ලුනුදිය දැමූ වමබටු වේළමින්

 

රටකජුවලට ගිය කළ

 

 

වසර 200 කට පෙර ඌව වෙල්ලස්සේ මිනිස්සු ආයුධ අතට ගත්තේ යටත්විජිතයක්ව පැවති අපේ රට මුද‌ා ගැනීම සඳහාය. එම සටන ඉතිහාසගතව ඇත්තේ ඌව වෙල්ලස්ස කැරැල්ල නමිනි. 


මේ විමුක්ති අරගලයේදී ඌව වෙල්ලස්සේ පිරිමි - ගැහැනු - වැඩිහිටියන් පමණක් නොව ළමා ළපටින් පවා අමු අමුවේ මරා දමමින් නිවාස දේපළ ගිනි තබමින් වගාබිම් වනසමින් කළ විනාශය අතිමහත්ය. 


ඒ විනාශයෙන් ගොඩ එන්නට තවමත් ඌව වැසියන්ට නොහැකි වී ඇත. 


සුද්ද‌ා කළ විනාශයෙන් දිවි ගලවා ගෙන පලාගිය අතළොස්සක් මිනිසුන්ගේ පැවැත එන 5 වන පරම්පරාව යළිත් මෙහි ජීවිත අරඹා ඇතත්, ඔවුන් බහුතරයකගේ ජීවිත ඉතා දුක්බරය. 


ගොවිතැනින් ජීවත්වන මේ මිනිසුන්ට අද යුධ කිරීමට සිදුව ඇත්තේ තම වගාවන් රැකගැනීම සඳහාය. 


ගම්වදින වන අලි පමණක් නොව රිළවු, ඌරන්, මොනරුන් සහ ඉත්තෑවන් වගා පාළුකරන්නේ මේ මිනිසුන් අන්ත අගාදයකට ඇද දමමිනි.


සුද්ද‌ාට එරෙහිව සටන් වැදීම සඳහා නිපද වූ කඩු, කිනිසි, තෝමරවලට අමතරව බෙහෙත් කොටා වෙඩි තබන තුවක්කු ද එද‌ා වීර මුතුන් මිත්තෝ නිපද වූ බව ඉතිහාසයේ සඳහන් වේ. 


පරම්පරාගතව පැමිණි ඒ තාක්ෂණය අද දුෂ්කර ගම්මානවල ඇතැම් ගොවීන් තම වගාවන් වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපයෝගී කර ගනිති. 
සමහරු බෙහෙත් කොටන තුවක්කු භාවිත කරති. තවත් සමහරු මරුවැල් හෙවෙත් බඳින තුවක්කු අටවති. 


එහෙත් බලපත් නැති තුවක්කු ළඟ තබා ගැනීම හා සතුන් දඩයම නීතිවිරෝධී කටයුතු වෙයි. මේ නිසා පොලිසිය වැටලීම් සිදුකර මේ ගිනි අවි සමග ඒවා ළඟ තබා ගත් අය අත්අඩංගුවට ගැනීම නොකඩවා සිදුවෙයි. ඌව වෙල්ලස්සේ මෑත භාගයේ නීතිවිරෝධී ගිනි අවි සමග හේන් ගොවීන් වැඩියෙන්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණය මැතිවරණ කොට්ඨාසයට අයත් රිදීමාලියද්ද පොලිස් බල ප්‍රදේශයෙනි. 

 

රටකජුවලට ගිය කළ

 


ඊළඟට කන්දකැටියෙනි. 


2012 සංඛ්‍යා ලේඛන අනුව සමස්ත ශ්‍රී ලංකාවෙන්ම දරිද්‍රතාවයෙන් දෙවැනි තැනට පත්ව ඇති රිදීමාලියද්දේ වැසියන්ය. ඔවුන්ගෙන් 98%ක් ම ගොවිතැනින් ජීවත්වෙති. බහුතරයක් හේන් ගොවීන්ය. 


තත්ත්වය මෙසේ පවතිද්දී රිදීමාලියද්දේ මාදුරුඔය ඉහත්තෑවේ දෙහිගම හා ඇකිරියන් කුඹුර යන ගම්මානවලින් මහවැලි අධිකාරියට අයත් ඉඩම් අක්කර 372ක් වන බහු ජාතික සමාගමක් අතට පත්කිරීමට පිඹුරුපත් සකසා අවසන්ය. 


