ඉන්දියාව හා චීනය වැනි ආසියාතික රටවල සිසුන් හමුවේ ඇමරිකාවේ සිසුන් දෙවැනි තැනට වැටෙන තත්ත්වයක් උදා වී ඇතැයි ඇමරිකා ජනපති බැරක් ඔබාමා බෘක්ලින්හි උසස් පාසැලක පැවති හමුවකදී පැවසීය.

විශේෂයෙන් තාක්ෂණය හා ගණිතය යන ක්ෂේත‍්‍ර වල රැකියා හා පර්යේෂණ කටයුතු සැළැකීමේදී ඇමරිකා සිසුන්ගේ දායකත්වය සැළකිය යුතු මට්ටමකින් අඩුව තිබෙන්නේ යැයිද ඒ අඩුව දැන් පුරවන්නේ ආසියාකරයෙන් පැමිණෙන සිසුන් යැයිද ඔහු කීවේය.

මෙම තත්තවය දිගින් දිගටම පැවතුනහොත් ඇමරිකාවේ සිසුන්ට රැකියා සෙයාගැනීම අභියෝගයක් වනු ඇතැයි ඔහු මත පළ කළේය.

පෙර නොතිබූ තරගකාරී වාතාවරණයක් දැන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඇතිව තිබෙන්නේ යැයි කියූ ජනපති ඔබාමා පෙර ඇමරිකාවේ හා යුරෝපයේ රටවලට සීමා වී තිබූ රැකියා වෙළදපොල දැන් මුළු ලොවටම විවෘත වී තිබෙන්නේයැයිද දැන් ව්‍යවසායකයන් තැන දෙන්නේ රටට නොව දක්ෂතාවයට යැයිද සදහන් කළේය.

ඇමරිකාවේ ඉහළ ගොස් ඇති අධ්‍යාපන වියදම් පිළිබදවත් සදහන් කළ ඔහු උපරිම ආකාරයෙන් වියදම් කපා හැරීමට කැප වී කි‍්‍රයාකරන බව පැවසුවේය.අයවැයෙන් අනවශ්‍ය ක්ෂේත‍්‍ර වලට යන වියදම් කපා හැර වැඩි සැළකිල්ලක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට යොමුකරන බව ඔහු සහතික කළේය.

රැස්ව සිටි සිසුන්ට තම අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් සිදුකරන ලෙස උපදෙස් දුන් ඇමරිකා ජනපතිවරයා ඇමරිකාව පෙර තිබූ සෞභාග්‍යමත් තලයට ගෙන යෑමේ වගකීම ඇත්තේ ඔවුනට යැයි මතක් කර දුන්නේය.