​ලෝකයේ කොතරම් ජනී ජනයා වෙසෙතත් ඒ සැම ධනවතුන් යැයි කිව නොහැකි වනුයේ ඒ අතර දුප්පතුන් ද වෙසෙන බැවිණි.   


ධනයෙන් උතුම්ම ධනය ආරෝග්‍යය යැයි බුද්ධ වචනය තුළින් ද සනාථ වෙයි. නමුත් ආරෝග්‍යය නමැති ධනය ද සෑම අයකුටම අයිති නොවේ.  


ඇවතුම් පැවතුම්, ආහාර, විහරණ ආදී මනුෂ්‍යයාගේ ආරෝග්‍යය කෙරෙහි එක එල්ලේ බලපාන කාරණා මධ්‍යයේ මනුෂ්‍ය ශරීරයේ වා, පිත්, සෙම් යන තිදොස ඇසුරු කර වැලඳෙන අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධීන් සමනය කර, ආරෝග්‍යය නම් ධනය මිනිසා වෙත කැන්දන වෛද්‍යකර්මයකි, හෙළ වෙදකම. අවාසනාවකට බුද්ධදාස රජ සමයේ සිටම මහ පොළොව මත වෙසෙන ජනී ජනයා වෙත ආරෝග්‍යය නම් ධනය කැඳ වූ මේ වටිනා වෛද්‍යකර්මය දෙස අද බොහෝ දෙනා බලන්නේ සැකයෙනි. එහි වටිනාකමට නිසි අගයක් නොදෙන වාතාවරණයක් අප වටා ඇත.   


මෙම සටහන කියවා නිමවන තුරු හෙළ වෙදකම පිළිබඳ ඔබේ සැකය මත එයට ලැබිය යුතු නිසි තැන ලබා දීමට මොහොතක් පමා වෙන්න. හෙළ වෙදකමින් කළ හැකි විස්කම් ප්‍රතිකාර රැසක් පිළිබඳව නවගමු වෙද පරම්පරාවේ නමගිය පුරුකක් වූ චාන්දනී වික්‍රමාරච්චි වෙද හාමිනේට මෙතැන් සිට ඇහුම්කන් දෙමු.  


“සිංහල වෙදකම කියන්නේ අපේ රටටම අනන්‍ය වූ වෛද්‍යකර්මයක් මිස ආයුර්වේදයෙන් බිඳී ආ වෙදකමක් නෙවෙයි. ආයුර්වේදය කියන්නේ, අසල්වැසි ඉන්දියාවේ ඍෂිවරුන් විසින් මනුෂ්‍ය වර්ගයාගේ ආරෝග්‍යය වෙනුවෙන් සොබාදහම මුසුකර භාවිතයට ගත් වෛද්‍යකර්මයක්.   


ආයුර්වේදය අපේ රටට පැමිණෙන්නටත් පළමුව අපේ රටේ අපේම මුතුන් මිත්තන් පාරම්පරිකව පවත්වා ගෙන ආ සාර්ථක වෛද්‍ය ක්‍රමයක් අප සතුව පැවතියා. ඒ තමයි සිංහල වෙදකම. නමුත් සිංහල වෙදකම හා ආයුර්වේද වෙදකම එකක් ලෙස සිතෙන්නට එක් හේතුවක් බලපා තිබෙනවා. ඒ තමයි ස්වභාවධර්මයා සතු සම්පත්. එනම්, ගස්වල මුල්, මල්, ගෙඩි, පොතු, කොළ යනාදිය ඖෂධ පංතිවලට යොද‌ා ගැනීම.  


මේ කිසි දෙයකට රසායනික ද්‍රව්‍ය එක්කිරීමක් නැහැ. රස බෙහෙත් වර්ග අපි වෙනම නිර්මාණය කරනවා හෙළ ඔසුම යොදා ගනිමින්. රසායනයන් ලෙස අපි ඒ ඖෂධ හඳුන්වනවා.  


