අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමි ගේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම පැරීසියේදි පැවැත්විණි.

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා,  දඹර අමිල හිමි , ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ගිණුම්කරණය සහ කළමනාකරණ අධ්‍යයන වාණිජ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු ප‍්‍රධාන ආරාධිතයෝය.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම ජාතීන් එකම සහෝදරයන් ලෙස ජීවත්වීමට හැකි  පරිසරයක් නිර්මාණය කරන්නේ කෙසේද? හා ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කර ගන්නේ කෙසේද ? යන්න ගැන දීර්ඝ විස්තරයක් කරමින් දඹර අමිල හිමියෝ දේශනයක් පැවැත් වූහ.

රටේ වර්තමාන මුල්‍ය අර්බූදය, බැදුම්කර වංචාව, හා ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය ප‍්‍රධාන කොට දේශනයක් ආචාර්ය අනිල් ජයන්ත පැවැත්වීය.

ප‍්‍රබුද්ධ සංවාදශිලි සභාවක්ද පැවැත්විණි. පසුදින පැරීසියේ ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් සමාජ ක‍්‍රියාකාරීන් හා සාකච්ඡාවක් තානාපති කාර්යාලයේදි අමිල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ප‍්‍රශ්නය -  ප‍්‍රංශය යනු රාජ්‍ය හා ආගම වෙන්ව පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති නිදහස් රටක්. නමුත් අපේ රටේ ව්‍යවස්ථාව ආගම් රාජ්‍ය ආගම් ලෙස සලකනවා. රාජ්‍ය ආගම ලෙස බෞද්ධාගමට විශේෂ තැනක් හිමි වෙනවා. ජනගහණයෙන් වැඩි ප‍්‍රතිශතය බෞද්ධයෝ. මේ වන විට හැම පාරක, හන්ඳියක බුදු පිලිම ඉදි වෙනවා, පැය 24ම පිරිත් ඇසීමට ලැබෙනවා, විශේෂ දිනවල පන්සල්, පල්ලි, කෝවිල් සුදු ඇඳගත් සැදැහෑවතුන්ගෙන් පිරී ඉතිරිලා,  රටම පින්වතුන් ගෙන් පිරිලා. නමුත් හාමුදුරුවණේ ප‍්‍රංශයේ  ඕනෑම රාත‍්‍රියක කාන්තාවකට තනියම පාරේ ඇවිදීමට ඇති නිදහස මෙතරම් පිරිසිදු නිර්මල ධර්මයක් ඇති ලංකාවේ නොමැති බව සිදුවන දේවලින් අවබෝධ වෙනවා. එහෙම වෙන්නෙ ඇයි?

 

පිළිතුර -    ඔබ තර්කයක් ගෙනාවා ආගම ප‍්‍රධාන කොට නොසලකන ප‍්‍රංශයේ  ඕනෑම වෙලාවක කාන්තාවකට පාරේ බැහැලා යන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. ඒ වගේම ආගම ඉතාම දැඩි ලෙස සලකන සෞදි අරාබිය කියන රටේ කාන්තාවකටත් මේ වගේම පාරේ බැහැල යන්න පුළුවන්. මොකක්ද වෙනස ?. ආගම ඉතාම තදින්ම ඇති සමහර අය මූලධර්මවාදී යැයි සලකන සවුදි අරාබියේ එක මිනීමැරුමක්වත් නැහැ. ස්ත‍්‍රී දූෂණ නැහැ. එහෙම වෙන්නේ ඇයි ? ප‍්‍රංශයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා. විනය නීතිය අකුරටම තියෙනවා. සෞදිය වගේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙසේ වෙතත් රාජකීය මධ්‍යගත පාලනයක් පවතිනවා. එහි නීතිය අකුරට ක‍්‍රියාත්මක වෙනවා. විනයක් තිබෙනවා. දැන් බලන්න සමාජවාදි ක‍්‍රමයට හැඩ ගැසුණු චීනය, උතුරු කොරියාව, කියුබාව වගේ රටවලූත් අතීතයේ නැගෙනහිර යුරෝපය ඇතුළු රුසියාවෙත් ආගම ප‍්‍රධාන කොට සැලකුවේ නැහැ. නමුත් එම රටවල් අධ්‍යාපනය, සෞඛ්‍ය ආදි දේවලින් ඉතාමත්ම හොඳ දියුණුවක් ලබා තිබෙනවා. එයින් කියැවෙන්නේ මොකක්ද? ඉහත ඔබගේ ප‍්‍රශ්නයට හේතුවක් ලෙස ආගම අදාල නැහැ. විනය හා නීතිය හරි හැටි ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ රටවල් ඒ ටික හොඳට දියුණු කර තිබෙනවා. අපේ රට වලත් ඒ ටික කළ යුතුයි.

