ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


ඇමෙරිකාවේ ටෙක්සාස් භාවනා මධ්‍යස්ථානයේ හේනේගම අමරනන්ද හිමියන් ලියා එවූ කතා පුවත් කිහිපයකි.   

ස්වාමීන් වහන්සේලාට දොස් නගා මෙලොවදීම පීඩා විඳි චරිත කිහිපයක්   


බුදුරදුන්ගේ ශ්‍රාවකයන් වන මහසඟරුවන සම්බුදු සසු​ෙන් බර කරට ගෙන ආත්මාර්ථ, පරාර්ථ සාධනයෙහි නියුතු පූජනීය පිරිසකි. අපේ රටට ඇති මහා බලවේගයකි. එදා මෙදාතුර මේ යතිවර පරපුර නොවන්නට අපට කියන සුරැකි ආගමක්, දහමක්, සංස්කෘතියක් නොමැති තරම්ය. නිදහස් රටක්, බසක්ද නොමැතිසේය. ජාතියේ ප්‍රාණ වායුව එතුමෝය. අවැසි කල රජදරුවන් තනා රට සුරැකුවෝද යතිවරුමය.   


බුද්ධ කාලයෙහි පමණක් නොව අද යුගය දක්වා උන්වහන්සේලා ශාසන භූමිකාව හැඳින යා යුතු නොයා යුතු පිළිවෙත වටහාගෙන ක්‍රියා කරන්නෝය, ඇනුම්-බැණුම් දෝෂ දර්ශන හා විවේචන උන්වහන්සේලා හට අමුතු දේ නොවේ. පින්-පව්, කුසල් අකුසල් ඵල විපාක හඳුනන යුක්තිය-අයුක්තිය මැනවින් දත් බුදු සව්වෝ සානුකම්පිතව, එහෙත් නිසි කලට පිළියම් යොදමින්, අවැසි තැනට ඉදිරිපත් වෙති. යථාර්ථය පහදා දෙති. ඒ භික්ෂුවගේ ඓතිහාසික කාර්ය භාරයයි.   


මේ ලිපියෙන් පාඨක ඔබට මා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනුයේ ස්වාමීන් වහන්සේලා හට පරිභව කිරීමෙන්, අපහාස උපහාස​ මෙන්ම අස්ථාන චෝදනාදිය මගින් කරන ලද ‘පාපකර්ම’ මෙලොවදී අත්විඳීමට සිදුවූ පුද්ගලයන් කිහිප දෙනකුගේ ‘වත ගොත’ ගෙන හැර පාන්නටය.   


දිනක් මා කොළඹ සිට මාතර දක්වා යන අතර තුර ගාලු පුරවරයට සමීපයෙහිදී අප ගිය රථය කාර්මික ​දෝෂයක් හේතුවෙන් නවතාගෙන සිටීමට සිදුවිය. එතැනින් ගිය කෙනෙකු ‘ශාසනය කන.....’ යනාදී ලෙසින් මා සමග සිටි කිහිප දෙනෙකු ඉදිරියෙහි උපහාසයට ලක් කරමින් පිටත් විය. එහෙත් මෙම මුග්ධයාට අනුකම්පා කිරීම විනා කළ යුතු දෙයක් නොවීය. මා සමග මහමග සිටියවුන් මොහුට පහර දීමට තැත් කළද මාගේ මැදිහත් වීමෙන් එය වැළකුණි.   


සමීප විහාරස්ථානයෙහි හිමියන්ට මොහුගේ ඉරියව් හා ස්වභාවයන් පැවසූ කෙනෙහිම උන්වහන්සේ ඔහුව හැඳින ගත්හ. ඒ මෙම සිදුවීම වී මාසයක් පමණ කලකිනි. ඒ හිමියන් පැවසුවේ දැනට කිහිප දිනෙකට පෙර අනතුරකින් ඔහුගේ පාදයක් අහිමිව දුක් විඳින බවයි.   


මා දන්නා පෙදෙසක තරුණයකු හිමිනමක් දුටු විට අපහාස (හින්ට් ගැසීමාදිය) සිදු කරනු දැක ඇත. ඔහුටද සිදු වූයේ මහමග අනතුරකට ලක්ව එතැනම එලොව යෑමටය. (විහාරයට පිවිසෙන දොරටුව අබියසදී)   
එකල අප හා එකට දිවි ගෙවූ මඳක් තරුණ හිමිවරු දෙනමක් එවක අප (ඉගෙනුම සඳහා) වැඩ සිටි විහාරයෙහි අධිපති හිමියන් හා අපව බේද කිරීමට නොකළ දෙයක් නැත. එවක අපි කුඩා වුවද මහණ දම කෙරෙහි අවබෝධයකින් ඒවා විඳ දරා ගෙන සිටියෙමු. ඔවුන් ඉගෙනුම හා පිළිවෙත් පසෙකලා අමුතුම මගකය. මේ අතර මොවුන් දෙදෙනා උපැවිදි වූහ. එකෙකු විවාහ වී, සුරාවට ඇබ්බැහි වීම නිසා චෝදනාවකට ලක්ව කෙනෙකු අතින් මැරුම් කෑවේය. අනෙකා අයථා පෙම් සබැඳියාවක් හේතුවෙන් දුම්රියට පැන සිය දිවි හානිකර ගත්තේය.   


