ඔවුන් විශේෂ අවශ්‍යතා දරුවන් ලෙස පොදුවේ හැඳින්වුවද මම ඔවුන් එසේ හඳුන්වන්නට අකැමැත්තෙමි. සැබැවින්ම ඔවුන් අප විසින් රැකබලා ගත යුතු දැයේ අගනාම සම්පතකි. උපතේදී යම් අඩුපාඩුවක් ඇතිව ඉපදුණේ ඔවුන්​ෙග් වැරැද්දකින් නොවේ. යමක් කමක් ඇති අයට මේ දරුවන් වෙනුවෙන් කළ හැකි බොහෝ දේ තිබේ. ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණයෙන් මෙයටත් වඩා මඟ පෙන්වීමක් සිදුවන්නේ නම් එය අගනේය. 


ඔබට මට මෙන් දෑස් ලැබුණත් ඔබ මා දකින දුර ජීවිතය දකින්නට ඒ දරුවන්ට වරම් අහිමි වූයේ උත්පත්තියේදීමය. ඔබට මට මෙන් සිනාසෙන්නට හැකි වුණත් ඒ ජීවිත කටුඅත්තේ නිරන්තර සිනාකැන් නොපිපුණේ සිහින සහ බලාපොරොත්තු ඔවුන්ගේ හදවත් යායේ ඉපදුණේ කලාතුරකින් වූ හෙයින්. ඔබට මට මෙන් අසන්නට සවන් හිමිවුවත් සාවධාන බුද්ධියෙන් ලෝකයටත් සොබාදහමටත් ඇහුම්කන් දෙන්නට තරම් නිශ්චල සංයමයක් ඔවුන්ගේ හදවත් හි නැති තරම්ය. 


එහෙයින්ම අපි මේ දරුවන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස හඳුන්වමු. එහෙත් විශේෂිත දරුවන් යන වර්ගීකරණය යටතේ වර්ග කෙරුණද ඒ දරුවන්ද දරුවන්මය. රක්ත වර්ණ රුහිරු දහරා ශ්වේත වර්ණ කිරි දහරා බවට පත්කර පෙවූ අම්මාවරුන්ට මෙන්ම, ඒ දරුවන් වෙනුවෙන් වගකීම් සම්භාරයක් දෙවුර දරන තාත්තාවරුන්ට මෙන්ම ඒ දරුවන් අපටත් අපේ දරුවන්ය. ඒ ආදරයේ ඒ පරිත්‍යාගයේ ඒ මනුෂ්‍යත්වයේ සිතුවිල්ල අප අත්දුටුවේ විශේෂිත අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන්ම ඉදිවූ වීරකැටිය කොටබෝව අරුණැල්ල පාසල් බිමේදීය. 


කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ ඥානිස්සර හිමියන්ගේ අනුශාසකත්වයෙන් ගංගාරාමාවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ, ආචාර්ය පාලටුවාවේ ජිනරතන හිමි, ආචාර්ය පල්ලේගම රතනසාර හිමි සහ ගංගාරාමයේ දායක දායිකාවන්ගේ අනුපමේය දායකත්වයෙන් සිදුකරන සංවර්ධන හා මානුෂීය ව්‍යාපෘති ගණනාවක් අතරින් එකක් වන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ඉදිවූ මේ විද්‍යාලය නඟාසිටුවීමට දරන අප්‍රතිහත වෑයමයි. අරුණැල්ල විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලට පැමිණෙන දරුවන් වෙනුවෙන් වසර තුනක් තිස්සේ කොළඹ ගංගාරාමයේ යතිවරයාණන් වහන්සේලොගේ මූලිකත්වයෙන් සිදුකර ඇති මහා කර්තව්‍යයට නිදසුන් එදා අප දෑස් අභිමුවේම දිස්විය. 


