වෙස් මුහුණු කර්මාන්තකරුවන්ගේ දුක්බර කතාව   

 

 

රී ලාංකේය අභිමානය ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හැකි අපූර්ව වූ කලා ශිල්ප රැසක්ම අපට උරුමව පවතී. ප්‍රෞඩ ඉතිහාසයක ශේෂයක් ලෙස ප්‍රභාවෙන් පිරුණු පාරම්පරික හා සම්ප්‍රදායික කලා ශිල්ප අතර වෙස් මුහුණුවලට හිමිවෙන්නේ සුවිශේෂත්වයකි. මහා සම්මත රජුගේ බිසවගේ දොළදුක සංසිඳ වීම සඳහා සක් දෙවිඳු විසින් වෙස් මුහුණු මවා පෑ බවත් ඉන්පසු මෙම වෙස් මුහුණු බැඳ කෝලම් නැටුම් පවත්වා බිසවගේ දොළදුක සංසිඳ වූ බවත් පැවැසේ.   


ලෝකයේ බොහෝ රටවල ප්‍රාග් ඓතිහාසික සහ ප්‍රාග් කෘෂිකාර්මික යුගවල වෙස් මුහුණු භාවිත කළ බව කියැවේ. වර්ෂාවල ආහාර (දඩයම් හා බව බෝග), ලෙඩදුක් (ආරක්‍ෂාව) වැනි කටයුතුවලදී වෙස් මුහුණු භාවිතයට ගෙන ඇත. දඩයක්කාර ජීවිතයක් ගෙවූ ගෝත්‍රික ජනතාව සතුන්ගෙන් ආරක්‍ෂා වීම සහ සතුන් බියවද්දා දඩයම සඳහා වෙස් මුහුණු යොදාගත් බව ද කියැවේ. අපේ රටේ වෙස් මුහුණු කලාවේ ඉතිහාසය සොයා යාමේදී නිශ්චිත තොරතුරක් සොයාගත නොහැකි වුවත් අනුමාන වශයෙන් ශත වර්ෂ ගණනාවක් ඈතට දිව යන බව පෙනේ.


වෙස් මුහුණු කලාව සිංහල ජනතාවගේ සම්ප්‍රදායික කලාවක් වන අතර උඩරට, පහතරට, සබරගමු නර්තන සම්ප්‍රදායන් සමග සබැඳිය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෙස් මුහුණු කලාව කර්මාන්තයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන නගරයක් ලෙස අම්බලන්ගොඩ හැඳින්විය හැකිය. එසේම බෙන්තර, මිරිස්ස, රයිගම් කෝරලය සහ මතුගම ප්‍රදේශවල ද කර්මාන්තය පැතිර පවතී. රයිගම් කෝරලයේ බටුවිට වෙස් මුහුණු ගම්මානයේ ගවේෂණ සංචාරයක නිරතව එහි වත්මන් තත්ත්වය සොයා බැලුවෙමි.   


රයිගම් සම්ප්‍රදාය බිහිවෙන්නේ රයිගම් කෝරළයෙනි. මේ හැම සම්ප්‍රදායක් තුළම ඊටම ආවේනික වූ සුවිශේෂ ලක්‍ෂණයන් පවතින අතර ඒවා ජනප්‍රිය වී ඇත්තේ අදාළ ග්‍රාමය මුල් කරගෙනය. රයිගම් සම්ප්‍රදාය ආරම්භ කළ තැනැත්තා වශයෙන් ප්‍රචලිත වෙන්නේ ඔලබොඩුව නදා ගුරුන්නාන්සේය. සොඳුරු ඔලබොඩුව ගමේ දී ජන්ම ලාභය ලැබූ නදා ගුරුන්නාන්සේගේ ගුරුවරයා පිළිබඳ තොරතුරු සොයා ගැනීම දුෂ්කරය.   