ඊට එරෙහි වූ ගොවීන් 50 කට පමණ දැනටමත් නඩු පවරා තිබේ. 


අපි මේ විමර්ශන චාරිකාව රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙහිගම හා අකිරියන්කුඹුර ගම්මානවලින් ආරම්භ කළේ ඒ අසරණ ගොවීන්ගේ කතාව සමස්ත ඌව වෙල්ලස්ස ගොවීන් මුහුණ පා ඇති ගැටලුවල පැතිකඩයක් බැවිනි. 


ඒ දුක්ගැනවිල්ල දෙහිගම ගැමුණු ගොවි සංගමයේ කේ.එච්.එම්. ගුණරත්න මහතා පැවසුවේ මෙලෙසිනි. 
“දෙහිගම සහ ඇකිරියන් කුඹුර යන මේ කොටසේ පවුල් ද‌ාහක් විතර ජීවත් වෙනවා. 


ඔවුන්ගේ ජීවනෝපාය හේන් වගාව සහ වී වගාව. 


යල මහ වගා කරන කුඹුරු ඉතාම අඩුයි. ඇල්හේනේ වැවක් තියෙනවා. එ්කත් සීමිත පිරිසකට පමණයි. මේ නිසා හේන් වගාව සහ ගොඩ ගොවිතැන තමයි කරන්නේ. 
වන සතුන්ගෙන් වන හානිය නිසා මේ වගාව රැකගන්න බැරි තත්ත්වයකට පත්වෙලා. 
ඌරන්, රිළවු, මොනරු, වන අලි විතරක් නොවෙයි ඉත්තෑවන් ගෙනුත් වගාවට හානි සිදුවෙනවා. 


මේ හානි වළක්වා ගන්න ගොවීන්ට කිසිම ආයුධයක් නැහැ. 


ඉස්සර හොර තුවක්කු තිබුණ ගොවීන්ට ඒවා ලයිෂන් කරලා දුන්නා. මෙහේ වැඩි හරියක් තිබුණේ බෙහෙත් කොටන තුවක්කු. ඒවා පසුගිය කාලයේ රජයට බාරගත්තා. ඊට පස්සේ ගොවීන්ට ආයුධ නැහැ. 


ගොවියා ගොවිතැන ආරක්ෂා කර ගැනීම සඳහා හොරට හෝ ගිනි අවියක් හද‌ා ගත්තම පොලිසියෙන් ඇවිත් අල්ලගෙන ගියාම ගොවියා තවත් අසරණ වෙනවා. සතුන් මරන්න නෙවෙයි වෙඩි තියලා බය කරන්නවත් තුවක්කු දෙන්න කියලයි ගොවීන් ඉල්ලන්නේ. 


වෙඩි ශබ්දයට අලි බය වෙලා යනවා. ඉස්සර අලි එළවන්න අලි වෙඩි දුන්නා. දැන් ඒවා හම්බ වෙන්නෙත් නැහැ. ඊයේ පෙරේද‌ාත් ජනාධිපතිතුමා ටීවී එකෙන් කියනවා ඇහුණා ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න ගොවියට උදව් කරන්න ඕන කියලා. 


නමුත් මේ ප්‍රදේශයේ ගොවීන්ට ආද‌ායම් වර්ධනය කරගන්න කිසිම දෙයක් සිදුවෙලා නැහැ. 
පසුගිය කාලයේ හානි වූ කුඹුරුවලට වන්දි දුන්නා මේ ප්‍රදේශයේ බොහෝ ගොවීන්ට ඒවා මෙතෙක් ලැබිලා නැහැ. සේනා දළඹු හානියට පත් ගොවීන්ට තවම වන්දි නැහැ.
අපි දෙහිගම හරහා ඇකිරියන්කුඹුර ගියෙමු. 