ඇත්තම කතා කළොත් හෙළ වෙදකම ඕනෑම රෝගයක් සුවපත් කළ හැකි අන්දමේ ඖෂධ සංයෝගවලින් පරිපූර්ණ වෛද්‍යක්‍රමයක්. මේ වනවිට මිනිසා ගත කරන්නේ ඈත අතීතයේ නොදියුණු යුගයේ ජනයා ගෙවූ ජීවිත නෙවෙයි. පැහැදිලිවම ඒ ජීවන රටාව අද ජීවන රටාවට වඩා වෙනස්ය. එදා සකස් කළ ආහාර වර්ග කල් තබා ගැනීමේ ක්‍රමවේදය අනුව වෙනස් කළ ආහාර පාන ආදිය අද මිනිස් ජීවන රටාවෙන් හරි ඈතයි.  


එදා තමන්ගේ පරිභෝජනය සඳහා තමන්ගේම වටපිටාවෙන් සොයා ගත් එළවළු, පලා, වෙල් මාළු, පලතුරු, කිරි මෙන්ම ධාන්‍ය වර්ග, පාන වර්ග ලෙස බෙලිමල්, රණවරා ආදිය තමයි යොද‌ා ගත්තේ. භවභෝග ආදිය වගා කිරීමේදී ඇතිවන රෝගාබාධවලට යොදා ගන්නේ කොහොඹ ආශ්‍රිතව සාදාගත් කෘමිනාශක සහ වල්නාශක. ඔවුන් වැව්, ගංගා, කුඹුක් ළිං ආශ්‍රිතව ස්නානය කළා. ගොඩපර, දෙහි, උළු හාල් නානු යනාදිය හිස පිරිසිදු කරන්න යොදා ගත්තා. සඳුන්, කොකුම් යුෂ යනාදිය මිස රසායනික ආලේපන කිසිවක් භාවිත කළේ නැහැ. සරල ජීවන රටාව තුළ හැම කෙනෙක්ම කය වෙහෙසා වැඩපළ කළා. මේ නිසා ඔවුන් රෝගී වුණේ අඩුවෙන්.  

 

 

බරපතළ රෝගාබාධ ගැන අහන්න ලැබුණෙත් කලාතුරකින්. අද දියවැඩියාව ලෙස අපි හඳුන්වන මධුමේහය ඒ කාලේ ඉතා දුර්ලභයි. අම්ලපිත්තය (ග්‍රැස්ට්‍රයිටීස්), අස්ථි පර්වදාහය (ආතරයිටිස්) ආදියත් ඒ වගේ.  


දියවැඩියා රෝගය නිට්ටාවට සුව කළ නොහැකි යැයි අනෙකුත් වෙදකම්වලින් පැවසෙනවා. එය පාලනය කරන්නට ඔවුන් පෙතිවලින් කරන ක්‍රියාව ඊට පිළියමක් නෙවෙයි. දියවැඩියාව ඇතිවෙන්නේ ඇළදිවේ නැතිනම් අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය අඩාළ වී ඉන්සියුලින් හෝර්මෝනය ශ්‍රාවය නොවුණාම.  


අපි කරන්නේ අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය නැවත පණගන්වා ස්වභාවික ඉන්සියුලින් හෝර්මෝනය ශ්‍රාවය කිරීමේ පරිසරය ශරීරය තුළ ඇති කිරීම. එවිට දියවැඩියාව රෝගය සම්පූර්ණයෙන් නවතිනවා.  


ඒත් මෙන්න මේ කාරණය මතක තබාගත යුතුයි. මහන මැෂිමක් දිගු කලක් නොමසා, තෙල් නොදමා මළ බැඳෙන්නට ඉඩ හැරියහොත් එයින් මහන්න බෑ. නමුත් තෙල් දා‌ාලා, මළකඩ සුද්ධ කරලා නැවත ක්‍රියා කරවන්න පටන් ගත්තොත් පෙර පරිදිම එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. ඒත් නැවත කාලාන්තරයක් එය නොසලකා තැබුවොත් නැවත ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්.   