මෙම ගම්මානයට 1964 වසරේ දී විවිධ පන්නයේ වෙස් මුහුණු සඳහා විදේශීය අැනවුමක් ලැබී ඇත. පවුල කේන්ද්‍රියව කුඩා ලෙස ගොඩනැගී පැවැතුණු මෙම වෙස් මුහුණු කර්මාන්තය සහ වෙළෙඳ ව්‍යාපෘතියට මෙම ඇනවුමත් සමඟ අවට ගම්මාන ද සම්බන්ධ කරගනිමින් වෙස් මුහුණු වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සිදු විය. ඒ අනුව අසල්වාසී බටුවිට, බණ්ඩාරවත්ත සහ මව්ගම ගම්මාන ද සම්බන්ධ කරගැනීම සිදුවිය. එමගින් මෙම ප්‍රදේශය තුළ වෙස් මුහුණු කර්මාන්තයට යොමු වූ ශිල්පීන් පිරිස වැඩි විය.   
වර්තමානය වනවිට මෙම වෙස් මුහුණු කර්මාන්තයේ යෙදී සිටින්නේ නදා ගුරුන්නාන්සේගෙන් පසුව එන පස් වැනි පරම්පරාවයි. කදුරු සහ රුක්අත්තන අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගෙන රාක්‍ෂ මුහුණු, සන්නි මුහුණු, දිව්‍ය පුද්ගල මුහුණු, සත්ව මුහුණු, යක්‍ෂ මුහුණු, මිත්‍යා මුහුණු සහ කෝළම් මුහුණු නිර්මාණය කෙරේ.   


2012 වසරේ රජය විසින් මෙම ගම්මානයට රුපියල් මිලියන 1.9ක ප්‍රතිපාදන වෙන් කළ අතර එමගින් ඍජු ප්‍රතිලාභීන් 41ක් ද තවත් වක්‍ර ප්‍රතිලාභීන් විශාල ප්‍රමාණයක් ද ශිල්පයේ නිරත වූහ. එම ව්‍යාපෘතිය යටතේ මෙකී ශිල්ප ගම්මානයේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණාත්මක බව ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන ඒකක හෙවත් වැඩ මඩු, යන්ත්‍රෝපකරණ, ශිල්ප උපකරණ, අමුද්‍රව්‍ය, ප්‍රවාහන පහසුකම් සහ විදුලිය සැපැයීම ද ලබා දී තිබුණි.   


ජාතික ශිල්ප සභාවේ සම්ප්‍රදායික ශිල්ප ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ 2014 වසරේ බටුවිට වෙස් මුහුණු ගම්මානයට නව ජීවයක් ලැබුණ නමුත් එදා මෙදා තුර විවිධාකාර හේතු කාරණා නිසාවෙන් පාරම්පරික කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටී අද අවපාතයට ලක්ව ඇතැයි ගම්මානයේ ශිල්පීහු පවසති.   


වෙස් මුහුණු කර්මාන්තයේ නිරත ටී.එල්. කළුආරච්චි මහතා මෙලෙස අදහස් දැක්වීය.   


“මම වසර 25-30ක කාලයක ඉඳලා මේ කර්මාන්තයේ නිරත වෙලා ඉන්නෙ. වාහනයක රුපියල් 30,000ක විතර මිලකට මුතුරාජවෙලෙන් කදුරු ගේන්නෙ. ඇළ වේලිවල පොඩි ගස් තිබුණට අපට මදි. අමුද්‍රව්‍ය මිල අධික වුණාට වෙස් මුහුණුවල මිල ඉහළ ගියේ නැහැ. අලෙවිය තමයි විශාලම ගැටලුව. අතරමැදියෝ අඩු මිලට අපෙන් අරගෙන සංචාරක හෝටල්වලට ලොකු ගණන්වලට විකුණනවා. අපිට ලැබෙන්නෙ සොච්චමයි. ඉස්සර අපි හොඳට සල්ලි හෙව්ව මිනිස්සු. දැන් සංචාරකයෝ නැති නිසා හෝටල්වලින් ඇනවුම් නැවැතිලා. අවුරුද්දක එකහමාරක ඉඳලා කිසිම ආදායමක් නැහැ. බටුවිට වෙස් මුහුණු මධ්‍යස්ථානයත් වැහිලා ගියා. මේ තත්ත්වය හින්දා අපේ දරු පරම්පරාව මේ පාරම්පරික ශිල්පයෙන් ඉවත් වෙනවා. අඩු මිලට අමුද්‍රව්‍ය සහ හොඳ වෙළෙඳපොළක් ලැබේ නම් කර්මාන්තය ඉදිරියට කරගෙන යන්න පුළුවනි.”

 


මුර්ති හා දැව කැටයම් ශිල්පී හොරණ ඩික්සන් පෙරේරා මහතා මෙසේ කීවේය.   


