උතුරුදිග ජනපද හිමෙන් වැසීයයි 

       ගුවන් ගමන් නවතී: ලක්ෂ 7 කට විදුලිය නෑ   

 

පැයට කිලෝ මීටර් 134 ක වේගයකින් ඇමෙරිකාවේ උතුරු දිග ජනපද හරහා හමාගිය ප‍්‍රචණ්ඩ හිම කුණාටුව හේතුවෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ලක්ෂ 7 කට වැඩි පිරිසකට විදුලි බලය අහිමි විය.
ඇමෙරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෑත ඉතිහාසයේ ඇමෙරිකාවේ උතුරුදිග ප‍්‍රාන්තවලට බලපෑම් කළ දරුණුතම හිම කුණාටුව එය බවය.
හිම කුණාටුව ඇමෙරිකාව දෙසට ඇදී ආවේ ඉකුත් සිකුරාදා (8) රාති‍්‍රයේය. කාලගුණ විද්‍යා බලධාරීන් කළ අනතුරු ඇඟවීම් සමඟ ජනපද රැසක ගුවන් තොටුපොළ වසා දැමුණි. ඒ අනුව ගුවන් ගමන් 2,200 කට වැඩි ප‍්‍රමාණයක් නවතා දැමීමට සිදුවූයේ යැයි ඇමෙරිකානු ගුවන් ගමන් පාලන අධිකාරිය නිවේදනය කළේය.
අධික හිම පතනය හේතුවෙන් කොනෙනිකට්, රෝඞ්ස් දුපත, මැසචුසෙට් පැයක් ඇතුළතදී අඩි 3 ක් හිමෙන් යට වී ගියේ යැයි ඇමෙරිකානු පුවත් සේවා පවසයි.
ඊයේ (10) වන විට සුළි කුණාටුවේ බලපෑම අඩු වී ගියත් කාර්යාලය, පාසල්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථාන සියල්ල වසා දමා තිබුණි.
හිම තට්ටු ඉවත් කිරීමේ කටයුතු සහ විදුලි බලය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණි. 

හිම තට්ටු අතර හිරවූ මෝටර් රථ එළියට ගනිමින්....