තලේබාන් සටන්කාමීයකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පාකිස්තාන දැරිය, මලාලා යූසොෆ්සායි වැඩිදුර ප‍්‍රතිකාර සඳහා විශේෂ ගුවන් යානයකින් ඊයේ (16) බි‍්‍රතාන්‍යයට රැගෙන එනු ලැබුවාය. සිහිසුන්ව දිවිසුරැකුම් යන්ත‍්‍රයකට සම්බන්ධ කර සිටින මලාලා රැගෙන ආවේ බි‍්‍රතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ බර්මින්හැම්ෂයර්හි එලිසබත් රැජින රෝහලටය. ඉතා බරපතළ ලෙස තුවාල ලබන රෝගීන්ට අවශ්‍ය විශේෂ ප‍්‍රතිකර්ම ලබා දෙන්නේ මෙම රෝහලේදීය. ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැලී බරපතළ තුවාල ලබන බි‍්‍රතාන්‍ය සොල්දාදුවන් ඇතුළත් කරන්නේ ද මෙම රෝහලටය. 14 හැවිරිදි මලාලා පාකිස්තානයේ සිට බි‍්‍රතාන්‍ය බලා රැගෙන එනු ලැබුවේ විශේෂ ගුවන් යානයකිනි. එය පියාසර කරන රෝහලක් බඳු ගුවන් යානයක් යැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. මලාලා බි‍්‍රතාන්‍යය බලා රැගෙන ගියේ ඇයට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගැනීමට බි‍්‍රතාන්‍ය රජයත් එරට වෛද්‍යවරුනුත් කැමැත්ත පළ කිරීමත් සමඟය. ”මලාලාට සුවය ලැබීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසයි පාකිස්තාන වෛද්‍යවරුන් සමඟ කතාබහ කර ඇය අප රෝහලට ගෙන්වා ගැනීමට කටයුතු කළේ. වැදුණු වෙඩි උණ්ඩයෙන් ඇගේ හිස් කබල සිදුරු වෙලා. ඇයට තවත් සැත්කම් කිහිපයක් සිදු කළ යුතුයි. ඇය විශේෂඥ ස්නායු වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතුයි.” යැයි එලිසබත් රැජින රෝහල් අධ්‍යක්ෂ ඬේවිඞ් රොස් මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය. රෝහලට රැගෙන ආ මලාලාට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ද බි‍්‍රතාන්‍ය රජය කටයුතු කර ඇති බව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසයි. ඊට හේතුව වී ඇත්තේ මලාලාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුවහොත් ඇය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම පහර දෙන බවට එම අවස්ථාවේදී තරීක් ඊ තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇති හෙයිනි. මලාලාට අමතරව ළමා අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් තලේබාන්වරුන්ට එරෙහිව හඬ නගන මලාලාගේ පියාත් මවත් සොයුරන් දෙදෙනාත් සරණාගතයන් ලෙස බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගැනීම සඳහා වීසා නිකුත් කිරීමට බි‍්‍රතාන්‍ය රජය මේ වන විට තීරණය කර ඇත. තලේබාන් සටන්කාමියාගේ වෙඩි ප‍්‍රහාරයෙන් මලාලා තුවාල ලැබුවේ පසුගිය 9 වැනිදාය. සටන්කාමියා එල්ල කළ එක් වෙඩි උණ්ඩයකින් ඇගේ හිසත් අනෙකෙන් ඇගේ බෙල්ලත් තුවාල විය. පාකිස්තාන ආරක්ෂක අංශ වහා කි‍්‍රයාත්මක වී, මලලා කඩිනමින් පෙෂවෝර් නුවර හමුදා රෝහලට රැුගෙන ගිය අතර ඇයට ප‍්‍රතිකාර කිරීමේ දී බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු දෙදෙනෙක් ද පාකිස්තාන ශල්‍ය වෛද්‍යවරුන්ට උපදෙස් දී ඇත. මලාලා පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ මින්ගෝරා නමැති නගරයේ පදිංචිකාරියකි. ඇය පාකිස්තානයේ තලේබාන් සටන්කාමීන්ගේ ෂරියා නීතියට විරෝධය පළ කරමින්, ස්වාත් මිටියාවතේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස වෙනුවෙන් හඬ නැගූ මානව කි‍්‍රයාකාරිනියකි. වයස අවුරුදු 11 දී ඇය අන්තර් ජාලය හරහා බී.බී.සී. උර්දු සේවය ඔස්සේ බ්ලොග් සටහනක් ආරම්භ කරමින් තලේබාන් සටන්කාමීන්ගේ කුරිරුකම් නිසා ඇගේ සහ ස්වාත් නිම්නයේ වැසියන්ගේ ජීවිතවලට බලපෑම් සිදුවූ අයුරු ලොවට හෙළි කළාය. මලාලා වෙඩි ප‍්‍රහාරයට ලක් වූයේ පාසල් බස්රියට ගොඩ වී අසුන් ගෙන නිවෙස් බලා යෑමට සූදානමින් සිටිද්දීය. වෙඩි තැබූ විගස තුවක්කුකරු පලා ගිය අතර පාකිස්තාන රජය නිවේදනයක් කර ඇත්තේ ඔහු ගැන තොරතුරක් දෙන අයකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනමන බවය. ප‍්‍රහාරයේ වගකීම පාකිස්තානයේ ‘තරීක් ඊ තලේබාන්’ තලේබාන් සටන්කාමීන් විසින් බාර ගනු ලැබුවේ වෙඩි තැබීමෙන් පැය කිහිපයක් ගත වීමටත් පෙරය. මින්ගෝරා පොලිසිය වහා කි‍්‍රයාත්මක වී වෙඩි තැබීම ගැන පරීක්ෂණ ආරම්භ කළ අතර මේ වනවිට 200 දෙනකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන බව වාර්තා වේ. ඒ අතර මලාලාගේ පාසලේ මුරකරු සහ පාසල් බස්රියේ රියැදුරු ද සිටිති. මලාලා රැගෙන ආ විශේෂ ගුවන් යානය බර්මින්හැම් ගුවන්තොටට පැමිණි අවස්ථාවඑලිසබත් රැජින රෝහල