“තම තමන්ගෙ නිපුණතා දක්‍ෂතා මත නිෂ්පාදනයට ඉඩකඩ සැලැසෙනවා නම් ආර්ථික පදනමක් ගොඩනගාගන්න පුළුවන්. ඒ වගේම පුහුණුවකුත් අවශ්‍යයි. කුඩා පරිමාණ නිෂ්පාදකයින්ට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා. මහා පරිමාණ ව්‍යවසායකයින්ට නම් වාසි ඇති. අතරමැදියා විශාල වෙළෙඳපොළ ඒකාධිකාරයක් ගොඩනගාගෙන ඉන්නවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.”


 බටුවිට රසික දිල්හාන් කළුආරච්චි මහතා මෙසේ කීවේය.   


“අපට විධිමත් වෙළෙඳපොළක් නැහැ. රජයේ ආයතනයක් තියෙනවා. ඒත් කලට වෙලාවට මුදල් ගැනීම තමයි අමාරු. ප්‍රදර්ශනාගාරවලට භාණ්ඩ ගෙන ගියාම ඉල්ලන්නේ අඩුවෙන්. ඒ අය සංචාරකයන්ට වැඩි මුදලට විකුණනවා. ලොකු වෙස් මුහුණු ගෙන යාම ඉතා දුෂ්කරයි. අපට වාහනත් නැහැනෙ. ඒ වගේම මන්න, පිහිය, ඩ්‍රිල් එක ආදී භාණ්ඩ ගොඩක් අවශ්‍යයි. බැංකු ණයක් ගන්න ගියත් ඒ අය දෙන්න බයයි. ඇයි ස්ථිර ආදායමක් නැහැ කියලා. මේ ගැටලු විසඳා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕනෑ.”
බටුවිට ඒ.ඒ. ධර්මසිරි මහතා මෙසේ කීවේය.    


“මේ මුහුණු කලට වෙලාවට අලෙවි කරගත්තොත් පමණයි අපේ ජීවිත ගෙනියන්නට පුළුවන් වෙන්නේ. තරුණයෝ පාරම්පරික ජීවන වෘත්තියට යොමුවෙන්නේ ඉතාමත් අඩුවෙන්. ගෑනු දරුවො ගාමන්ට් යනවා, පිරිමි දරුවෝ ත්‍රීවීල් රස්සාවට යොමු වෙනවා හැරෙන්න වෙස් මුහුණු කර්මාන්තයට එන්නෙ නෑ. ඇත්ත වශයෙන්ම වෙල් ගහල, දිය ගෝවා, වල් උක් නැත්නම් රබෑව වගේ ආක්‍රමණික ශාක නිසා විනාශ වෙන කුඹුරු ඉඩම්වල නියර දිගේ කදුරු බෝග වවන්න පුළුවන්.”


බටුවිට ඒ.ඒ. සුනිල් මහතා මෙසේ කීවේය.     


“අපට ගැටලු රාශියක් තිබෙනවා. මම අවුරුදු 35ක ඉඳලා මේ ස්වයං රැකියාව කරන්නේ. පරම්පරාවෙන් ලබාගත් දැනුම පළපුරුද්දෙන් වැඩි කරගත්තා. අපට තිබෙන ප්‍රධානම ගැටලුව තමයි අමුද්‍රව්‍ය සහ වෙළෙඳපොළ. දැව වර්ග කිහිපයක් තිබෙනවා. වෙස් මුහුණු නිර්මාණයට පහසු දැව වර්ගය තමයි වෙල් කදුරු, නැත්නම් දිය කදුරු. පැළෙන්නෙ නෑ, ගුල්ලො ගහන්නේ නෑ. කදුරු මේ ගම්වල ඉන් නියර අයින් දිගේ සිටුවන්නට පුළුවන්. ඒ ගැන බලධාරීන් අවධානය යොමු කරනවා නම් ඉතා හොඳයි. අපි දැනට කදුරු කොටන් ගේන්නෙ ඇල්පිටිය, වඳුරඹ වගේ ඈත පෙදෙස්වලින්. ලොරියක ලෝඩ් එකකට රුපියල් 28,000ක් 30,000ක් විතර වෙනවා. කදුරු ගේන්න ගියොත් අපේ කාලය ගතවෙන නිසා ගමට එන ලොරිවලින් මිලට ගන්නවා.”