නිර්දෝෂීන්ට බැණවැදීම මෙලොවදීම විපාක ලැබෙන බලවත් පාපකර්මයකි. කොළඹ පළාතේ එක් කාන්තාවකගේ සිරිත ගමේ පන්සලෙහි වැඩහිඳින හිමිවරුන්ට බැණ වැදීමය. ඇය නූතන මාගන්දියා බඳුය. ඇයගේ වරදකට අවවාද කිරීම මෙයට හේතුවයි. කිහිප දිනකින් මේ පවුල අසරණ විය. යම් සිදුවීමකින් ගම හැරදා යන්ට මොවුන්ට සිදුවිය.   


තවත් තැනැත්තියක් භික්ෂුවක් තම නිවස ඉදිරිපසින් වඩින විට ‘අපට ප්‍රදර්ශනයට යනවා’ යැයි උසුළු විසුළු කරමින් උපහාසයට ලක් කළාය. නොබෝ දිනකින් ඇයටද සිදු වූයේ ඉතා අවාසනාවන්ත ඉරණමකි. රජයේ පිළිගත් රැකියාවක් කරමින් දරු පවුල රැකි තම ස්වාමියා ඇය හැරදමා දුරකට ගියේ මැයගේ දුෂ්ටකම් නිසාය. තම දරුවන් විවාහ වුවද එයද අසාර්ථකය. දරුඵල නොලද ඔවුන් එම ගමෙන්ද බැහැරව ඈත ගමකට පිවිසියේ ලැජ්ජාවත් නොමනා චරිතවත්කම් ආදියත් හේතුවෙනි.   


අපගේ විහාරස්ථානය බලවත් පින්බිමකි. දිනක් අරම අසල නිවසක පදිංචිකරුවන් දෙදෙනකුට කළ යුතු වැඩක් පවරා යම් කාර්යයකට බැහැර වීමි. ඔවුන් දෙදෙනා මා ගිය කල අපට මේවා කර කර ඉඳල ඇති ඵලේ මොකක්දැයි කියමින් මහ පාරේ ඇවිද ගොස් තිබේ. ඔවුනට සිදු වූයේ වාහන දෙකකට හසුවී ඔත්පලව දුක් විඳීමටය.   


මා හඳුනන පන්සලක අධිපති හිමියන්ගේ අණ නොතකා, නොමනා පරිදි දන්සලක් පැවැත්වූ තරුණයන් කිහිප දෙනෙකුටද සිදු වූයේ අපූරු ඉරණමකි. ත්‍රීවීල් රියැදුරෙකු වූ එක් අයෙකු කුලී ගමනක යන මුවාවෙන් ඈත පළාතකට රැගෙන ගොස් පහරදී දුක්පීඩා සිදුකොට ගෙදරට වී ඉන්ට සැලැස්වීමය. අනෙකාට සිදුවූයේද එවැනිම දෙයකි. තවත් කෙනෙකු පවුල් අවුල් වී උචිත නොවූවන් හා දීග ගොස් අන්ත අසරණ බවට පත්වින.   
බුදුදහමේ පෙන්වා දෙන පරිදි (ථෙර-මධ්‍යම-නවක) භික්ෂුන්ට කිසියම් ලෙසකින් පරිභව කරන්නා දියකඩිත්තක මසකු සේ, අවපස සඳ සේ සද්ධර්මයෙන් පිරිහී යයි.   


මාගේ අත්දැකීම් අනුව මෙවැනි අවස්ථා රැසකි. ස්වාමීන් වහන්සේලාගේ බලය නොහඳුනන ‘චීවරධාරීන්’ යැයි අමතන ඇතැම් මැති ඇමැති කාහට වුවද සිදු වනුයේ යථෝක්ත ඉරණම් ගමන් යෑමටය. නිරතුරුව තමන් කව්දැයි හැඳින, යා යුතු, නොයායුතු ගමන් මගද වටහා ගෙන දෙලෝ දිවි මග සරු කර ගැනීම හැර තම බලය හෝ නිලය පෙන්වා බුදු සව්වන් හට පරිභව කිරීමෙන් හෝ නිර්දෝෂී කා හට වුවද අපහාස උපහාස සිදු කිරීමෙන් වනුයේ දෙලොවම අඳුරට පිවිසවන බරපතළ අකුසල්මය.   

