ඉරාන පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඊයේ (2) සිරියාවේ ඩැමස්කස් අගනුවරට පැමිණ සිරියානු ජනපති බෂීර් අල් අසාද් ප‍්‍රමුඛ එරට ආරක්ෂක අංශ ප‍්‍රධානීන් හමුවූහ.
එම හමුවේදී සාකච්ඡා කෙරුණේ, සිරියා රජයට එරෙහිව ඇමෙරිකාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත්, ඊට මුහුණ දිය යුත්තේ කෙසේද යන්නය.
ඉරාන පාර්ලිමේන්තු නියෝජිත පිරිසට නායකත්වය දුන්නේ ජාතික ආරක්ෂක සහ විදේශ ප‍්‍රතිපත්ති කමිටුවේ සභාපති අලෙදීන් බොරෝජෙර්ඞීය. නියෝජිත පිරිස සිරියානු අගමැති වහීල් අල් හල්කී හමු වූ බව ද වාර්තා වේ.
සිරියානු රජය අවධාරණය කර ඇත්තේ ඇමෙරිකාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත්, ඊට මුහුණ දීමට තමන්ට ශක්තියක් ඇති බවය. සිරියාවට රුසියාවේත් ඉරානයේත් හමුදා සහාය හිමිවීම ඊට හේතුවයි.
ඉරානය සිරියාවට සහාය දෙන්නේ, සිරියාව අස්ථාවර වුවහොත් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශය යන බටහිර රටවල මීළඟ ඉලක්කය ඉරානය සහ ලෙබනනය වනු ඇති හෙයිනි.
ඉරානය පවසා ඇත්තේ සිරියානු රජයට බොරු චෝදනා කරමින් ඇමෙරිකාව සිරියාවට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගන්නේ නම් තමන් ඒ ගැන නිහඬව නොසිටින බවය.
සිරියාවට එරෙහිව ඇමෙරිකාව සිදු කරන හමුදා ප‍්‍රහාරයකදී ඊශ‍්‍රායලය ඇමෙරිකාවට සහාය දෙන්නේ, අවස්ථාවක් ලැබුණොත් තම පරම සතුරා වන ඉරානය සමඟ ‘ගැටුමක් ඇති කර ගැනීමට’ අවස්ථාවක් සොයමිනි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව පවසමින්, ඊශ‍්‍රායලය අවස්ථා කිහිපයකදීම ඇමෙරිකාවට කියා සිටියේ ඉරානයට හමුදා ප‍්‍රහාරයක් එල්ල කළ යුතු බවය.
ඒ අනුව, සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීම හරහා ඉරානයට ද පහර දීමක් කිරීමට මඟ සකස් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති.
ඉරාන රජය පෙන්වා දෙන්නේ, සිරියාවේ ඩැමස්කස් නුවරට නුදුරින් සෙරීන් විස වායු යොදා ගෙන පහර දීමක් සිදුවූයේ නම්, ඊට සිරියානු රජයේ සම්බන්ධයක් නොමැති බවත් එය කරන්න ඇත්තේ කැරැුලිකාර පාර්ශ්වයට සහාය දෙන ‘තක්ෆීරි’ නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානය බවත්ය.
මේ වනවිට ඉරාකයේ සුන්නි මුස්ලිම් අල් කයිඩා සටන්කාමීන් සහ පාකිස්තානයේ තලේබාන් සංවිධානයට හිතවත්කම් පවත්වන සටන්කාමීහු සිරියා කැරැලිකරුවන්ගේ සහායට සිරියාවට පැමිණ සිටිති. සිරියා රජයේ සහායට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීහු පැමිණ සිටිති. එය ඇමෙරිකාවේ උදහසට ලක් විය. හිස්බුල්ලා සංවිධානය තහනම් කිරීමට ද එය මඟ පෑදුණි.
ජනපති අසාද්ගේ රජයට රුසියාව සහාය දෙන්නේ රුසියාවෙන් අවි ආයුද මිලදී ගන්නා අංක එකේ ගැනුම්කරු සිරියාව වීම පමණක්ම නොවේ. සිරියානු රජය සමඟ රුසියාව මිතුදම් පැවැත්වීම හරහා මැද පෙරදිග කලාපයේ බල කඳවුරක් පවත්වාගෙන යෑමට රුසියාවට අවස්ථාවක් ලැබෙන නිසාය.
සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ දී ඇමෙරිකාවට අභියෝගයක් වූ රුසියාව, සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු, ලෝක බලවතකුගේ තත්ත්වයෙන් පහළට වැටී ඇත.
රුසියානු රජය අවස්ථා ගණනාවකදී කියා සිටියේ සිරියාවේ ජනතාව පීඩාවට පත් කරන ආකාරයේ පාලනයක් සිදුවන්නේ නම් තම රජය ඊට විරෝධය පළ කරන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේවා තමයි ඉස්ලාමයේ සඳහන් වන ශුද්‍ධවූ ජිහාඩ් යුද්ධ.ඔය යුධ මානසිකත්වය, එකිනෙකා මරා ගැනීම, අන් ජාතීන්ගේ රටවල් බලෙන් අල්ලා ගැනීම ඔලුවට දාලා තියෙන්නේ ආගමෙන්ම තමයි.(ස)
තුන්වන ලෝක යුද්ධය පටන්ගන්නද යන්නේ? සමහරවිට ගොරවල විතරක් නිකම් ඉදී නේද වහින්නේ නැතුව? එහෙම වේවා. නැත්නම් ඒ වැස්සට අපටත් තෙමෙන්න වෙනවා. (ස)
එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වහනවා කියන්නේ නිකමටද? (ස)