වීරකැටිය ‘අරුණැල්ල’ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලට අප ගියේ ඉකුත් 20 වැනදාය. ඒ ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ 50 වැනි උපන් දිනය වෙනුවෙන් සූරියවැව වීරකැටිය ප්‍රදේශ මූලික කරගනිමින් පැවැත්වූ පිංකම් මාලාව වෙනුවෙනි. 


සූරියවැව යනු ලංකාවේ ඇති දුෂ්කර ගම්මානයක් ලෙස හැඳින්වීම නිවැරදිය. තද අව් රැල්ලට නිරන්තරයෙන් රිදුම් කන ශුෂ්ක වී ගිය මහ පො​ෙළාව සමග එහි ජනතාව ජීවත් වීම උදෙසා කරන අරගලය සුළුපටු නොවේ. වැහි දිය ඉල්ලා අහසට වඳිමින්​ දෙවියන් යදිනවා වෙනුවට සොබාදහමේ කැමැත්ත අනුව ලද දේවල් තුටින් බාරගනිමින් ජීවන පරමාර්ථ අස්වද්දන්නට ඔවුන් සතු දෑතේ ශක්තියත්, මනසේ වීරියත් අප්‍රමාණය. එවන් ජන සමූහයකට වඩා ඵලදායි ජීවන මාර්ග සපයා දෙනුවස් කොළඹ ගංගාරාමය නව ව්‍යාපෘති ඔස්සේ ඒ ජන ජීවිත හා සමීප වූයේ යතිවරයාණන් වහන්සේ නමක් වෙත නිසඟයෙන් පැවරුණු ශාසනික මෙහෙවරට පමණක් සීමා නොවී පුළුල් සමාජයීය හා මානුෂීය මෙහෙවරකටද උරදිය යුතුය යන පරමාර්ථයේ සිතුවිල්ල පෙරදැරිවය. ගස් බැංකුව වැනි සොබාදහමට හිතවත් සංකල්ප ගෙනහැර දක්වමින් එදා මෙදාතුර ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ හෙවත් ආචාර්ය ගල්බොඩ ඥාානිස්සර නායක හාමුදුරුවෝ ගංගාරාම පන්සල් බිමට පමණක් නොව පොදු සමාජයටම කළ මෙහෙවර පත් පිටුවකට ගොනු කිරීමට යත්න දැරීමම නිරර්ථක වෑයමකි. ඒ එම සේවාවේ තරම මහා වනස්පතියක තරමටම විසල් වන හෙයිනි. 

 

පාසල් දරුවන්ට පාසල් උපකරණ බෙදා දෙමින්...

 

ජිනරතන කාර්මික විද්‍යාලය වැනි ආයතන ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු යායුතු මඟ හසරක් නැතිව අතරමං වන ඇතැම් දරුවන්ට කාර්මික අධ්‍යාපනයක් ලබාදී ජපන්, දෙමළ, ඉංග්‍රීසි වැනි භාෂා හදාරන්නට ඉඩ ප්‍රස්ථා ලබා දෙමින් අයාලේ යන තරුණ ප්‍රජාවක් එකට එක්කොට ඒ තරුණ ශ්‍රමය ර​ෙට් සංවර්ධනයට එක් කරන්නට ගත් දූරදර්ශී ක්‍රියාමාර්ගය ගංගාරමයෙන් සිදුවන එක් සේවාවක් පමණි. 


 ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ 50 වැනි උපන් දිනය වෙනුවෙන් රුපියල් ලක්ෂ හතළිහකට වැඩි මුදලක් වියදම් කරමින් සූරියවැව සහ වීරකැටිය ජනතාව වෙනුවෙන් කළ පිංකම් මාලාව ගංගාරාමයේ අඛණ්ඩ සමාජ සේවාවේම තවත් එක් දිගුවක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි යැයි අපි සිතමු. 