 



අකුරැස්ස පහළ මලිදුව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

සොරකමට දඬුවම් මෙලොවදීම ලැබූ සොර දෙටුවා   


මීට දශක පහක තරම් ඈත කාලයක ඉතා දුෂ්කර ගමක ජීවත් වූ ගැමියන් පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ කිතුල් මල් මැදීමයි. මහා ලොකු හීන නොතිබූ එම ගැමියන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරා ගත්තේ මේ මල් මැදීමෙන් ලබන ආදායමෙනි. එයින් ලබන මුදලින් ඔවුහු යාන්තමින් දිවි ගැට ගසා ගත්හ. 

 
ඉතා අහිංසක සාමකාමී පිරිසක් වූ ඔවුන් තුළ මහා උගත්කමක්ද නොවීය. මොවුන්ගේ මේ අහිංසකම නිසාම එල්ල වූ අවහිර බාධාවන්ද බොහෝ විය.   


හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුණාක් මෙන් මෙකල මෙන්ම එකලද අනුන්ගේ දෙය කඩා වඩා ගනිමින් යහතින් දිවි ගෙවන්නන්ගෙන්ද අඩුවක් නොවීය.   


මේ ගැමියන්ට තිබූ ප්‍රධානම බාධකය වූයේ බොහෝ වෙහෙස වී සාදා ගන්නා කිතුල් මලේ තෙලිජ්ජ මුට්ටිය හොරුන්ගෙන් රැක ගැනීමයි. මොවුන්ගේ අහිංසකකමින් ප්‍ර​ෙය්ජන ගනිමින් තෙලිජ්ජ මුට්ටිය හොරෙන් හෝ බලහත්කාරයෙන් හෝ රැගෙන යන්නට නම් දැරූ අයෙක් විය. ඒ නමින් මරතේලිස්ය. ගමේ හැමෝම ඔහු හැඳින්වූයේ මරතේලිසා නමිනි. ඔහු ගැමියන් බිය ගන්වමින් මැරයෙකු මෙන් හැසිරෙන්නට වූ නිසා ඔහුට මහත් බියක් දැක්වූහ. ඒ නිසාම ඔහුට එරෙහිව යන්නට කිසිවෙක් ගමේ නොවීය. මේ නිසාම මරතේලිස් තම කටයුතු කිසිදු අපහසුවකින් තොරව කරගෙන ගිය අතර ගමේ අතමිට සරු පොහොසතා බවටද පත් විය.   


ගැමියන් ඔහු හා මුහුණට මුහුණ ගැටුම් ඇතිකර ගැනීමට ඉදිරිපත් ​ෙනාවූවද ඔහු කෙරේ ඉමහත් වෛරයකින් පසු වූයේ ඉඩ ලැබෙන ඕනෑම මොහොතක ඔහුට අමතක නොවන පාඩමක් ඉගැන්වීමේ අදහසිනි. කිතුල් මලක් සාදා කොතරම් උපාය උපක්‍රම යෙදුවත් මොහුගෙන් බේරා ගැනීම නම් ඉතා අසීරු කටයුත්තක් විය. මෙයින් ගැමියන්ගේ ජීවන ගමනටද සිදුවූයේ මහත් වූ පාඩමකි. එසේම මෙය එන්න එන්නම වැඩි වූවා මිස අඩුවන බවක් නම් නොවීය. මරතේලිසාගේ මේ අමන ක්‍රියාව නතර කිරීමට අදටත් හෙළි නොවූ ගැමියකු තීරණයක් ගෙන තිබුණි. මෙදා පාර නම් මරතේලිසාට ජීවිත කාලයටම අමතක නොවන පාඩමක් ඉගැන්වීමට තීරණය කර තිබුණේ බැරිම තැනය.   


මේ සඳහා ඔහු ගම කෙළවරට වෙන්නට තිබූ වනගත පෙදෙසේ අලුත පීදුණු කිතුලක් තෝරා ගෙන තිබුණි. දින ගණනක් වෙහෙස වී මල තළා සකස් කර මුට්ටියක් එල්ලා තැබූ අතර හොඳින් පදම් වූ මලෙන් තෙලිජ්ජ වෑහෙන්නට වූයේ ගැමියාවත් නොසිතු ලෙසින් මෙන්ම මරතේලිසාගේ ද කරුමයට මෙනි. කිතුල් මල අසලින්ම වූ පිත්තක ඔහු සිතු ලෙසින්ම මර උගුලද සකසා තැබුවේ ගසට නගින කිසිවකුට හෝ එයින් ගැලවී යාමට නොහැකි ලෙසිනි.   