ඇකිරියන් කුඹුර අශෝකාරාමාධිපති ඇකිරියන් කුඹුරේ සුමනරතන හිමියන්ට සවන් දුනිමු. 
අද පවුල් 600ක පමණ වන අපේ විහාරස්ථානයේ ගොදුරු ගම්මානවල ජීවත්වන මිනිස්සු වනසතුන්ගෙන් වන වගා හානිය නිසා මැරි මැරී උපදිනවා. වේලක් ඇර වේලක් කාලා මේ සියලු අභියෝග අස්සේ පාරම්පරික ගොවිතැන් කරනවා. 


වගා හානි කරන වල් අලි හා රිළවු මේ ගම්මානයේ හිටපු උන් නෙවෙයි. පිට ප්‍රදේශවලින් අල්ලා ගෙනත් ද‌ාපු උන්. 


එම සතුන්ගේ අංක යොද‌ා එල්ලපු තහඩු පවා දකින්න තියෙනවා. උන්ගෙන් දැන් රිළා රංචු බෝ වෙලා. මේ මිනිස්සු මේ පැරැණි ගම්මාන හැරලා යන්න සුද‌​ානම් නැහැ. යන්න තැනකුත් නැහැ. මේ නිසා වන සතුන්ගෙන් වන හානියට පිළියම් යෙදීමට රජය වහ වහා කටයුතු කළ යුතුයි. 


මම කියන්නේ නැහැ සතුන් මරන්න කියලා. නමුත් කිසියම් ක්‍රමවේදයට මේ සතුන් පලවා හැරිය යුතුයි. 


වල්ලි මාතාව ඉපදුණ හා කඳ කුමරු හා සරණ මංගල්‍යය සිදු වූ ස්ථාන බව කියන සෙල්ලකතරගම වල්ලි ගුහාව පසුකර ගෝතමී ගමට ළඟා වුණෙමු. 
එහි වෙසෙන ජනයාද ගොවිතැනින් දිවිය ගැට ගසා ගන්නා අසරණ පිරිසකි. 

 

වනසතුන්ගෙන් වන හානියට අමතරව බටු වගාවට පණුවන් ගෙන එන හානිය නිසාත් කලට වැසි නොලැබීම නිසා රටකජු වගාවට සිදුවූ හානිය ගැනත් ඔවුන් නැගූ මැසිවිලිද සුළු පටු නොවීය. 


ඒ කදිරවේල් නැඟූ දුක්ගැනවිල්ල මෙසේය. 


“මහත්තයෝ දෙවියන්ගේ අඩවිය කියලා වෙනසක් නැහැ. අපි ඉන්නේ හරිම වේදනාවෙන්. වගාවන් වනසතුන්ගෙන් බේරාගන්න විදියක් නැහැ. ඊට අමතරව නිසි කලට වැසි නොලැබීම නිසා අපි රටකජු වගාවෙන් පැරදුණා. 


වම්බටු වගාවට පණු රෝගයක්. මේ බලන්න මහත්තයෝ, දැන් බටු කඩලා පණුවන් ගහපු නැති කොටස් කපා ලුණු ද‌ානවා යැයි පැවැසුවේ බිරිඳ සහ දරුවන් විසින් පණුවන් ගැසූ කොටස් කපා ඉවත් කරන වම්බටු පෙන්වමිනි.


බෙලි, දෙහි වගේ වගාවන්ද අසාර්ථක වෙනවා. ගෙඩි ඉතා කුඩා වෙනවා. අමුතු පුල්ලි වගයක් මතුවෙනවා. මේ පැත්තේ මිනිස්සු හතර අතේ ණයවෙලා මෙහේ හේන් ගොවීන්ගේ දුක කතරගම දෙවියන්ටත් පෙන්නේ නැද්දැයි කදිරවේල් විමසුවේ කඳුළු පිරුණ දෑසින් යුතුවය. 


ගිනි අවි හා හේන් ගොවීන් අත්අඩංගුවට ගැනීම ගැන ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතාගෙන් විමසුවෙමි. 
“ඔව් අපි ඉකුත් මාස 2 (ජනවාරි සහ පෙබරවාරි) තුළදී පමණක් ඌව පළාතෙන් ගිනි අවි 65ක් සමග සැකකරුවන් 58 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් බහුතරයක් හේන් ගොවීන් බව අනාවරණය වුණා. 