 

ප‍්‍රශ්නය -  පෙර පාලනය හා වර්තමාන පාලනය අතර සාපේක්ෂතා හැදින්වීමේදි ඔබ වහන්සේ කීවා. වර්තමානයේ පවතින මාධ්‍ය නිදහස, ව්‍යවස්ථා සංශෝධනය, තොරතුරු දැන ගැනීමේ පනත, කොමිෂන් සභා, ජාත්‍යයන්තර දිනා ගැනීම, ආදියෙන් රට ඉදිරියට පැමිණි බව සත්‍යයක් වුවද, දේදුනු විප්ලවයට එක්වුණු බලාපොරොත්තු සුන්වූ ජනතාව දේදුන්නෙන් ඈත් වෙමින් ඉන්න ප‍්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. එය සුබ දායකද?

 

පිළිතුර -  ඒකට හේතුව ලබා ගත් ජයග‍්‍රහණ ගැන ජනතාවට කියන්නේ නැහැ. ඔවුන්ට අවබෝධ කරවන්නේ නැහැ. ඒ ලබා ගත් ජයග‍්‍රහණ මැණික් තරම් වටිනවා. ජනාධිපතිට තිබුණු අත්තනෝමතික ඒකාධිපති බලය ව්‍යවස්ථා වෙනසෙන් සංශෝධනය කළා. එය වටින්නේ නැද්ද ? එය ජනතා පෙරලියක් නොවේද?. තවම අවුරුද්දයි එකහමාරයි ආණ්ඩුව ඇවිල්ලා. ආණ්ඩුව මේවා ජනතාවට කියන්නේ නැහැ. එතකොට සෝෂල් මීඩියා වලින් එන පණිවුඩ තමයි ජනතාවට දෙන්නේ. ආණ්ඩුව වැටෙයි,  රට බෙදනවා, දැන් සතුටුද ආදි ලෙස ජනතාවට බොරු මවා පානවා. මොන ක‍්‍රමයකින් හෝ ආණ්ඩුව බිදවැට්ටීම තමයි සතුරන්ගේ බලාපොරොත්තුව. විරුද්ධ වාදියෝ ආණ්ඩුවට වඩා මුලම්‍ය අතින් ප‍්‍රබලයි. එම නිසා ඔවුන් ආණ්ඩුව අස්ථාවර කරන්න එම මුල්‍ය බලය යොදනවා. නමුත් දැන් මිනිස්සු ඒවට රැවටෙන්නේ නැහැ. ඔක්කොම හරියි කියල මම කියන්නේ නැහැ. තව අඩුපාඩු තිබෙනවා ඒවා හදාගෙන අපිට ඉදිරියට යන්න වෙනවා. බලන්න කොතරම් දුෂණයෙන්, නාස්තියෙන්, හොර කමින් ජරාජීර්ණවූ රටක්නේ භාර ගත්තේ. ඒක හරි මගට ගේන්න එක රැයකින් බැහැ. ඒකට කල්ගත වෙනවා. ඒ ගමන දැන් ආරම්භ කරල තියෙනවා. කෝ දැන් විදුලි පුටු, ජාත්‍යයන්තර අධිකරණ, විදේශ නඩුකාරයෝ, මොනවත් නැහැ. ඉස්සර මහ හයියෙන්  ඕවා ගැන බෙරිහන් දුන්නා. අද ඔක්කොම නිහඬයි. ආණ්ඩුව ඒවා හොඳට කළමනාකරණය කරලා තියෙනවා. එහෙම වෙන කොට අභියෝග එනවා. අපි ඒවා ජය ගත යුතුයි. එබැවින් දේදුනු විප්ලවයට එකතු වුනු ජනතාව තවම ඉන්නවා. ඔවුන් නිහඬ නැහැ. අපි ඔවුන්වත් රැක ගෙන හොඳ ගමනක් යා යුතුයි. ඒ ගමන අපි යනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ.