ගැමියාගේ මේ කටයුත්ත ගමේ කිසිවකු දැන නොසිටියත් කිතුල් මලක් කොපමණ හොරෙන් සැකසුවත් මරතේලිසාට හොරෙන් එවැන්නක් කිරීමට හැකි ජගතෙක් නම් ඒ පළාතකවත් නොවීය. මරතේලිසා මේ තෙලිජ්ජ මුට්ටිය ගැන දැන ගතේතේද ඉවෙන් මෙනි. මල හැදූ ගැමියා ද තෙලිදිය බෑමට නොගිය බැවින් මුට්ටිය උතුරා හැළෙන්නට වූයේ අවට පෙදෙසම සුවඳ කරමිනි.   


මේ සුවඳ ඔස්සේ වනයට ගිය මරතේලිස් පහසුවෙන්ම කිතුල් ගස සොයා ගති. එදින රෑ බෝ වෙන තෙක් ඉවසුම් නැති විය. මුළු ගමම නිදිගත් රැයේ තම කාරියට අත ගැසූ මරතේලිස් හෙමින් හෙමින් කිතුල් ගසේ හැර දිගේ නගින්නට වූයේ උගුඩුවකු මෙනි. ඒ ඔහුගේ අවසන් කාර්ය බව ඔහු නොදත්තේය.   


ගස මුදුනට නැගීමට තිබුණේ හැර දෙක තුනකි. එක වරටම ඔහුගේ අ​ෙත් යමක් පැටලිණි. කිසිවක් නොදත් ඔහු උඩ බලාගෙනම අත ගසා දමනවාත් සමගම සීතල යමක් මූණ පුරාවටම හැලිණි. ටික වේලාවක් යනවිට ඇස් දෙක සහ මුහුණ පුරා දැඩි​ ලෙස දැවිල්ලක් හට ගත්තේය. නාසයට දැඩි විෂ සහිත ගන්ධයක් දැනෙන්නට විය. මෙදා පාරනම් වැඩේ වැරදුණ බව සිතා විකාරයෙන් මෙන් වහ වහා ගසෙන් බැස ගත්තේ පුරුද්දට මිස හැකිකමකට නොවේ.   


දෙනෙතම පිය වී ඇත. අඩියක්වත් ඉදිරියට යාමට නොහැක. කළ හැකි එකම දෙය වූයේ කෑගැසීම පමණි. රෑ දෙගොඩ හරියේ ඇසුණ මර හඬින් අවදි වූ ගැමියෝ ඒ මරතේලිස්ම බව හඳුනගෙන වහ වහා දුවගොස් බැලූහ. කෙතරම් සතුරකුට වුවත් අනතුරකදී පිහිටවීම ගැමි සිරිතකි. හැකි ඉක්මනින් රෝහල කරා මරතේලිස් රැගෙන ගිය අතර ඔහුට රෝහලේ මාස ගණනක් ගත කිරීමට සිදුවිය.   


උගුල ඇටවූ කවුරුන් හෝ කර තිබුණේ උග්‍ර විෂ සහිත යමක් බෝතලයක දමා ඇබයක් ගසා කට පහතට සිටින සේ රඳවා ඇබයේ සිට නූලක් ගැට ගසා කෙළවර හැර යට ගැට ගසා තැබීමයි. උඩ බලාගෙනම ගසට නගින ඕනෑම අයෙකුගේ අත් නූල පැටලීමත් ඒ සමගම මූඩිය ගැලවී එම විෂ සහිත දියර උඩ බලන තැනත්තාගේ මුහුණට වැටීමත් අනිවාර්​ෙ‌යන්ම සිදුවෙන්නකි. මරතේලිසාටද සිදුවූයේ ඒ දෙයමය.   


මාස ගණනකට පසු සුවය ලබා ගමට පැමිණියත් මරතේලිසාගේ එක් ඇසක් සදහටම අන්ධවී තිබුණි. අනෙක් ඇසේ පෙනීමද වූයේ යාන්තමට මෙනි. මුහුණ බැලීමට නොහැකි තරමට විරූපී වී තිබුණි. ගැමියන්ගේ පිහිට නිසා බොහෝ කලක් ජීවිතය ගත කළ හැකි වුවත් තමා කළ පව්කම් මෙනෙහි කරමින් ඉතා දුක්ඛිත දිවියක් ගත කර මරතේලිස් මෙලොවින් සමු ගත්තේ කාට කාටත් අපූරු පාඩමක් කියා දෙමිනි.

 

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්