මාලදිවයිනේ පෙරේදා (19) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය, අවලංගු කිරීමට මැතිවරණ කොමිසම පියවර ගැනීමත් සමඟ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම වන හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ගේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ’ කි‍්‍රයාකාරීහු පිරිසක් ඊයේ (20) මාලේ අගනුවර සාමකාමී විරෝධතා රැලියක් පැවැත්වූහ.

ජනපතිවරණය පැවැත්වීම අවලංගු කිරීමට මැතිවරණ කොමිසමට සිදුවුණේ, පොලිසියෙන් බාධා එල්ල වීම නිසාය.

පොලිසිය කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුකූල නොවන ආකාරයට මැතිවරණය පැවැත්වීමට උත්සහ කළ නිසා එය වැළැක්වීමට තමන් පියවර ගත් බවය.

විරෝධතාකරුවන් වත්මන් මාලදිවයින ජනපති වහීඞ් හසන් ඇතුළු රජයෙන් ඉල්ලීමක් කළේ කිසිදු බාධාවකින් තොරව, ජනපතිවරණය කඩිනමින් පැවැත්වීමට මැදිහත් වී කටයුතු කරන ලෙසටය.

පසුගිය සැප්තැම්බර් 7 වැනිදා මාලදිවයිනේ ජනපතිවරණයක් පැවැත්විණි. එහිදී සියයට 45 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගනිමින් ඉදිරියට ආවේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ය. කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව, එම ජනපතිවරණය අවලංගු කෙරුණි.


 

සාමකාමී ලෙස පැවැත්වුණු විරෝධතාවට එක් වුණු හිටපු ජනපති නෂීඞ්ගේ පක්ෂ සාමාජිකාවක්