 

ප‍්‍රශ්නය -   අපි දශක හතරක පමණ සිට සංහිඳියාව ගැන කථා කරනවා. ඒ අතර තුර යුද්ධයක් ඇතිවෙලා දැන් අවසන්වී තිබෙනවා. තවමත් සංහිඳියාව ගැන කථා කරනවා. ඔය සංහිඳියාව තවම ඇති වෙලා නැද්ද ? නොඑසේ නම්  ඇති වෙලා ක‍්‍රියාවේ නැද්ද? එසේත් නැත්නම් අද සංහිඳියාවේ තත්වය කුමක්ද?

පිළිතුර -    සිංහල දෙමළ අපි දේශපාලන වේදිකා වල සුරංගනා කතා කියලා සංහිඳියාව කියන එක හදන්න බැහැ. සංහිඳියාව කියන්නේ චාටු බස් වලින් හදන්න පුළුවන් දෙයක් නොවේ. ඒ සඳහා නීති රීති හදන්න  ඕනේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටක නීතියයි. එබැවින් සංහිඳියාවට අදාල කරුණු කාරණා එම නීති පද්ධතියට ඇතුළත් කරන්න  ඕනේ. වාර්ගික පදනමෙන් තොරව රැකියාවක් ලබා ගැනීම, නිවසක් ලබා ගැනීම,  ඕනෑම කෙනෙකුට  ඕනෑම ආගමක් ඇදැහීමට නිදහස තියෙන්න  ඕනේ. ඒවාට ගරු කරන්න  ඕනේ. එම නිසා වෛරයෙන් ජාතික සමගිය බිඳ දැමීමට පෙරමුණ ගන්නා සංවිධාන හා පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්න  ඕනේ. එම සංවිධාන තහනම් කරන්න  ඕනේ. අන්තවාදීන්ට එම පසුබිම ඇති කරන දේවල් ඉවත් කරන්න  ඕනේ. එහෙම වුනොත්  ඕනෑම ජාතියක අන්තවාදීන්ට ජාතික අසමගිය ඇති කිරීමට ඉඩ ප‍්‍රස්ථාව නැතුව යනවා. ඒකට දැන් අනර්ඝතම අවස්ථාවක් ලැබිල තිබෙනවා. අපි එයින් ප‍්‍රයෝජන ගන්න කටයුතු කළයුතු වෙනවා.