දියවැඩියාව සුවකළ රෝගියාත් නැවත වතාවක් පාලනයක් නොමැතිව ආහාර ගැනීම අධික පැණි රස භාවිතය මෙන්ම කය නොවෙහෙසා අපථ්‍ය ආහාර රටාවක් හා ජීවන රටාවක් පවත්වා ගතහොත් අලුතින් නැවත මධුමේහයට ගොදුරු විය හැකියි.  


අපි රෝගය සුව කරන්න ඖෂධ යොදාන්නේ බටහිර ඖෂධ හෝ සිංහල ඖෂධ කිසිවක් පාවිච්චි නොකර එකම රුධිර සීනි මට්ටමක් පවත්වාගත හැකි පරිද්දෙනුයි. එය අපි වගකීමෙන් සුවපත් කරනවා. එයින් ඉදිරියට නැවත රෝගයට අත වනන්නට පිඹුරුපත් සකසන ජීවන රටාවට යොමු නොවී සිටීම රෝගියාගේ වගකීමක්.  


අද පිළිකා රෝග ඉතා බහුල වීමට තිබෙන ආසන්නතම හේතුව තමයි මිනිසා සුවපත් ජීවන රටාවෙන් මිදී රසායනික ද්‍රව්‍ය හා විකිරණශීලි පරිසර හා කෘත්‍රීම ආකාරයේ දේවල් එක්ක අනවශ්‍ය තරම් කුලුපග වීම. විද්‍යාව දියුණුවීම ගැන අපි සතුටු වුණාට ඔය කියන දියුණුව එක්ක මිනිසාගේ පැවැත්මට තර්ජනාත්මක අයුරින් බලපාන රෝග සුලබ වුණා.  


මම පිළිකා රෝග පවා හෙළ වෙදකමෙන් සම්පූර්ණයෙන් සුවකර තිබෙනවා. විශේෂයෙන් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා, ගැබ්ගෙල පිළිකා, පියයුරු පිළිකා ආදී පිළිකා විශේෂයි. මේ හැරෙන්නට හෘද රෝගීන්, විශේෂයෙන් බයිපාස් රෝගීන්, කොලෙස්ටරෝල් අධිකතාවයෙන් පෙළෙන රෝගීන්, ගෑස්ට්‍රයිටීස් රෝගයෙන් බඩේ තුවාල ඇති වූ රෝගීන්, ෆැටී ලිවර් යනුවෙන් හඳුන්වන අක්මාවේ තෙල් තැන්පතු ඇති වී ශල්‍යකර්මවලට නිර්දේශ වූ රෝගීන් මා පූර්ණ ලෙස මාස තුනක ප්‍රතිකාර ක්‍රමයකින් අනතුරුව සුව කරනවා.   


අපේ සිංහල වෙදකමට අදාළ ඖෂධ කිසිවක් සකස් කළ ඖෂධ ලෙස අලෙවිසල්වලින් ලබා දීමට මා කටයුතු කරන්නේ නැහැ.   


අදාළ ඖෂධ සියල්ලම මා විසින්ම නිපදවනු ලබනවා. එහිදී තිබෙන ලොකුම ගැටලුව තමයි සිංහල වෙදකමට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සපයා ගැනීම. මේවා දැන් අප රටේ තිබෙන ප්‍රමාණත් හොඳටෝම අඩුවෙලා.  
ඊට හේතුව මේවා දැන් වගා කරන්නන් පවා අප රටේ නැති වීමයි. දේශීය ගැනුම්කරුවන්ගෙන් වගේම මං ඇතැම් ඖෂධ ඉන්දියාවෙන් පවා ගෙන්වා ගන්නවා.  


සමහර ඖෂධ ගෙන්වන සමාගම් හරහාත් අපි විශාල වශයෙන් ඖෂධ ගෙන්වා ගන්නවා. මේවායේ අධික මිල නිසා මේ ඖෂධ නිෂ්පාදනයේ යෙදෙන අපි හැමදාම කාට හරි ණයකාරයෝ.   