අත්අඩංගුවට ගත් ගිනි අවි අතර පතොරම් තුවක්කු 3ක් තිබුණා. බදින තුවක්කු හෙවත් මරුවැල් කීපයක් තිබුණා අනෙක් ඒවා දේශීය නිෂ්පාදනයන් වන බෙහෙත් කොටන තුවක්කු. 


ගිනි අවි ළඟ තබා ගැනීම හා පරිහරණය තුවක්කු ආඥ‌ාපනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක්. 
අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ඒ ඒ පොලිසිය විසින් අධිකරණයට ඉදරිපත් කරනවා. 


ඔවුන්ට දඩ සහ අත්හිට වූ සිරදඬුවම් නියම කළ හැකියි. කොහොම නමුත් ගොවීන්ගේ වගාවන්ට සතුන්ගෙන් වන හානිය විශාල බව පිළිගන්නවා. 
නමුත් ඒ සදහා වෙනත් විසඳුමක් ලබා දිය යුතු යැයිද ඌව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. 


ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙයවන දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩසටහන දියත් කළේ 2018 මැයි මස 21 වැනිද‌ා බදුල්ලේදීය. 
එම වැඩපිළිවෙළේ නිර්මාතෘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ප්‍රථම වැඩමුළුවේදී කී කතාව මට අද මෙන් මතකය. 
එය මෙසේය. 

 

රිදීමාලියද්දේ තුවක්කු

 


“ආහාර නිෂ්පාදනයෙන් හරියටම තුනෙන් එකක් රිළවු, වඳුරෝ, අලි, ඌරන් සහ මොනරුන් විසින් විනාශ කරනවා. 
මොනරාට අත තියන්නේ නැහැ දෙවියන්ගේ වාහනය නිසා. අලි අනිවාර්යයෙන්ම ආරක්ෂා කර ගත යුතු සම්පතක්. රට විදියට සතුන්ගෙන් ආහාර ආරක්ෂා කරගන්න එක ලොකු ප්‍රශ්නයක්. 


කෘෂි විශේෂඥයෙක් ළඟදී මාත් එක්ක කිව්වා ලෝකයේ සතුන්ට අහාර දීලා මිනිසුන් බඩගින්නේ ඉන්න එකම රට අපේ රට කියලා. ඒක ඇත්ත. 
මේ සතුන් කරන විනාශය නැතිනම් අපිට පිටරටින් එළවළු හා පලතුරු ගෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 


වනජීවී දෙපාර්තමේන්තුව හැමද‌ාම කියනා දේ අපි හැමද‌ාම අහල තියෙනවා. අවරුදු 40න් 50න් දෙන විසඳුමක් ගැන තමයි එගොල්ල හැමද‌ාම කතා කරන්නේ. 
2012 හෝ 2013 වසරේදී මට මතකයි අපේ රජය හැම දිස්ත්‍රික්කයටම දිසාපති හරහා රුපියල් ලක්ෂ 100 බැගින් මේ රිළවුන්ට හා වඳුරන්ට කරන දෙයක් කරන්න. අවුරුද්ද අවසානයේ ලක්ෂ 100 ම ආපසු එවා තිබුණා මොනවත් කරල තිබුණේ නැහැ. 


අපි බෞද්ධ විධියට සානුකම්පිතව හිතනවා. නමුත් ප්‍රශ්නය ඉතාම උග්‍රයි. ආහාරවලට සතුන් කරන හානිය පිළිබඳව විසඳුම් දෙන්න ආණ්ඩුවට විදියට දැනටමත් ප්‍රමාද වැඩියි. ඒ නිසා ඒ කාරණය ගැන කතා කළ යුතුව තිබෙනවා යැයිද ජනාධිපතිතුමා එහිදී පැවසීය. 


“ජනාධිපතිතුමනි, මේ ගැටලුව විසදීමට ඔබතුමා ගන්නා පියවර කුමක්ද?” ඌව වෙල්ලස්සේ ගොවීහු අද එසේ විමසති.

 

 


 චාරිකා සටහන හා ඡායාරූප 
බදුල්ලේ පාලිත ආරියවංශ