ප්‍රශ්නය -   පසුගියදා ආබාධිත රණවිරුවන්ට කොළඹදී සිදුවූ  ප‍්‍රහාරය හෙලා දකිමින් පැරීසියේදි උද්ඝෝෂණයක් පැවැත්වුණා. එහි තිබුනු සටන් පාඨ අතර මෙවැනි වදනක් ප‍්‍රදර්ශනය වුණා. ”දඹර අමිලට සහාය දෙන්නෝ රණවිරුවන් පාවා දෙන්නෝ ” යනුවෙන් සඳහන්වී තිබුණා. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුර -      රණවිරුවන්ව විකුණ ගෙන කන එක හැර වෙන කිසිම ව්‍යාපෘතියක් නැති අනාථ වුණු පිරිසකගේ සටන් පාඨයක් තමයි ඔබ සඳහන් කළේ. වෙල්ලමුල්ලිවෛයිකාලෙන් රණවිරුවන්ගේ කාර්ය භාරය අවසන් කළා. රණවිරුවෝ රණවිරුවෝ කියමින් නීති උල්ළංඝනය කරන්න, රණවිරු නාමය පාවිච්චි කරමින් කොන්ත‍්‍රාත් එකට මිනීමරන එක හරිද?. ඒවා හොයන එක වැරදිද?. එයාලට එක නීතියක් තව කෙනෙකුට තව නීතියක් තියෙන්න බැහැනේ. එම නිසා රණවිරුවා කියන්නේ කවුද? කියලා අපි මුලින්ම අවබෝධ කර ගත යුතුයි. ඒ වේලාවේ ශ්‍රීලංකාවට එල්ල වුණු ත‍්‍රස්තවාදි උවදුරෙන් රට බේරා ගන්න රාජ්‍යයේ හා මහජනයාගේ ඉල්ලීම මත එයට ඉදිරිපත්වී එම කැරැල්ල මැඩපැවැත්වීමට යුදමය වශයෙන් සහාය දුන් පුද්ගලයා රණවිරුවා ලෙස අපි සලකනවා. එයට මුහුණ දුන් සමහරුන් අබාධිතයෝ වෙලා ඉන්නවා. ඒක ඇත්ත. නමුත් ඒ අයට සළසන සුබ සාධනය අන් කවරදාටත් වඩා හොඳින් අද ඔවුන්ට ලබා දෙනවා. පසුගියදා උපවාසයට සම්බන්ධ විශ‍්‍රාමික ආබාධිතයන් 2009 යුද්ධයෙන් පසු බිහිවූ අය. 2015 වෙන කම් මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති ලෙස සිටියා. ඔහු රණවිරුවගේ එකම ගැලවුම්කරු ලෙස පෙනී හිටියා. ඇයි එහෙනම් එම ප‍්‍රශ්නය ඔහු විසඳුවේ නැත්තේ. වර්තමාන ජනාධිපති එක පෑන් පහරින් එම ප‍්‍රශ්න විසඳලයි තිබුනේ. එවැනි පරිසරයකයි ඔවුන් ඇවිත් උද්ඝෝෂණ කළේ. ඊට පස්සේ එතැන මොකද වුණේ ? අර ඊනියා ජාතිවාදි කොටස් එම උද්ඝෝෂණය මංකොල්ල කෑවා. බෙංගමුවේ නාලක හාමුදුරුවෝ ආබාධිතයෙක්ද? නැහැනේ. එම හාමුදුරුවොයි ඒ වටා ඉන්න සිවුරු දරා ගත් ජාතිවාදි කල්ලිය ඇවිත් මහ කෝලහාලයක් ඇති කරලා කඳුළු ගෑස් ගස්සවා ගත්තා. ඊට පස්සේ මහා ඝෝෂාවක් නගමින් ඔබ ඉහත සඳහන් කළ පරිසරයට මාතෘකාවක් හදා ගත්තා. ඒකනේ වූනේ. දැන් අපි වුනත් පොදු ජන ජීවිතයට බාධා වන ලෙස හෝ පොදු දේපල වලට හානි වෙන ලෙස හැසිරුනොත් එය විසුරු වන්න නීතිය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට ප‍්‍රථමයෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා. එහෙම නැත්නම් අවම බලය යොදලා අධි පීඩක ජලය විදිනවා. ඊට පසු කඳුළු ගෑස් ගහනවා. එහෙම නැත්නම් රබර් බුලට් වලින් වෙඩි තියනවා. ඒක තමයි මර්දනය කරන ක‍්‍රමවේදය. එදා වුනේ එහෙම දෙයක්. ඒයාල ඒක ඉල්ලගෙන කෑවා. සිංහල දෙමළ සමගියට සිටි එකම බාධකය තමයි කොටි ත‍්‍රස්තවාදය. එය අපි හොඳින් තේරුම් අරගෙනයි හිටියේ. එම නිසා කොටින්ට විරුද්ධව මම බඩගින්නේ උපවාස කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස පෙනහැල්ලේ ආබාධයකට මම අදටත් බෙහෙත් බොනවා. එතකොට කවුද කියන්නේ මම කොටි හිතවාදියෙක් කියලා. දන්නෝ මා ගැන හොඳට දන්නවා. එම නිසා ඊනියා රණවිරුවෝ කවුද කියලත් මම දන්නවා. රණවිරු මුවාවෙන් වැඩ කරන්නේ කවුද කියන එකත් මම දන්නවා. රණවිරුවා විකුණා ගෙන කන්නේ කවුද කියලත් මම දන්නවා. ඔය තුන් ගොල්ලම මම හොඳට දන්නවා. එම නිසා එම තුන් ගොල්ලටම මම පහර ගහනවා. මගේ විවේචනයට හසු වෙනවා පමණක් නොවේ එසේ කිරීමටත් මම කිසි විටෙකත් බියත් නැහැ. ඒ කටයුත්ත මම ඉදිරියටත් කර ගෙන යනවා.

01 dambara-amila-02 dambara-amila-03 dambara-amila-04