අත්පිට මුදල් දී මේ තරම් විශාල ඖෂධ ප්‍රමාණ මිලදී ගන්නට තරම් ක්‍රමයක් අපට නැහැ. අනවශ්‍ය ලෙස මේ ඔෟෂධවල මිල ඉහළ දැමීම ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට සිදු කරන අසාධාරණයක් නිසා අපි එසේ කරන්නෙත් නැහැ.  


අපි කසාය පවා නිසි පදමට සකක් කර බෝතල් කර රෝගියාට ලබාදෙනවා. පත්තු, තෙල් වර්ග මෙන්ම ආලේප වර්ගවලටත් අපි නියම ප්‍රමිතියට ඖෂධ යොදනවා. කිසිම විදිහකින් අපි නියම ඖෂධයම මිස අනුකාරක ඖෂධ ​ෙයාදන්නෙත් නැහැ. මේ ප්‍රමිතීන් පවත්වා ගැනීම තුළ තමයි අපි අතිසාර්ථක වී තියෙන්නේ.   

 

 

මම ඇදුම, පීනස් රෝගවල සිට ආතරයිටිස්, පිළිකා සහ සියලුම බෝ නොවන රෝගවලට ප්‍රතිකාර කරනවා. ඕනෑම රෝගයකට ප්‍රතිකාර යෙදීමට තරම් මගේ වෛද්‍යකර්මය පොහොසත්. එය මේ ස්ථානයට පැමිණෙන රෝගීන් ගණන හා සුව වූ බව සනාථ කළ රෝගීන්ගේ වාර්තා අනුව වගකීමෙන් පැවසිය හැකියි.  


විශේෂයෙන් ආතරයිටිස් රෝගය සුව කළ නොහැකි රෝගයක් ලෙසයි සලකන්නේ. ආතරයිටිස් නැතිනම් අස්ථි පර්වදාහ රෝගීන්ට රෝගය ඇති වෙන්නේ එකම හේතුව පදනම් කරගෙන නෙවෙයි. මේ නිසා රෝගියා නිසි පරීක්‍ෂාවෙන් පසුව මා ඖෂධ යොදන්නෙ රෝගියා කෙරෙහි පූර්ණ වගකීම දරමින්. ආතරයිටිස් රෝග එකසිය හැට හයක් තිබෙනවා. ඒ එකසිය හැට ගණනින් එකම එකක්වත් මඟහැර නෑ. ඒ සියල්ලම මා විසින් නිට්ටාවට සුව කරනවා.  


මෙය මුළුමනින්ම බටහිර වෙදකමෙන් වෙනස් වෛද්‍යකර්මයක්. පෙත්තකට කැටි කර බොහෝ රෝගවල වේදනාව නසන බෙහෙත් නිර්මාණය වී තිබුණත් රෝගයකින් මනා සුවයක් ලබන්නට අවශ්‍ය වෙන තෙවැදෑරුම් සුසංයෝගයක් තිබෙනවා.  


ඖෂධ, හෙදකම හා වෙදකම කියන මේ සුසංයෝගයේදී ඖෂධ සකසා ගැනීම, රෝගියාට සිදු කළ යුතු වත් පිළිවෙත් ආදිය මෙන්ම නිවැරදි ඖෂධ යෙදීමට නිසි පරිදි රෝගය විනිශ්චයක් පැවතිය යුතුයි.  


අද බහුලව හමුවෙන රෝගීන් අතර ජීවන රටාවේ වූ​ වෙනස්කම් මෙන්ම ඇතැම් විට ආරය හරහා එම රෝගයට ගොදුරු වී ඇති බවක් දැක ගන්නට පුළුවන්. නමුත් කුමන හේතුවක් මත රෝගයට ​ෙගාදුරුව සිටියත් හෙළ වෙදකමෙන් එම රෝග සුවයට නිසි ඖෂධ හා වත් පිළිවෙත් පවතින නිසා සිංහල වෙදකමින් රෝග සුවය පතන ඔබට කිසිම සැකයකින් තොරව ඊට යොමු විය හැකියි.  