එදා සූරියවැව පවුල් විශාල සංඛ්‍යාවකට වියළි ආහාර සලාක මෙන්ම තවත් අත්‍යවශ්‍ය උපකරණ හා වගා පැළ ලබා දීමත්, ගැබිනි මවුවරුන්ට තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා වවුචර්පත් ලබා දීමත්, සූරියවැව අවමංගල්‍ය සමිතියට ජෙනරේටරයක් ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ පිරිනැමීමත්, ළදරු පාසල් දරුවන්ට පොත්පත් ඇතුළු උපකරණ ලබාදීමත් සිදුකළ පිංකම් අතර ප්‍රධාන විය. ගංගාරාමය නා සෙවණ නමින් දියත් කළ ව්‍යාපෘතිය ඔස්සේ ඒ ප්‍රදේශයට සිදුවූ සේවාව ඉමහත්ය. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව එහි ඵල බොහෝ සෙයින් නෙලා ගත්හ. ඉතා ක්‍රමවත් ආකාරයට රියැදුරු පුහුණුව ලබාදීම හා ඒ ඔස්සේ රැකියා අවස්ථා හිමිකර දීම මෙන්ම වගාවන් සඳහා ඔවුන් යොමු කරවීමද මෙහිදී විශේෂය. නා සෙවණ ව්‍යාපෘතිය යටතේ සිදුකළ තවත් යෝධ කර්තව්‍යයක් වූයේ නිරන්තර තද අව්වට පැළුණු මහ පොළව හා ඔට්ටු අල්ලමින් සිදුකළ වගා සංග්‍රාමයයි. නා සෙවණ ගොවි බිමේ නිලට නිලේ දිලිසෙන කුඹුරු යායක් මෙන්ම ගහක කොළයක් කොළයක් ගානේ පලින් බර වූ නෙල්ලි වගාවද, දේශීය පැපොල් වගාව, දෙළුම් වගාව, ඩ්‍රැගන් ෆෘට් වගාව ඇතුළු වගාවන් ද නෙතට රසඳුනකි. සිතට මිනිසුන්ගේ නොසිඳෙනා වීර්යය ගැන සොඳුරු හැඟීමක් ජනිත කරවන සිතුවිල්ලකි. 


සූරියවැවේ ජනතාවට මෙන්ම වීරකැටියේ පවුල් විශාල සංඛ්‍යාවකට ද වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ පිරිනැමූ අතර ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ සොයුරිය වූ දයානි හේමදාස මහත්මිය විසින් රචිත සම්භාවනා නම් අස්සජි හිමියන්ගේ ජීවන මතක අන්තර්ගත කෘතිය එළිදැක්වීම ද එහිදී සිදුකෙරිණි. 


සැබැවින්ම මේ පිංකම් මාලාවේ වඩාත් සංවේදීම අවස්ථාව වූයේ පෙර සඳහන් කළ විශේෂිත දරුවන් වෙනුවෙන් වෙන් වූ අරුණැල්ල පාසලට අප ගිය ගමනයි. තමන්ට හැකි උපරිම ගෞරවය හෘදයාංගමව පිළිගන්වමින් ඒ දරුවෝත් ඔවුන්ගේ ගුරුවරුනුත් මව්පියනුත් කොළඹ සිට වීරකැටියට පැමිණි ගිහි පැවිදි සියල්ලෝම භක්ත්‍යාදරයෙන් පිළිගත්හ. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ නැටුම් ගැයුම්වලින් ද පැමිණි දනමන තුටු කරන්නට ඒ ගුරුවරුන් රැගෙන තිබූ වෙහෙස සැබැවින්ම ප්‍රශංසනීයය. එහි සොඳුරුතම විශේෂත්වය වූයේ එදා ඒ දරුවෝ අතපය දිගහැර නිදහස් මනසින් රැඟුම් පෑවේත් සියල්ලන් එක්රැස්ව සිටියේත් ඒ පාසලට ගංගාරාමය සාදා දුන් අංගසම්පූර්ණ ශාලාවකදීම වීමය. එහෙයින්ම එදා ඒ දරුවන්ගේ මව්පියෝ එකතුව ඒ ශාලාවේ කිරි උතුරවමින් තමන්ගේ සතුටත් ආශිර්වාදයත් ප්‍රකාශ කළහ. වයස අවුරුදු පහේ සිට 20 දක්වා වයස්වල පසුවන දරුවන් තිස්අට දෙනෙක් පමණ පාසලට පැමිණෙන අතර ඔවුන්ට තනිව තම තමන්ගේ කාර්යයන් කරගැනීමට ඔවුන් හුරු කිරීමත්, නැටුම්, සංගීතය වැනි විෂය ක්‍රියාකාරකම් ඔස්සේත්, නොයෙක් බාහිර ක්‍රියාකාරකම් ඔස්සේත් ඔවුන් තුළ යම් මානසික සංවර්ධනයක් ඇතිකිරීමත් ඒ දරුවන් වෙනුවෙන් කැපවුණු ගුරුවරුන්ගේ අභිප්‍රායයි. පාසල වෙනුවෙන් මෙන්ම දරුවන් වෙනුවෙන් ද ත්‍යාග රැසක් පිරිනැමීමෙන් අනතුරුව ලද විවේකයකදී අපි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් සමඟ ස්වල්ප වේලාවක් කතා කළෙමු. 