බටුවිට වෙස් මුහුණු ගම්මානයේ පවතින ගැටලු අප ඉදිරිපත් කළේ ජාතික ශිල්ප සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (බ.ප.) නේරංජලා ගුණසිංහ මහත්මිය වෙතය. මේ ඇය දැක්වූ අදහස්ය.
“ජාතික ශිල්ප සභාව මගින් බටුවිට වෙස් මුහුණු ගම්මානයේ සංවර්ධනය වෙනුවෙන් පසුගිය කාලයේ විශාල වැඩ කොටසක් කළා. ශිල්පීන් ලියාපදිංචි කිරීම, පුහුණු කිරීම, නවීන යන්ත්‍රෝපකරණ ලබාදීම, ශිල්ප සමාජ පිහිටුවීම සහ අලෙවි ප්‍රවර්ධනය ඒ අතර වෙනවා. ඔවුන්ට තිබෙන ලොකුම ගැටලුව තමයි නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොළක් නොමැතිකම. ඉදිරියේ දී අපි සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උද්‍යානයේ ‘ශිල්ප තර්ස්ඩේ’ නමින් අලෙවි කුටි 132ක හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයක් ආරම්භ කරනවා. බටුවිට ගම්මානෙ වෙස් මුහුණු ශිල්පීන්ටත් ඒකට සම්බන්ධ වෙලා තමන්ගෙ නිෂ්පාදන අලෙවි කරගන්න පුළුවන්. එයට අමතරව රජයේ මුඩු බිම් යොදාගෙන ‘ශිල්පයට ගසක් සිටවමු’ තේමාව යටතේ අපි කදුරු, රුක්අත්තන සහ ගිනි සපු වගා ව්‍යාපාතියක් ආරම්භ කළා. මේ ශිල්පීන්ට ඒ සඳහා දායක වෙන්න පුළුවන් වගේම ඉදිරියේ දී අමුද්‍රව්‍ය මිල අඩු කරගන්නත් හැකියාව ලැබේවි. එයට අමතරව සීගිරිය, තිස්සමහාරාමය, වරාගොඩ සහ ගාල්ල අලෙවි ප්‍රදර්ශන මධ්‍යස්ථාන නවීකරණය කරමින් පවතිනවා. ඒ තැන්වලටත් නිෂ්පාදන අලෙවියට භාරදෙන්න පුළුවන්.”


ලක්සල අධ්‍යක්‍ෂ (මූල්‍ය) ඇලල් ඩෙලිල්කන් මහතා ශිල්පීන්ට බලපා ඇති අලෙවි ගැටලුව සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි.


“ලක්සල කියන්නෙ ස්වයං මූල්‍ය රාජ්‍ය වාණිජ ආයතනයක්. දේශීය ශිල්පීන්ගේ නිෂ්පාදන මිලදී ගෙන විදේශිකයින්ට විකුණනවා. ප්‍රදර්ශනාගාර 12ක් වෙනුවෙන් වාර්ෂිකව මිලියන 300ක පමණ භාණ්ඩ මිලදී ගන්නවා. මේ වනවිට මිලියන 450ක පමණ භාණ්ඩ තොග අප සතුව තිබෙනවා. අපේ අලෙවිය රඳා පවතින්නෙ සියයට 80ක්ම විදේශිකයින් මත. පසුගිය වසරේ අප්‍රේල් මාසෙ අලෙවිය 50කින් අඩුවුණා වගේම කෙරෝනා තත්ත්වයත් සමග දැඩි බලපෑමක් එල්ල වුණා. මේ වසරේ දෙසැම්බර් දක්වා නැවත සියලු මිලදී ගැනීම් නතර කළා. විදේශයකින් විශේෂ ඇනවුමක් ලැබුණොත් අපි සලකා බලනවා. අපි රාජ්‍ය, පෞද්ගලික ආයතනවලින් බැංකුවලින් ඉල්ලනවා ත්‍යාග සමරු සිහිවටන වගේ ලබාදෙනකොට දේශීය දේවල් ලබාදෙන්න කියලා. ඒක අපේ පාරම්පරික හස්ත කර්මාන්තකරුවන්ට කරන ලොකුම සෙතක් වෙනවා. කොහොම නමුත් රට යථා තත්ත්වයට පත්වෙලා සංචාරකයින් පැමිණෙන විට අනිවාර්යයෙන්ම බටුවිට ගම්මානේ වෙස් මුහුණු මිලදී ගන්නවා.”

 

 

ඡායාරූප සහ විස්තර: 
අගුරුවාතොට - මංගල එදිරිසිංහ