝධතාවක් ආගමික ගැටුම් නිසා අනාථ වූ පිරිසක් අවුන්ග් සාන් සුකී විහාරස්ථානයකදී මියන්මාර් ජනාධිපති තීන් සීන්