‘දිනක් වීරකැටිය කොටබෝව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමිය චින්තා වන්නිආරච්චි මහත්මිය අප මුණගැහෙන්නට ආවා. අපි වීරකැටිය කේන්ද්‍ර කරගෙන ළදරු පාසල් නගාසිටුවන්න ක්‍රියාකරද්දී අඩු ආදායම්ලාභී පවුල්වලට කෘෂි උපකරණ ලබා දීමේදී ආහාර පාන ලබාදෙද්දී, භූමි අක්කරයකට ආසන්න ඉඩමක් හිමි අයට කිරි දෙනුන් ලබා දෙද්දී ඒ කර්තව්‍යයන් ගැන දැන සිටි ඇය අපගෙන් මෙහෙම ඉල්ලීමක් කළා.
ඇය කීවේ අරුණැල්ල විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලට ගුරුවරු උදේ 9.00 ට ඇවිත් 12 වෙද්දී යනවා. වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආරම්භ කළ ඒ අයට දෙන්නේ අපි රුපියල් 2500 ක වගේ ඉතා අඩු වැටුපක්. මේ දරුවෝ ඉස්කෝලෙට දාලා එයාලගේ අම්මලට දවසම කුඹුරක වගාවක් වැඩක් කරගන්න පුළුවන් මේ ගුරුවරුන්ට වැඩි වැටුපක් දීලා ඔවුන් හවස් වනතුරු මේ දරුවන් බලාගන්නා ක්‍රමයක් ඇති කළොත් කියලා. 

 

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ රංගනයක්.

 

අපි දවසක් ඒ පාසල බලන්න ගියා. එදා ඒ දරුවෝ නර්තන අංග පහක් හයක් ඉදිරිපත් කරලා තමා අපිව පිළිගත්තේ. අපිට තේරුණා මේ ගුරුවරු ලොකු කැපකිරීමකින් මේ දරුවන්ට යමක් පුහුණු කරලා තියෙනවා කියල. 
මගේ මතකයට නැඟුණේ ගංගාරාමයේ මාදිවෙල, කෝට්ටේ ආබාධිත හා මන්ද මානසික දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන සුහද ළමා නිවාසය. එහි එවැනි දරුවන් 60 ක් පමණ ඉන්නවා. වයස අවුරුදු දාහතර පහළොවේ ළමයි ඉන්නවා. වයසට අනුව නොවැඩුණු නිසා තවමත් තොටිල්ලේ ඉන්න වයසින් ලොකු දරුවෝ ඉන්නවා. කාසල් රෝහලේ දාලා ගිය දරුවෙක් හිටියා. අත් දෙක උරහිසින් පහළ නෑ. ඒ දරුවට කකුලෙන් ලියන්න, චිත්‍ර අඳින්න, පියානෝ වයන්න පුළුවන්. ඇය කොළඹ උසස් බාලිකා විදුහලකට ඇතුළත් කර අපි ඉගැන්නුවා. අද ඇය නීතිඥවරියක්. ජර්මන් ජාතික දානපතිනියක් ඇයට නිවසක් හදා දුන්නා. අද ඇය විවාහ වී හොඳ ජීවිතයක් ගතකරනවා. තව දරුවෙක් හිටියා ඒ ළමා නිවාසයේ හැදී වැඩී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා. එදා මට ඒ දරුවන් දකිද්දී හිතුණා මේ දරුවන්ටත් අපි උදවු කළොත් යම් මට්ටමකට හෝ තමන්ගේ ජීවිත ගොඩනඟා ගන්න පුළුවන් කියලා. 