සිංහල වෙදකම අනුව බෙහෙත් සැකසීමේදී එයට නිසි ඖෂධ මෙන්ම නිවැරදි ක්‍රමවේදයට සැකසීමක් අවශ්‍යයි. අද කසාය සීට්ටු ලියා වෙළඳසලට රෝගියකු යැවූ විට කසාය කිරීමේදීත් යම් යම් වැරදි සිදු වෙනවා.  


වෛද්‍යවරයා ලියූ ඖෂධ්‍ය ඔවුන් ළඟ නැතිනම් එම ඔෟෂධයට යම් යම් ආදේශක යෙදීම සිදුවෙනවා. රෝගියා බෙහෙත් හරිහැටි නාඳුනන බව දැන කරන මේ ක්‍රියාව නිසා ඖෂධ වට්ටො​්රුවේ එන කසායෙන් ලැබෙන ගුණ නොලැබී යාමේ අවදානමක් පවතිනවා. මේ නිසා රෝගියාට අවශ්‍ය කසාය බෝතලය මා විසින්ම සකස් කර ලබා දෙනවා.  


කිසිවිටෙක ඒවාට කල්තබා ගැනීමේ ද්‍රව්‍ය මුසු කරන්නේ නැහැ. කසාය බෝතලය ශීතකරණයක තබා ගෙන පාවිච්චි කරන්නට පමණයි රෝගියාට තිබෙන කාරිය. අවශ්‍ය උපදෙස් අපි රෝගියාට ලබා දෙන්නේ බොහෝ කාරුණිකවයි.   


රෝගියා යනුවෙන් හඳුන්වන්නේ යම් තරමකට අසරණ වූ පුද්ගලයෙක්. රෝගියාගේ ආර්ථික මට්ටම හෝ පවුල් පසුබිම ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිකාරවලට අදාළ නෑ. ඔහු හෝ ඇය සුවපත් කරවන්නට වෛද්‍යවරයාගේ කරුණාව සහ ඔහුට හෝ ඇයට ඇහුම්කන් දීම ඉතාම වැදගත් කියා වෛද්‍යවරියක වශයෙන් මම විශ්වාස කරනවා.   


මගේ දියණිය පියුමිත් වෛද්‍යවරියක්. ඇයත් මා සමඟ මේ කටයුතුවලදී පෙරමුණ ගෙන ක්‍රියාකරනවා. විදෙස්ගත රෝගියකුට වූවත් අපව අමතන්න හැකියි. (+94)713464276, (+94)759061771 දුරකථන ඒ සඳහා විවෘතයි. සිකුරාද‌ා සහ පෝය දින හැර අනෙක් සෑම දිනකම හෝමාගම අතුරුගිරිය පාරේ නගර සීමා මාවතේ අංක 345 දරන ස්ථානයේ සිද්ධාධී වෙද මැදුරට එන ඕනෑම රෝගියකුට මේ සිංහල වෙදකමේ විස්කම් සියැසින් දැකබලා ගත හැකියි.  


ඔබ උපන් මේ පින් බිමේ හැම බිම් අඟලක් ගානෙම හෙළ ඔසු පැවැති යුගයක් අපට තිබුණා. ඒත් අපේ දෙය අගය කරන පිරිසක් නැති වූ විට ඒවාත් වඳ වී ගියා වගෙයි.  


සිංහල වෙදකමේ කිසිම බෙහෙතක අතුරුඵල ලෙස වෙනත් රෝග ඇතිවන්නේ නැහැ. ඒක ලොකුම භාග්‍යයක්.  


ඔබ රෝගවලට ​ගොදුරු වෙන බව ඇත්ත. නමුත් සිංහල වෙදකම ඔබේ සිරුරෙන් ඒ රෝගය මුලින්ම උදුරා විසිකර දමන බවත් ඇත්ත. මේ නිසා එ් සත්‍ය ඉදිරියේ ඔබ තවදුරටත් රෝගියෙකු නම් නෙවෙයි.”

 

 

 

 

සටහන - නාලිකා රාජපක්‍ෂ