එදා අරුණැල්ල පාසලට ගිය දවසේ ඔවුන් අපෙන් ඉල්ලුවා මේ දරුවන්ට ඉන්න ශාලාවක් නෑ. අඩුම ගානේ 20x60 ශාලාවක්වත් හදලා දෙන්න කියලා. අපි එදාම ඒ ඉල්ලීම බාර අරගෙන එදාම මුල්ගල තියලා ආවා. යුදහමුදාව හා සිවිල් ආරක්ෂක සෙබළුන් අපිට ශ්‍රම දායකත්වය ලබා දුන්නා. නන්දන ලොකුවිතාන, වෙනුර ප්‍රනාන්දු, චමින්ද වික්‍රමරත්න වගේ දායකයින් මේ කාර්යයේදී අපට සිමෙන්ති, දැල් කම්බි වැනි අවශ්‍ය ද්‍රව්‍ය සපයමින් හුඟාක් උදව් කළා. මේ ගුරුවරු හතරදෙනාගෙන් තුන්දෙනෙක් පමණයි වැටුප් ගන්නේ. එක් ගුරුවරයෙක් ජයිකා පදනම යටතේ සේවය කරන්නේ. රුපියල් 2500 ක සුළු දීමනාවක් යටතේ සේවය කළ ගුරුවරුන්ට අපි අවුරුදු තුනක් තිස්සේ ඊට අමතරව දෙදෙනකුට රුපියල් තුන්දාහේ ගාණෙත් එක් අයකුට රුපියල් හාර දහසක මුදලකුත් ලබා දෙනවා. 


 ඒ වගේම ගංගාරාම අපේ දායක සභාවේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන ඒ වගේම අප්‍රකට දානපතියකු වන දොන් යසපාල ජයසූරිය මහතාත් පොරොන්දු වුණා මේ ගුරුවරු වෙනුවෙන් ඔවුන් කරන අසීමිත කැපවීම වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මසකට රුපියල් දහදාහ ගානේ මුදලක් ලබාදෙන්න. ඔහු කී දේ තමා හාමුදුරුවනේ අපි උපන්දිනේකට අපේ හෝටල්වලට කට්ටිය ගෙන්වලා කන්න බොන්න දෙනවට වඩා මේ වගේ ගමක් දියුණු කරන්න අපි කටයුතු කරනවා නම් ඒක කොච්චර වටිනවද? මගේ උපන් දිනය මම ආයේ වෙන් කරන්නෙත් ඒ වෙනුවෙන් කියලා. 


බෞද්ධයන් ලෙස අපි කුසල් අකුසල්, පින් පව් විශ්වාස කරමු. පරාර්ථය, දානය, මනුෂ්‍යත්වය, කරුණාව උත්තුංග පරාර්ථයන් ලෙස සලකමු. එකී මනුෂ්‍යත්වයේ දයා ගුණයට ඔබටත් අල්පමාත්‍රයක හෝ දායකත්වයක් ලබාදිය හැකිනම් අනන්ත සංසාර සුවිසැරියේ භවයෙන් භවයට එය මහා ආශිර්වාදයක් වනු නියතය. 

 

 

 


ඇම්. පී. රාජකරුණා